වසීම් රාසික්ගේ සුපිරි දස්කම් සමඟින් ශ්‍රී ලංකාව ගෝල නියඟය නිමා කරයි

216

2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය හා 2023 AFC ආසියානු කුසලානය සඳහා වන තේරීම් තරගාවලියේ ලෙබනන – ශ්‍රී ලංකා තරගය අද (5) දකුණු කොරියාවේ Goyang ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. 

දෙවැනි අර්ධයේ ප්‍රබල ශ්‍රී ලංකා ප්‍රහාරයෙන් අපහසුවෙන් ගැලවුණු ලෙබනනය ගෝල 3-2ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව හා ලෙබනනය යන රටවල් දෙකම තරග කරන්නේ H කාණ්ඩයෙනුයි. H කාණ්ඩයේම සිටි උතුරු කොරියාව තරගාවලියෙන් ඉවත් වූ අතර H කාණ්ඩයේ සිටින අනෙක් රටවල් වන්නේ දකුණු කොරියාව හා ටර්ක්මෙනිස්තානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ එකදු ගොලයක්වත් වාර්තා කරගැනීමට අසමත්ව තිබූ මොහොතක කවිඳු ඉශාන්ගෙන් පන්දුව ලබාගෙන ලෙබනන ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් මිදී ඉදිරියට ඇදුණු වසීම් රාසික් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 8 වැනි මිනිත්තුවේ දීයි.

ශ්‍රී ලංකා ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිප්‍රහාර දැක්වූ ලෙබනන ක්‍රීඩක JOAN OMARI ශ්‍රී ලංකා ගෝලයෙන් මිනිත්තුවක් යන්නටත් මත්තෙන් තරගයේ ගෝල සම කළා. නිදහස් පහරකින් ගුවනේ පාවී ආ පන්දුව ඔහු නිදහසේ සිය හිසෙන් දැලට එල්ල කළේ කිසිදු අපහසුවකින් තොරවයි.

ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින්ගේ අඩුපාඩු මනාව හඳුනා ගත් ලෙබනන ක්‍රීඩකයෝ 16 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලයත් වාර්තා කළා. ගුවනේ ගෝලය ඉදිරියට පාව ආ පන්දුව Mohomad Kdouh සිය හිසෙන් ගෝලය වෙත යොමු කළේ ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින්ට සිතන්නවත් ඉඩක් ඉතිරි නොකරයි.

තවත් පාපන්දු පුවත්:

අනතුරුව සුජාන් පෙරේරාගේ ඉතා දක්ෂ ගෝල රැකීම් කිහිපයක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෙබනනය නිහඬව තබන්නට සමත් වුනත්, පෙර උපක්‍රමයම යළිත් භාවිතා කරමින් 44 වැනි මිනිත්තුවේ දී ඔවුන් යළිත් ගෝලයක් රැස් කළා.

සුජාන්ගේ අති දක්ෂ ගෝල රැකීමකින් අනතුරුව පිටියෙන් ඉවතට ගිය පන්දුව යළිත් පිටිය කොණේ සිට ගෝල රාමුව ඉදිරියට ගුවනින් එවන්නට ලෙබනන ක්‍රීඩකයෝ කටයුතු කළ අතර එම පන්දුව සාර්ථකව ලබා ගත් JOAN OMARI ඉතා වේගයෙන් පන්දුව දැල වෙත යොමු කළේ සිය දෙවැනි ගෝලය රැස් කරමිනුයි. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 01 – 03 ලෙබනනය

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි අර්ධය ඉතා ධනාත්මක ලෙස ආරම්භ කළ අතර වැඩි කාලයක් ලෙබනන අර්ධයේ රැඳෙමින් ආක්‍රමණ කිහිපයක්ම එල්ල කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

53 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට නිදහස් පහරක් හිමි වුණු අතර ගෝල රාමුවේ දකුණු පස සිට වසීම් රාසික් ඉතා වේගයෙන් කවාකාර ලෙස එල්ල කළ පන්දු ප්‍රහාරය අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියා.

ශ්‍රී ලංකාවේ ධනාත්මක ක්‍රීඩා විලාසයට 61 වැනි මිනිත්තුවේ දී ත්‍යාගයක් හිමි වුනා. පන්දුව රැගෙන දඬුවම් පහර චතුරශ්‍රයට ගිය වසීම් රාසික්ට ලෙබනන ආරක්ෂක ක්‍රීඩකයෙක් අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ අතර විනිසුරු එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් ලබා දුන්නා. වසීම් රාසික් ඉතා සැහැල්ලුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කළේ සිය දෙවැනි ගෝලය මෙන්ම දෙවන අර්ධයේ පළමු ගෝලය ද ශ්‍රී ලංකාව හිමි කර දෙමිනුයි.

ලෙබනන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් සෑම විටම පාහේ ඔවුන්ගෙන් පන්දුව උදුරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනේ ලෙබනන ගෝලය ද කිහිපවතාවක්ම ආක්‍රමණය කරමිනුයි. දෙවැනි අර්ධයේ දී ද සුජාන් පෙරේරා දක්ෂ ගෝල රැකීම් කිහිපයකින්ම ප්‍රතිවාදීන් නවත්වන්නට සමත් වුනා.

කෙසේ වෙතත් සාමකාමීව පන්දුව සිය ක්‍රීඩකයින් අතරම හුවමාරු කරගනිමින් ලෙබනන ක්‍රීඩකයෝ ඉතිරිව තිබුණු කාලය කා දමන්නට ක්‍රියා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ආබාධවලට ලක්ව පිටියෙන් ඉවත් වුනේ තරගය සම කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ඉවතට රැගෙන යමිනුයි.

අවසන් ලකුණු තත්වය:  ශ්‍රී ලංකාව 02 – 03 ලෙබනනය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – වසීම් රාසික් (8, 61) 
  • ලෙබනනය – JOAN OMARI (11, 45), Mohomad Kdouh (17)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය එළඹෙන 9 වැනිදා දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<