Globe Soccer ශතවර්ෂයේ ක්‍රීඩකයා – Cristiano Ronaldo

170

20 වැනි ශතවර්ෂයේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ඊයේ (27) නම් කෙරුණා. ඒ ඩුබායිහි Armani Hotel හි පැවති Globe Soccer Awards සම්මාන රාත්‍රියේ දී.

Dubai d’Ors ලෙසින් හඳුන්වන මෙම Globe Soccer Awards සම්මාන රාත්‍රිය සඳහා Silva International Investments ආයතනය, Tommaso Bendoni සහ Abdulla Jabir/ H. Thimaaveshi සත්කාරකත්වය සපයනු ලබනවා.

සෑම වසරකම සංවිධානය කරන මෙම සම්මාන රාත්‍රිය සඳහා ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් රැසක් සහභාගී වන අතර විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද ඇතුළත්.

මෙවර ඔවුන්ගේ සම්මාන සඳහා “ශතවර්ෂයේ ක්‍රීඩකයා – Player of the century” සහ “ශතවර්ෂයේ පුහුණුකරු – Coach of the century” ලෙස නව සම්මාන ද්විත්වයක් ඇතුළත් කර තිබුණා.

Cristiano Ronaldo ශතවර්ෂයේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ශතවර්ෂයේ පුහුණුකරු ලෙස Pep Guardiola සම්මානයට පාත්‍ර වුනා.

ශතවර්ෂයේ ක්‍රීඩකයා සඳහා ක්‍රීඩකයන් සිව්දෙනෙකු යෝජනා වී තිබූ අතර සෙසු ක්‍රීඩකයන් වූයේ Lionel Messi, Mohammad Salah සහ Ronaldinho ය. ප්‍රේක්ෂකයන් ඡන්ද විමසීමකින් අවසන් ක්‍රීඩකයා තෝරාගැනීම සිදු කෙරිනි. මෙම නම් කිරීම සඳහා 2001 වසරේ සිට 2020 වසර දක්වා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් වී තිබුණා.

5 වතාවක් Ballon d’Or සම්මානය ජයග්‍රහණය කර ඇති Cristiano Ronaldo ස්පාඤ්ඤයේ, එංගලන්තයේ සහ ඉතාලියේ දේශීය පාපන්දු සමාජ නියෝජනය කර තිබෙන එම සියලු තරගාවලිවල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

Globe Soccer Awards – ශතවර්ෂයේ ක්‍රීඩකයා Cristiano Ronaldo 

” මට ගොඩක් සතුටුයි මේ සම්මානය ලැබීම ගැන. යම් ක්‍රීඩාවක වසර ගණනාවක් හොඳම ක්‍රීඩකයා වෙන එක ලේසි දෙයක් නෙමෙයි. මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒත් කණ්ඩායමක් නැතිව, විශිෂ්ට පුහුණුකරු නැතිව, ක්‍රීඩා සමාජයක් නැතිව මට මේ දස්කම කරන්න බැහැ. ” Ronaldo සිය සම්මානය ලබාගැනීමෙන් අනතුරුව පවසා තිබුණා.

සිය සම්මානය පිළිබඳව Cristiano Ronaldo සිය නිල Twitter ගිණුමේ ද සටහනක් තබා තිබුණා.

ස්පාඤ්ඤයේ, ජර්මනියේ සහ එංගලන්තයේ ලීග් තරගාවලි ශූරතාවය සහ Champions League ශූරතාවය දෙවරක් දිනා ගැනීමට සමත්වූ Pep Guardiola ඔහුගේ අසමසම පුහුණුකාරීත්වය වෙනුවෙන් ශතවර්ෂයේ පුහුණුකරු ලෙස සම්මානයට පාත්‍ර වුනා.

කෙසේ වෙතත් මෙම සම්මාන රාත්‍රිය සඳහා වසරේ ක්‍රීඩකයා සම්මානයක් ද ඇතුළත් වූ අතර ඒ සඳහා නම් කර තිබූ Cristiano Ronaldo සහ Lionel Messi අභිබවා යමින් එම සම්මානය දිනා ගැනීමට Bayern Munich ක්‍රීඩක Robert Lewandowski සමත් වුනා. වසරේ පුහුණුකරු සම්මානය හිමි වූයේ Hansi Flick හටයි.

Globe Soccer Awards – වසරේ ක්‍රීඩකයා Robert Lewandowski

පසුගිය සතියේ පැවති Fifa සම්මාන උළෙලේ දී වසරේ හොඳම Fifa ක්‍රීඩකයා ලෙස ද Robert Lewandowski සම්මාන දිනා ගැනීමට සමත් වුනා. ඒ, තරග 47ක් තුල ඔහු වාර්තා කළ ගෝල 55ත් සමඟිනි. 

” මේක හීනයක් හැබෑ වුනා වගේ. මම හැමදාම හීන දැක්කා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න. මම හිතනවා මම මගේ හීනය සැබෑ කරගත්තා කියලා. Messi, Ronaldo වගේ ක්‍රීඩකයන් එක්ක කරට කර සටන් කරන්න මම මහන්සි වුනා. ඔවුන් වගේම විශිෂ්ට ක්‍රීඩකයෙක් වෙන්න මට ඕනේ වුනා.”  Robert Lewandowski සිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව පවසා තිබුණා.  

ශතවර්ෂයේ කණ්ඩායම ලෙස Real Madrid කණ්ඩායම නම් කෙරුණු අතර වසරේ කණ්ඩායම බවට පත්වූයේ Bayren Munich කණ්ඩායමයි.

තවත් පාපන්දු පුවත්:

Globe Soccer Awards සම්මාන උළෙලේ සියලු සම්මාන පහත පරිදි වේ.

  • වසරේ ක්‍රීඩකයා – Robert Lewandowski (Bayern Munich, පෝලන්තය)
  • වසරේ කණ්ඩායම – Bayern Munich  
  • වසරේ පුහුණුකරු – Hans-Dieter Flick
  • ශතවර්ෂයේ ක්‍රීඩකයා – Cristiano Ronaldo (Juventus, පෘතුගාලය)
  • ශතවර්ෂයේ කණ්ඩායම – Real Madrid 
  • ශතවර්ෂයේ පුහුණුකරු – Pep Guardiola 
  • ශතවර්ෂයේ නියෝජිතයා – Jorge Mendes 
  • Player Career Award – Iker Casillas (Real Madrid, ස්පාඤ්ඤය), Gerard Piquè (Barcelona, ස්පාඤ්ඤය)
  • මැදපෙරදිග කලාපයේ සම්මාන ලාභීන් – Al Ahly 

Globesoccer.com වෙබ් අඩවිය ඇසුරිනි 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<