Warneගේ මරණය ගැන සැකයක් නැහැ – තායිලන්ත පොලිසිය

1170

හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne හදිසියේ ජීවිතක්ෂයට පත් වීම ක්‍රීඩා ලෝකයම කම්පා කරන සිදුවීමක් බවට පත්වුනා. ක්‍රීඩාලෝලීන් මෙන්ම සමස්ත ලෝකයම මවිත කළ Warneගේ අභිරහස් මරණය තවමත් මාධ්‍ය තුල කතාබහට ලක්වෙමින් තිබෙනවා.

52 හැවිරිදි වූ Shane Warne පසුගිය සෙනසුරාදා සිය මිතුරන් සමඟ තායිලන්තයේ Koh Samui දූපතේ නිවාඩුවක් ගත කරමින් සිටිය දී සැක සහිත හෘදයාබාධයකින් මියගොස් තිබුණා. මේ කම්පන සහගත මරණයේ කිසිදු සැක සහිතභාවයක් නොමැති බව විශේෂ පරීක්ෂණයකින් අනතුරුව තායිලන්ත පොලිසිය ඊයේ (05) නිවේදනය කළා.

Warne තායිලන්ත වේලාවෙන් සවස 5ට පමණ බිම ඇදවැටී සිටිය දී ඔහුගේ මිතුරන් විසින් සොයාගෙන තිබුණා. ඒ ආහාර ගැනීම සඳහා ඔහුව අවදි කිරීමට පැමිණි විටයි. තායිලන්ත මාධ්‍ය පවසා සිටියේ මියයාමට පෙර Warne මත්පැන් පානය කර නොතිබූ බවයි.

මිතුරන් කාමරයට එන විට ඔහු ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නරඹමින් සිට තිබෙනවා. එහි දී ඔහු ප්‍රතිචාර දක්වා නොතිබූ අතර මිතුරන් විසින් ඔහුට ප්‍රතිකාර කරමින් අවදි කිරීමට දැරූ උත්සාහය නිෂ්ඵල වී තිබුණා. ඉන් අනතුරුව Warne තායිලන්තයේ ජාත්‍යන්තර රෝහල වෙත ගෙන ගිය ද අවසානයේ ඔහු මිය ගිය බව නිවේදනය කෙරුණා.

“අපගේ විමර්ශන මත පදනම්ව අපි නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව එම ස්ථානයේ කිසිදු සැකසහිත දෙයක් සිදු වෙලා නැහැ”, තායිලන්ත පොලිසිය AFP වෙත පවසා සිටියා.

Warneගේ හදිසි වියෝවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩාලෝලීන් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටත ඇති ඔහුගේ පිළිරුවට මල් තබා උපහාර දක්වා තිබුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දී ඔහු Shane Warne “ඕස්ට්‍රේලියානු ජාතියේ විශිෂ්ටතම චරිතයක්” ලෙස හඳුන්වා තිබූ අතර ඔහුට පූර්ණ රාජ්‍ය අවමංගල්‍යයක් ලැබෙන බවත් නිවේදනය කළා.

“Shane Warne වගේ කෙනෙක් මම දැකලා නැහැ. ඔහු තම ජීවිතය ගත කළේ ඔහුගේ ආකාරයට. ඔහුට ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණ තිබුණා. නමුත් ඔහුගේ ජීවිතයේ යම්

පසුතැවිල්ලක් ද තිබුණා. ඔහු ඒවා සියල්ලම එකම ආකාරයකින් දරා ගත් කෙනෙක්. සිනහවකින් සහ ජීවිතය පිළිබඳ ආශාවකින් ඔහු ජීවත් වුනා. ඔහු අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ ඉන්ද්‍රජාලික දෙයක් තිබුණා. සුදුමැලි වූ ලා දුඹුරු හිසකෙස්, පන්දු යැවීමේ විලාසය සහ ඔහු ක්‍රීඩාලෝලීන් එක්ක කටයුතු කරපු ආකාරය අසමසමයි. ඔහු එක්තරා ආකාරයක වෙනස් කෙනෙක්”, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සිය නිවේදනයේ පවසා සිටියා.

“ඔහු ක්‍රීඩකයෙක් විදිහට බොහෝ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් ක්‍රිකට් ක්‍රීඩාවට අතතැබීමට පෙලඹෙව්වා. ඔහු ඒ සියල්ලටම ඉතා පහසු පෙනුමක් ලබා දුන්නා. යම් අවස්ථාවක, බොහෝ ඕස්ට්‍රේලියානු ගෙවල්වල අපි සැවොම flipper එකක් යවන්න උත්සාහ කළා. ඔහු සහ ඔහුගේ පන්දු යැවීම අපිට එතරම් සමීප වුනා. අපගේ ආදරය සහ ශෝකය Shane පවුලට එක්කරනවා. විශේෂයෙන් ඔහුගේ දරුවන් වන Brooke, Jackson සහ Summer අපි ආදරයෙන් වැලඳගන්නවා”, Scott Morrison පවසා සිටියා.

මේ අතර ඔහුට උපහාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට පෙර මිනිත්තු දෙකක නිහඬතාවයක් පැවැත්වූ අතර දෙරටේම ක්‍රීඩකයන් කළු පටි පැලඳ සිටියා.

මිය යන විට 52 හැවිරිදි වූ Shane Warne ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145ක්, එක්දින තරග 194කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ටෙස්ට් කඩුලු 708 ක් සහ එක්දින කඩුලු 293ක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වෙමින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<