මිල්ලේ සොයා සුද්දාගේ රටට ගොස් සුද්දන් සමඟ ඔට්ටු වෙන ශ්‍රී ලාංකිකයා

1735

උපන් දේශය හැරදා විදේශ ගත වන බොහෝ දෙනාගෙන් වැඩි පිරිසක් තමා උපන් රට වෙනුවෙන්ම ඇපකැප වන ශ්‍රී ලාංකිකයෝ වෙති. දහඩිය මහන්සියෙන් උපයා ගන්නා මුදලෙන් රටේ විදේශ විනිමයට දායක වනවා සේම ක්‍රීඩාව හරහා සිංහ ධජය ජාත්‍යන්තරය ඉදිරියේ රඳවන්නට වෙහෙසෙන පුද්ගලයින් ද ඒ අතර නැතුවාම නොවෙයි. එවන් අතලොස්සක් වූ විදෙස් ශ්‍රමිකයින් අතරින් අපගේ කතා නායකයා වන්නේ උදාර මධුසංකයි.

ප්‍රශ්නය – ඉස්කෝලේ රස කතා එහෙම?

උදාරගේ  පිළිතුර – “අපෝ ඕන තරම් (සිනහවෙමින්), මම මුලින්ම මහනාමෙට ආපු දවසේ. (ඔහු කතාවට මුල පිරුවේය)

ආහ් ඊට කලින් අශෝකේ ඉද්දී අපේ 9 දෙනෙක් රගර් ප්‍රැක්ටිස් ගියා, අපිට Ground එකක් තිබ්බේ නෑ එතකොට, ඉතින් ප්‍රැක්ටිස් ඉවර වෙලා එද්දී උදේ 9.00 – 9.30 වගේ වෙනවා, අපේ හිටපු පන්ති භාර මිස් හැමදාම කනේ පාරවල් 9ක් ගහලා තමයි අපිව පන්තියට ගන්නේ (සිහින් සිනහවකින්)”

අනිත් එක, මම මහනාමෙට ගිය ගමන්ම රෙජිස්ටර් එකේ මගේ නම තිබ්බේ නෑ,. එතකොට බී. එස්. උගන්නපු  සර් මං පන්තියට එද්දී තමුසේ කවුද ඕයි කියලා ඇහුවා. (සිනහවෙමින්).

මං අලුතෙන් ආවේ කියලා කිව්වට ගණන් ගත්තේ නෑ,, ඊට පස්සේ ඉතින් පළවෙනි දවසෙම මාව දණ ගැස්සුවා’

කතාබහ ආරම්භ කරමින් උදාර සිය සොඳුරු පාසල් මතකය ආවර්ජනය කළේ එසේයි.

මහානාම විද්‍යාලයේ දී

කොළඹ අසෝක විද්‍යාලයෙන් හා කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තබන  උදාර, 2007-08 වර්ෂය වන විට අසෝක විද්‍යාලයේ මලල ක්‍රීඩාවටත්, වූෂූ ක්‍රීඩාවටත් එක සේ දස්කම් දක්වමින් කාගේත් අවධානය දිනූ පාසල් තරුවක් බවට පත්විය. ඔහු වූෂූ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ වර්ණ පවා දිනා ගන්නට සමත් වූ ක්‍රීඩකයෙකි.

කෙසේ නමුත් සිය ජීවිතය පවා වෙනස් කරන්නා වූ වැදගත් තීරණයකට ඔහු මුලපුරන්නේ  මංජුල මධුසංක, මායාදුන්නේ යන මිතුරන් සමඟින් මහානාම විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායම සමඟ එක්වීමට ගත් තීරණයත් සමඟයි. කෙසේ නමුත් ඔහුගේ අවසන් තරග වාරය වන 2009 පාසල් තරග වාරයෙන් පසු ඔහු තවත් වැදගත් සන්ධිස්ථානයකට පිවිසුණේය.

ප්‍රශ්නය – ඉස්කෝලේ කාලෙන් පස්සේ මොකද වුනේ?

CH & FC හා CR & FC අතර තරගයක්

උදාරගේ පිළිතුර – 2009 පාසල් තරග වාරය අවසන් වෙලා එතකොට “නේවී” එකේ ටීම් එක හදනවා. CR එකේ තිබ්බ අපේ Trinity මැච් එකට පස්සේ එතනට ඇවිත් හිටියා පලිහක්කාර කියලා “නේවී” එකේ සර් කෙනෙක්, එයා මට කිව්වා ඉස්කෝලෙන් පස්සේ “නේවී” Practice එන්න කියලා. මම A/L පොදු පරීක්ෂණය ලියලා ආපු ගමන්ම එයාට කෝල් එකක් ගත්තා, එයා කිව්වා Practice එන්න කියලා.

