ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වූ  23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය, ඊයේ (ජූලි 11) සිය මව්බිමට පැමිණියේය. තරගාවලියේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ගුවන් තොටුපොළේ දී මලල ක්‍රීඩා සංගම් නියෝජිතවරුන් විසින් පිළිගනු ලැබූ අතර සංචිතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පරිශ්‍රයේ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ප්‍රථම මැයි මස අග දී ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසා සිටියේ ආසියානු තරගාවලියේ දී අවම වශයෙන් පදක්කම් පහක් වත් බලාපොරොත්තු වන බවයි. කාන්තා මිටර් 800 ඉසව්ව පිළිබදව විශේෂ බලාපොරොත්තු තැබූ ඒ මහතා, එම ඉසව්වෙන් පදක්කම් දෙකක් බලාපොරොත්තු වන බව පවසා සිටියේය.

“අපේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා මිටර් 800 කාන්තා ඉසව්වේ නිමාලි සහ ගයන්තිකා ගැන, අපි මේ දෙදෙනාගෙන්ම පදක්කම් බලාපොරොත්තු වෙනවා මෙම තරගාවලියේ දී. මොකද අපි දැක්කා පසුගිය (ආසියානු) ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ගයන්තිකා විශේෂ දස්කම් දක්වලා ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ අවස්ථාවේ නිමාලි යම් අසනීප තත්වයක හිටියේ. නමුත් මෙම තරගාවලියේ දී අපි බලාපොරොත්තු වෙනවා දෙදෙනාගෙන්ම පදක්කම්.”

මෙම අනාවැකිය “කිරි ගහට ඇන්නාක් සේ” සඵල වෙමින් නිමාලි සහ ගයන්තිකා දෙදෙනා ලක් මෑණියන් වෙනුවෙන් රන් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගන්නේ වසර 10කට අධික කාලයකට පසු ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් එක් කරමිනි. ඉන්දීය ක්‍රීඩිකා අර්චනා ආදව් තරගයේ අවසන් මිටර් 50 තුල නිමාලි සහ ගයන්තිකා වෙත විශාල බාධා කිරීමක් සිදු කරමින් ප්‍රථමයෙන් තරගය අවසන් කළත්, ශ්‍රී ලංකා කළමනාකාරිත්වය අර්චනාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කිරීමෙන් පසු නිමාලි හට රන් පදක්කමත්, ගයන්තිකා හට රිදී පදක්කමත් ප්‍රදානය කිරීමට සංවිධායකයින් තීරණය කරනු ලැබීය.

තරගාවලියට ප්‍රථම ලබා දුන් අනාවැකිය සාර්ථක වීම පිළිබදව ThePapare.com වෙත අදහස් දැක්වූ සමන් කුමාර මහතා,

“ඇත්තටම ගොඩක් සතුටුයි රට වෙනුවෙන් මෙම කණ්ඩායම පදක්කම් 5ක් දිනා ගැනීම ගැන. නමුත් කනගාටුවකට කරුණක් තියෙනවා මොකද අවාසනාවකට ඉන්දීය තාක්ෂණික නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාප නිසා අපිට අනිවාර්යයෙන් ලැබෙන්න තිබුණු පදක්කම් 2ක් අහිමි වුනා.”

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ප්‍රථම ඉතා නිවැරදි අනාවැකියක් ප්‍රකාශ කළ සමන් කුමාර මහතා පැවසූවේ ලාංකේය මලල ක්‍රීඩා අනාගතය ඉතා සුභවාදි ලක්ෂයක් දෙසට යොමු වී ඇති බවයි.

“2006 වර්ෂයෙන් පසුව අපිට ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් ලබා ගැනීමට හැකි වෙලා නැහැ , නමුත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට ලබා දී තිබෙන මේ පදක්කම් ප්‍රමාණය හා අපට අවාසනාවන්ත ලෙස අහිමි වුන පදක්කම් සලකා බලපුවාම වසර 12කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවම වශයෙන් පදක්කම් 3ක් වැනි ප්‍රමාණයක් ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා.”

තේරීම් කමිටු සභාපති සමන් කුමාර මහතාගේ පසුගිය අනාවැකිය සේම ලබන වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන දක්ෂතාවයන් සහ ජවය අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු බව සක්සුදක් සේ දැන් පැහැදිලි වී අවසන් ය. මෙම දක්ෂතා ඔප්නැංවීම සහ ලබන වසර තෙක් ආරක්ෂා කිරීම සඳහා නිසි බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ThePapare.com අවදියෙන්.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<