Mitchell Starc වසර හයකට පසු Big Bash පිටියට

306

පසුගිය තරගවාර කිහිපයේ දී Big Bash තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් ඉවත්ව සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc වසර හයකට පසුව Sydney Sixers කණ්ඩායම නියෝජනය කරමින් නැවතත් Big Bash තරග බිමට පැමිණීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් එම තරගමාලාව පැවැත්වෙන අතරවාරයේ දී ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය පැවැත්වෙන නිසාවෙන් Starc හට තරගාවලියේ මුල් තරග අහිමි වන නමුත් මූලික වටයේ අවසාන තරග තුන සහ අවසන් වටය සඳහා තේරී පත්වුවහොත් එම තරග ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වනු ඇත.

මීට අමතරව එංගලන්තය කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු Jonny Bairstow මෙවර තරගාවලිය නියෝජනය කරන දසවැනි එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වෙමින් Melbourne Stars කණ්ඩායම නියෝජනය කිරීමට ගිවිසුම් ගතව ඇති අතර සිය මුල්ම Big Bash තරගාවලිය ලෙස මෙවර තරගාවලිය සඳහා සහභාගි වන ඔහු එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු Melbourne කණ්ඩායම හා එක්වීමට නියමිතව ඇත.

නැවතත් Big Bash තරගාවලිය සඳහා එක්වීමට ලැබීම පිළිබඳව සිය අදහස් පලකරමින් Mitchell Starc කියා සිටියේ තමන් පසුගිය වසර තුළ දී සිය කණ්ඩායම් සගයන් වන Steve Smith සහ Josh Hazlewood පසුගිය වසර තුළ දී කණ්ඩායම සමඟ ක්‍රීඩා කරනු තමන් බලා සිටි බවත්, ඔවුන් තවමත් කණ්ඩායම සමඟින් සම්බන්ධ වී තිබීම තුළින් තමන්ට නැවතත් Sydney කණ්ඩායම සමඟින් සම්බන්ධ වීම පිළිබඳව බලාපොරොත්තුවක් ලබා දුන් බවයි.

“මම Big Bash තරගාවලියෙන් ඉවත්ව ඒ දෙස බලා සිටියා, මෙහි සංවිධායකයන් මෙම තරගාවලිය උසස් ලෙස පවත්වනවා. ඒ නිසාවෙන් නැවත එක්වීමට ලැබීම ගැන සතුටට පත්වනවා.

ඒක ඇත්තෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කාලයක්, Big Bash තරගාවලිය මගින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මට්ටම පෙන්නුම් කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා ලොව පුරා සියලූම ප්‍රේක්ෂකයන් මෙම තරගාවලිය නැරඹීමට උනන්දුවෙන් ඇති කියලා.

Big Bash තරගවාර පහකින් ඈත්ව සිටීමෙන් පසුව නැවතත් පැමිණීමට හැකි වීම පිළිබඳව මම සතුටු වෙනවා. මම මගේ Big Bash ගමන ආරම්භ කළේ Sydney කණ්ඩායමත් සමඟයි, ඒ නිසා මාගේ පැරණි කණ්ඩායම වගේම මගේ බිරිඳ Alyssa Healy සිටින කණ්ඩායම සමඟින් ඉදිරියට යෑමට හැකි වීම පිළිබඳව ද මා ඉතා සතුටට පත්වනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

Sydney Sixers කණ්ඩායම නියෝජනය කරමින් තරග 10කට සහභාගි වී ඇති Starc එම තරගයන්හී 11.3ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම මුල්ම වරට Big Bash තරගාවලිය සඳහා සහභාගි වීමට වරම් ලබා ගත් එංගලන්ත ක්‍රීඩක Jonny Bairstow සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ Melbourne Stars කණ්ඩායම සමඟින් එක්ව ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවයි.

“මම සෑම විටම Big Bash තරගාවලිය නැරඹීමට කටයුතු කළා, මම ලෝකේ කොහේ සිටියත් ඒක ගැටලුවක් වුනේ නෑ, අවසානයේ දී එම තරගාවලිය සඳහා එක්වීමට ලැබුණ එක් ගැන ගොඩක් සතුටුයි. මම දැන සිටියා Melbourne Stars මෙම තරගාවලියේ ඉතාමත් තරගකාරී කණ්ඩායමක් බව ඔවුන්ට අවසන් තරගවල දී පවා හොඳ වාර්තා තියෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මට එරෙහිව ක්‍රීඩා කළ Glenn Maxwell, Marcus Stoinis සහ Adam Zampa සමඟ එක්ව ක්‍රීඩා කිරීමට මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඒ වගේම  මෙල්බන් වැසියන් ශ්‍රීත කාලගුණය සහ කොරෝනා නිසාවෙන් පීඩා විදි බව දැනගන්නට ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා අප කණ්ඩායමට එම මිනිසුන්ට විනෝදයක් මෙන්ම මුහුණට සිනාවක් ගෙන ඒමට හැකි වෙයි කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම Jonny Bairstow සිය කණ්ඩායමට එක්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් එම කණ්ඩායමේ පුහුණුකරු David Hussey ප්‍රකාශ කර සිටියේ Bairstow සිය කණ්ඩායම සමඟින් එක්ව Big Bash තරගාවලිය සඳහා සහභාගි වීමට තීරණය කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, ඔහුගේ ඇති අත්දැකීම් බහුල බව සිය කණ්ඩායමෙ පිතිකරණ බල ඇණියට විශාල වටිනාකමක් එක් කරනු ඇති බවයි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<