එතැනින් ආරම්භ වන ඔහුගේ මීළඟ පරිච්ඡේදය ලියැවෙන්නේ අන්තර් සමාජ පිටිය ගැනයි.  2009 වසරෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මංගල අන්තර් සමාජ රග්බි තරගාවලියට සහභාගී වන උදාර ඉන්පසු දණහිසේ ආබාධයකට ලක්වීම ඔහුගේ ජීවිතයේ එක් බිඳ වැටීමකට හේතුවක් විය.

ප්‍රශ්නය – ජීවිතයේ දුක හිතුණ අවස්ථා එහෙම?

උදාරගේ පිළිතුර – ඒවා නම් ගොඩක් තිබුණා, (දීර්ඝ සුසුමක් හෙළමින්), ඇත්තටම රගර්වල injuries ගැන ලොකු දැනීමක් තිබ්බේ නැහැ. ඒත් මගේ ආබාධය වෙලාවේ මාව තනිවුණා, දණහිසේ ශල්‍යකර්මයක් පවා කරන්න වෙලා තිබ්බා, මගේ උදව්වට කවුරුත් හිටියේ නැහැ. ඒ වෙලාවේ සල්ලි ඔක්කොම වියදම් කරලා ඒක කළේ මගේ අම්මයි තාත්තයි, ඒක මට කවදාවත් අමතක වෙන් නෑ. (දුක්මුසු ස්වරයෙන්)”

ඉන්පසු 2011 වසරේ දී රග්බි පිටියෙන් ඈත්වන්නට තීරණය කරන උදාර 2012 වසරේ දී ඉන්දික උදයකුමාරගේ නායකත්වය යටතේ CH & FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. එතැන් පටන් 2014 වන තුරු CH & FC වෙනුවෙන් ක්‍රීඩා කළ උදාර ඉන්පසු ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයට ඇතුලත් විය. ඉන්පසු නැවතත් CH & FC වෙත සංක්‍රමණය වන ඔහු 2016 සිට 2018 වසර වනතුරු හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කළේය.

ඉන්පසුව එළඹෙන්නේ උදාරගේ ක්‍රීඩා දිවියේ සංක්‍රාන්ති අවධියයි. සිය ආදරණීය බිරිඳ කෝමලී සිල්වා සමඟින් දෙදෙනාම ස්විට්සර්ලන්තය බලා පිටත් වන්නේ මින් අනතුරුවයි.

ප්‍රශ්නය – එහේදී (ස්විට්සර්ලන්තයේ දී) රගර් ගැහුවේ කොහොමද?

උදාරගේ පිළිතුර – “මගේ ප්ලෑන් එකක් තිබ්බා එහේ රගර් තිබ්බොත් සෙල්ලම් කරන්න, ප්‍රංශ කණ්ඩායම් හා ඉතාලි කණ්ඩායම් ගොඩක්  එහේ සෙල්ලම් කරනවා. මං එහේ “Grasshoppers gateway Zurich” ක්‍රීඩා සමාජයට තමා සෙල්ලම් කරන්නේ. ගිය අවුරුද්දේ ඒ ගොල්ලෝ තමා අනුශූරතාව ගත්තේ ප්‍රධාන ලීගයේ.”

Grasshoppers ක්‍රීඩා සමාජ කණ්ඩායම (උදාර, කළු පැහැති කමිසය පැළඳ දකුණින් 4 වැනියා)

රග්බි ක්‍රීඩාවෙන් නොනැවතුණු උදාර ඇමරිකානු පාපන්දු ක්‍රීඩා පිටියට පිවිසෙන්නට ගතවන්නේ සුළු කාල පරාසයකි.

ප්‍රශ්නය – එතකොට ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙන්නේ?

