2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සතියේ අවසන් තරග දෙකේ දී මෙවර තරගාවලියේ හොඳම කණ්ඩායම් 4 තරග වදින්නේ ආශ්වාදජනක තරගාවලියකට තරගකාරීත්වයේ උච්චතම අවසානයක් සටහන් කිරීමේ මග විවර කරමිනුයි. රිනවුන්, කොළඹ පාපන්දු සමාජය සහ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් සියල්ලටම තරගාවලියේ අවසන් දිනය තුල ශූරතාව තමන් සතු කර ගැනීමේ බලාපොරොත්තු ඉහලින්ම පවතී. අනපේක්ෂිත සිදුවීම් වලින් පිරුණු සති අන්තයක් විය හැකි ඩයලොග් චැම්පියන්ස් ලීග් අවසන් තරග දෙක පිළිබඳ ThePapare.com කරන ගැඹුරු විමසා බැලීමක් මේ.

තරග දෙකක්, ශූරතා සිහින තුනක්

2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් පමණක් පැවැත්වීමට නියමිතව තිබිය දී, කණ්ඩායම් 3ක් තවමත් ශූරතාවය වෙත නෙත් යොමා ගෙන සිටියි…

බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදාව අතර තරගය (මාර්තු 4 වැනිදා සවස 4.45ට කොළඹ තුරග තරග පිටියේ දී)

බ්ලූ ස්ටාර් කණ්ඩායම අවසන් සතියේ තරගයට පිවිසෙන්නේ අපරාජිතව මෙන්ම ශූරතා සටනේ ක්‍රියාශීලීව සිටින අනෙකුත් කණ්ඩායම් දෙකම පරාජය කිරීමෙන් ලද මානසික සවිය ද සමඟයි. ඔවුන්ට මෙම තරගාවලියේ ඉහල සාර්ථකත්වයක් සඳහා දායක වූ ප්‍රධානම කරුණ වන්නේ ඔවුන්ගේ ආරක්ෂක සැකසුම් වල ඇති ප්‍රබලත්වයයි. ඔවුන් මෙම තරගාවලිය තුල මෙතෙක් දුරට ප්‍රතිවාදීන් හට ලබා දී තිබෙන්නේ ගෝල 2ක් පමණක් වන අතර එය මෙම තරගාවලියේ ඕනෑම කණ්ඩායමක හොඳම ආරක්ෂක පෙළ වාර්තාවයි. පසුගිය සති කිහිපය තුල බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් තිදෙනා ද විශිෂ්ට දස්කම් අතර සිටිනු දක්නට ලැබුණි. චන්න සහ ජිබෝලා තම හොඳම තරගකාරීත්වය ප්‍රකට කරද්දී මොහොමඩ් ෆර්සීන් අවසන් තරග දෙකේ දී ගෝල 3ක් වාර්තා කර ඇත්තේ පන්දුව ගෝලය වෙතට යොමු කළ යුතු ස්ථානය සහ වෙලාව නිවැරදිව හඳුනා ගැනීමේ අද්භූත බුහුටි කමක් ද ප්‍රදර්ශනය කරමිනුයි. මැද පෙළ ක්‍රීඩක ඉඩොවූ හමීඩ් (Idowu Hameed) සහ පසුපෙළ ක්‍රීඩක නසිරු ඔපායෙමි (Nasiru Opayemi) මෙතෙක් කලක් කළාක් මෙන්ම මෙම අතිශය වැදගත් තරගයේ දී බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තු හිස දරන්නන් බවට පත්ව සිටියි.

යුධ හමුදා කණ්ඩායම මේ වන විට ශූරතා සටනෙන් ඉවතට විසිවී සිටියත් අවසන් සති දෙකක පමණ කාලය තුල තම දස්කම් උපරිමයෙන් ප්‍රදර්ශනය කලේ තරග දෙකක දී ගෝල 12ක් වාර්තා කරමිනුයි. ශූරතා සටනේ නියැලීමක් නොවුනත් බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන නැවතීමට හැකියාව ඇති ක්‍රීඩකයන් යුධ හමුදා කණ්ඩායමේ නොමැත්තේ නොවේ. කෙසේ වෙතත් ඉහල පීඩනයකින් යුතු තරගයක අත්දැකීම නවක ක්‍රීඩකයන් හට ලබා දීම පිළිබඳ යුධ හමුදාවේ අවධානය යොමු වීමේ හැකියාවක් ද පවතී.

තරගය පිළිබඳ සලකා බැලීමේ දී බ්ලූ ස්ටාර් කණ්ඩායම ප්‍රකටව සිටින්නේ ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශයක් සහ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් අතිශය ස්ථාවරත්වයක් රඳවා ගත් කණ්ඩායමක් ලෙසයි. එබැවින් ප්‍රතිආක්‍රමණයේ දී තම ගෝල සීමාව විවෘතව තැබීමේ වරද සිදු නොවීමට වග බලා ගන්නේ නම් ප්‍රබල යුධ හමුදා කණ්ඩායම පරාජය කිරීමට බ්ලූ ස්ටාර් කණ්ඩායමට හැකියාව පවතී. එමෙන්ම ඔවුන් හට මානසික පීඩනයකින් තොරව ක්‍රීඩා කල හැකි වන්නේ මෙම තරගයෙන් ලැබෙන ප්‍රසාද ලකුණු සියල්ලම ලබා ගත්ත ද, ඔවුන්ගේ ශූරතා බලාපොරොත්තුව පසුව පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත තීරණය වීම හේතුවෙනුයි.

