වරදට දඬුවම පිටියෙන් ඉවතට යැවීම; CPL අලුත්ම නීතියක් ගෙන එයි

Caribbean Premier League 2023

2561

මෙම මස 17 වැනි දා සිට ආරම්භ වීමට නියමිත Caribbean Premier League ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නව නීති රෙගුලාසි කිහිපයක් හඳුන්වා දීමට තරගාවලි සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙනවා.

මෙවර පැවැත්වීමට නියමිත CPL තරගාවලියේ කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය ම ඉලක්ක කර ගනිමින් පනවා ඇති මෙම නව නීති මගින් තරගයක නියමිත වෙලාවට පන්දුවාර යවා නිමා කිරීමට (Over-Rate) නොහැකි වීම සඳහා ඇති දඬුවම් දැඩි කර තිබීම විශේෂත්වයක්.

මෙහි දී ඉනිමක නියමිත කාලය තුළ පන්දු යවා නිමා කිරීම පිළිබඳ තරගයේ තෙවැනි විනිසුරු විසින් නිරීක්ෂණය කරන අතර, ඔහු විසින් ඒ පිළිබඳ පිටියේ විනිසුරුවන් සහ ක්‍රීඩා පිටියේ ඇති ඩිජිටල් තිරය ඔස්සේ ක්‍රීඩකයින් වෙත නිරන්තරයෙන් සන්නිවේදනය සිදු කරනු ඇත.

කෙසේ වෙතත් මෙහි දී ක්‍රීඩක ආබාධ, විනිසුරු තීරණ නැවත විමසා බැලීම් (DRS) අවස්ථා සහ පිතිකරණ කණ්ඩායමෙන් සිදු කරන කාලය නාස්ති කිරීම් වෙනුවෙන් යම් සහන ලැබෙන බව ද තහවුරු කර තිබෙනවා.

මෙහි දී එක් ඉනිමකට නියමිත පන්දුවාර 20 යවා නිමා කිරීමට පන්දු යැවීමේ කණ්ඩායමට නියම කර ඇති උපරිම කාලය දැක්වෙන්නේ මිනිත්තු 85ක් ලෙසයි. නමුත් සෑම ඉනිමක ම අවසන් පන්දුවාර හතර තුළ දී ද පන්දුවාර නිමා කළ යුතු කාලය පිළිබඳ විශේෂ සලකා බැලීම් සිදු කිරීමටත්, ඒ වෙනුවෙන් නීති පැනවීමටත් CPL සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා.

  • ඉනිමක 17 වැනි පන්දුවාරය මිනිත්තු 72 තත්පර 15 තුළ නිමා කළ යුතු අතර, එසේ නොවුනහොත් ඉනිමේ 18 වැනි පන්දුවාරය ආරම්භ කිරීමට පෙර අමතර පන්දු රකින්නෙකු යාර 30 සීමාව තුළට රැගෙන ආ යුතුයි. (යාර 30 සීමාව තුළ මුළු පන්දු රකින්නන් සංඛ්‍යාව 05)
  • 18 වැනි පන්දුවාරය මිනිත්තු 76 තත්පර 30කින් අවසන් විය යුතු අතර, එසේ නොවුනහොත් 19 වැනි පන්දුවාරය ආරම්භ කිරීමට පෙර අමතර පන්දු රකින්නන් දෙදෙනෙකු යාර 30 සීමාව තුළට ගෙන ආ යුතුයි. (යාර 30 සීමාව තුළ පන්දු රකින්නන් 06ක්)
  • 19 වැනි පන්දුවාරය මිනිත්තු 80 තත්පර 45ක් තුළ නිමා විය යුතු අතර එසේ නොවුනහොත් 20 වැනි පන්දුවාරය ආරම්භ වීමට පෙර පන්දු රකින්නෙකු පිටියෙන් ඉවත් කළ යුතු වනවා. මෙහි දී පිටියෙන් ඉවත් කරන පන්දු රකින්නා කවුරුන් ද යන්න පන්දු රකින කණ්ඩායමේ නායකයාට තීරණය කළ හැකි. එමෙන්ම යාර තිහ සීමාව තුළ පන්දු රකින්නන් 06 දෙනෙකු ද රැඳවිය යුතු වනවා.

මීට අමතරව පන්දුවට පහර දෙන කණ්ඩායම ඉනිමේ කාලය නාස්ති කිරීමට උත්සාහ කරයි නම් පළමු අනතුරු ඇඟවීමෙන් පසුව සෑම අවස්ථාවක් සඳහා ම ඔවුන්ට දඬුවම් ලකුණු 5ක් (ලකුණු 05ක් අඩු කිරීම) ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

“අපේ විස්සයි විස්ස තරග සෑම වසරක ම දිගු වෙමින් පැවතීම ගැන අපි කලකිරීමට පත්වුනා. එම නිසා මෙම ප්‍රවණතාව නතර කිරීම වෙනුවෙන් අපට කළ හැකි දේ සිදු කිරීමට අවශ්‍ය වුනා.”

මෙම නව නීති පැනවීම සම්බන්ධයෙන් CPL තරගාවලි මෙහෙයුම් අධ්‍යක්ෂක Michael Hall විසින් එසේ සඳහන් කර තිබෙනවා.

CPL තරගාවලියේ සියලු විශේෂ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<