ස්විස් සඟරාවක උදාර සහ කණ්ඩායම ගැන සටහන් වූ ලිපියක්

උදාරගේ පිළිතුර – “මෙහෙ ආවාට පස්සේ අපේ ගෙවල් ළඟ හිටියා බිරිඳගේ යාළුවෙක්,  ඉතින් එහෙදි තමා මේක ගැන දැන ගන්නේ, ඒ දවස්වල පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලේ, ඒක බලන්න ගියපු වෙලාවේ යාළුවෙක් හම්බ වුනා “ඇන්ඩි” කියලා, එහේදී මට ඉතින් සෙල්ලම් කරන්න එන්න කිව්වම change එකකටත් එක්ක මං ගියා. Club එකේ නම “Langenthal Invaders”, “කෙනී” තමා අපේ කොච්.

මම සෙල්ලම් කරන්නේ defensive අන්තයේ, D- line end එක, මට තියෙන්නේ tackle කරන්න. ඒක A කාණ්ඩයේ ක්‍රීඩා සමාජයක්, ලබන මාර්තුවල ලීගය පටන් ගන්නවා.”

අද වන විට ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ ප්‍රධාන පෙළේ රග්බි හා ඇමරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරනු දැකීම රටක් වශයෙන් අපට ආඩම්බරයෙන් කිව හැකි කරුණකි. රටේ ක්‍රීඩාව සේම රටේ නාමය නියෝජනය කරන්නාවුන් අතර උදාර යනු මිල්ලේ සොයා දුර රට යන්න ශ්‍රී ලාංකිකයින්ට හොඳ පූර්වාදර්ශයක්.

ප්‍රශ්නය – මොනවද අනාගත බලාපොරොත්තු?

උදාරගේ පිළිතුර – “මේ අවුරුද්දේ රග්බි ලීග් එක පටන් ගන්නවා ඔක්තෝබර් මුල, එකේ ගොඩක් හොඳ Clubs සෙල්ලම් කරනවා, හොඳ team එකක් ඉන්නේ, ලංකාවේ training සැසිවලට වඩා මෙහේ හරිම වෙනස්. ඇමරිකන් ෆුට්බෝල් පැත්තෙන් නම් 2019 මාර්තු තරග වාරය හොඳට කරන්න තමා බලාපොරොත්තුව.”

“ලංකාව ගැන කිව්වොත් මට CH එක අමතක වෙන්නෑ, financial පැත්තෙන් නම් සපෝර්ට් එක අඩුවෙන් තමයි තිබුණේ. ඒත් හොඳ යාළුවෝ ටිකක් හම්බුනා. 2016 චානක අයියාගේ injury එකෙන් පස්සේ සමහර matchවල දී මං කැප්ටන් කළා, CH හොඳ තත්වයකට එද්දී තමයි මං ස්විස් ආවේ. දැන් ඒගොල්ලෝ හොඳ තත්වෙක ඉන්නවා. ඒක මට ලොකු සතුටක්.”

ශ්‍රී ලංකාව ගැන අවසන් වශයෙන් යමක් පවසන්නට ඔහුට අවැසි වූ අතර ක්‍රීඩාවට එන නවකයින්ට ද ඔහු පැවසුවේ මෙවැන්නක්.

ප්‍රශ්නය – අවසන් වශයෙන් මොනවද අලුතෙන් එන අයට කියන්න තියෙන්නේ?

උදාරගේ ආදරණීයයන්

උදාරගේ පිළිතුර – “ක්‍රීඩාවට ආදරෙයි නම්, දෙයක් කරන්න හිතේ තියනවා නම්, ඒකට ජීවත් වෙන රට, කරන කියන දේවල් බාධාවක් වෙන්නේ නෑ, ඒ වගේමයි හැමවෙලේම රටේ කොඩියට ගෞරවයක් ගේන්න හැමෝම හිතට ගත්තා නම් හැමෝටම රටට දෙයක් කරන්න පුළුවන්, ඒ ආදරේම ඇති අපේ රට ලෝකේ ඉස්සරහටම ගෙනියන්න.”

ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු හා සෙනෙහෙබර බිරිඳකගේ සැමියෙකු ලෙස වගකීම් සම්භාරයක් සමඟින් උදාර තවමත් ක්‍රීඩාව තමාගේම භූමිකාව ලෙස පවත්වා ගෙන යනු දැකීම සතුටට කරුණක්.

අවසන් වශයෙන් උදාර වැනි විදෙස් ශ්‍රමිකයින් ක්‍රීඩාව වෙනුවෙන් සේම රට වෙනුවෙන් කරන මෙහෙය ඇගයීමට ලක්විය යුතු අතර ලෝකයේ දසත විසිරි ඇති මෙවන් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අපට සේම මුළුමහත් රටටම සම්පතකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<