කොළඹ පාපන්දු සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගය ( මාර්තු 4 ප.ව. 6.45ට තුරග තරග  පිටිය)

මෙවර තරගාවලියේ අවසාන තරගය යෙදී තිබෙන්නේ මෙරට ඉහලම දස්කම් අතර සිටින ක්‍රීඩා සමාජ දෙකක් අතර වීම හේතුවෙන් ප්‍රබල සටනකින් අවසන් වන තරගාවලියක උද්වේගය විඳ ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක් හිමි වීමේ ඉහල ඉඩක් පවතී. යුධ හමුදාව සමඟ තරගයෙන් බ්ලූ ස්ටාර් කණ්ඩායම ජය ගතහොත් පසුගිය වසරේ ශූරයන්ට මෙවර තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව අහිමිව ගියත්, එහි ප්‍රතිඵලය අනෙකක් වේ යැයි උපකල්පනය කළහොත්, කොළඹ ක්‍රීඩා සමාජයට මෙය අනිවාර්යයෙන් ජය ගත යුතු තරගයක් බවට පත් වනු ඇති. පසුගිය සතියේ බ්ලූ ස්ටාර් කණ්ඩායම හමුවේ පරාජය වුවත් කොළඹ ක්‍රීඩා සමාජය ඉතා ඉහල දස්කම් අතර පසුවුනේ ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් වන සර්වාන් සහ මොමස් යාපෝ (Momas Yapo) ගෙන් ලද ප්‍රබල දායකත්වයත් සමඟයි.

පිටියේ මධ්‍ය ප්‍රදේශයේ පීඩනය දැඩි වන අවස්ථා වල දී රිනවුන් ක්‍රීඩා සමාජය අපහසුතාවට පත් වන ආකාරය යුධ හමුදාව සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් සමඟ පැවති තරග වල දී දක්නට ලැබුණු කරුණකි. එබැවින් එවන් තරග රටාවකටම අවතීර්ණ වීමට කොළඹ පාපන්දු සමාජය ද පසුබට නොවනු ඇත්තේ ඒ සඳහා අවශ්‍ය දස්කම් සහිත ක්‍රීඩකයන් ඔවුන් සතුව සිටීම හේතුවෙනුයි.

ඇතැම් විට රිනවුන් කණ්ඩායමට ශූරතාව සඳහා මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම ද ප්‍රමාණවත් වනු ඇති. නමුත් බ්ලූ ස්ටාර් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් තරග ජයග්‍රහණයක් සඳහාම සැලසුම් සැකසීම රිනවුන් කණ්ඩායමට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත්තේ ජය පැරදුමෙන් තොරව තරගය අවසන් කිරීමට උත්සාහ කිරීම අසාර්ථක සැලසුමක් වීමට ද වැඩි ඉඩක් පවතින බැවිනුයි. මීට පෙර ද ඔවුන් අවසන් කඩුල්ල පසු කර ගත නොහැකිව ඇද වැටෙන අවස්ථා වාර්තා වී ඇති බැවින් උපරිම ශක්තිය මෙම තරගයට යෙදීම වඩාත් නුවණැති සැලසුමකි.

අෆාම්  අක්‍රම් ගේ ආබාධය හේතුවෙන් රිනවුන් කණ්ඩායමට ඇතුළත් වී ඉහල දස්කම් ප්‍රකට කළ මොහොමඩ් මසීර්ගේ සහය මෙම තරගයේ දී ඔවුන්ට අහිමි වන්නේ ඔහුට පනවා ඇති තහනම හේතුවෙන්. පසුගිය සතියේ දී කොළඹ ක්‍රීඩා සමාජය ඇෆ්නොජා ජිබෝලාගේ (Afonja Jibola) වේගය හමුවේ අපහසුතාවට පත් වූ අතර එවැනිම ක්‍රීඩා විලාශයක් සහිත ජොබ් මයිකල් (Job Michael) රිනවුන් කණ්ඩායම වෙනුවෙන් එම වගකීම ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත. රිනවුන් කණ්ඩායම මෙම තරගයට පිවිසෙන විට ශූරතාව සඳහා තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය කුමක් දැයි දැනගෙන සිටිනු ඇති අතර, අති මහත් පීඩනයක් සහිත තරගයක් වුවත් මෙම සටනේ වැඩි වාසිය අතැතිව තරගය ආරම්භ කරනු ඇති.

කොළඹ ක්‍රීඩා සමාජයට පිටියේ මැද ප්‍රදේශයේ දී පන්දුවේ පාලනය රිනවුන් ක්‍රීඩකයන්ට ලබා නොදී සිටීමට ඇති හැකියාව මත මේ තරගය ජය ගැනීමේ අවස්ථාව ද රඳා පවතිනු ඇත. එමෙන්ම ෆසාල් සහ මයිකල් වැනි ක්‍රීඩකයන්ගේ වේගය හමුවේ ඔවුන්ගේ ප්‍රතිආක්‍රමණ වලින් තම ගෝල සීමාව ආරක්ෂා කර ගැනීම ද කොළඹ ක්‍රීඩා සමාජයට ඇති අභියෝගයකි. මේ සියලු කාරණා කැටි කොට ගත් කළ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසාන තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට