හතුරුගෙන් ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය ගැන වටිනා අදහසක්!

Asia Cup 2023

558

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා විසින් ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වටිනා අදහස් කිහිපයක් පළ කර තිබෙනවා.

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතය ඊයේ (12) දිනයේ ප්‍රකාශයට පත් කළ අතර, එදින ම තරගාවලිය සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ද හතුරුසිංහ විසින් තීරණය කර තිබුණා.

මෙම පුහුණුවීම් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කරමින් අනවශ්‍ය ලෙස ක්‍රීඩකයින් වෙහෙසට පත් නොකර ඔවුන් වෙනුවෙන් සමබර පුහුණුවීම් සැලැස්මක් අනුගමනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි හතුරුසිංහ විසින් Cricbuzz වෙබ් අඩවිය සමඟින් සඳහන් කර තිබුණේ.

“අපිට පුහුණු සැසියක් ඇති විට පන්දු යවන්නන්ට ටිකක් වැඩියෙන් පන්දු යවන්න වගේම ශරීර යෝග්‍යතාවට වැඩි අවධානයක් යොමු කරන්න අපි සැලසුම් කරනවා. නමුත් පසුව තරගවලට ලං වෙද්දී අපි එහි තීව්‍රතාව අඩු කරනවා.

ඒකට කියන්නේ Tapering කියලා. අපි ගොඩක් පුහුණුවීම් කරවන්නේ හෝ දීර්ඝ පුහුණු සැසි පවත්වන්නේ නැහැ. නමුත් ක්‍රීඩකයින් විසින් ඔවුන් කළ යුතු දේ කරනවා.”

තරග ක්‍රීඩා කිරීමට පෙර ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරවීම සුදුසු නොවන බවයි හතුරුසිංහ විසින් අවධාරණය කරන්නේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සාදා ඇති පුහුණු සැසි පිළිබඳ Cricbuzz විසින් හෙළිදරව් කරන අන්දමට දින දෙකක පුහුණුවීම්වල යෙදීම සහ යම් විවේකයක් ලබා දීම, එමෙන්ම පුහුණු සැසිවල කාලසීමාව කෙමෙන් අවම කිරීම වැනි සැලසුම අඩංගු වී තිබෙනවා.

එමෙන්ම මෙහි දී ක්‍රීඩකයින්ට තමන් පිළිබඳ ඇති අවබෝධය අනුව ඔවුන් විසින් සිය පුහුණුවීම්වල නිරත වීමට යොමු කරවීම වඩාත් උචිත බවයි හතුරුසිංහ විසින් සඳහන් කරන්නේ.

මීට අමතරව ඔහු විසින් විශේෂයෙන්ම අවධාරණය කරන කරුණක් වන්නේ ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. මෙහි දී හතුරුසිංහ විසින් බංග්ලාදේශ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළ කාලසීමාව තුළ දී ද ඔහු සමඟ එක්ව සිටි ඕස්ට්‍රේලියානු මනෝවෛද්‍යවරයකු වන Phil Jauncey මෙවරත් ක්‍රීඩක මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායම වෙත සිය සහයෝගය ලබා දීමට සම්බන්ධ වී තිබෙනවා.

“හැම කෙනෙක් ම ඒ හරහා යන්න පුළුවන්. ඔබ දැඩි පුද්ගලයෙක් කියලා හිතුවත් සමහර විට ඒක එහෙම නොවෙන්න පුළුවන්. සමහර විට අපි හරියට නොදන්නවා වෙන්න පුළුවන්. සමහර විට මම පවා එහෙම අවස්ථා වලට මුහුණ දෙනවා. ඒ වෙලාවට මට වැතිර සිටීමෙන් හෝ ස්නානය කිරීමෙන් සුවයක් ලැබෙනවා.

එම නිසා මානසික දෙයක් කියන්නේ රෝගයක් නෙවෙයි. විවිධ අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ඔබ විසින් තේරුම් ගත යුතුයි.

අනෙක් සෑම විශාල කණ්ඩායමක් සමඟම මානසික සෞඛ්‍ය සම්බන්ධ පුහුණුකරුවන් (නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයින්ට සිය මානසික පීඩනය සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා) වැඩ කරනවා.”

ඕනෑම පුද්ගලයකුට මානසික අස්ථාවර වීම් සිදු විය හැකි බව අවධාරණය කරන හතුරුසිංහ විශේෂයෙන්ම සඳහන් කරන්නේ පුද්ගල මානසික සෞඛ්‍ය යනු තහනම් වචනයක් සේ සැලකීම සිදු නොකළ යුතු බවයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<