කොදෙව්වන්ට දින 7ක නිරෝධායනයකට!

210
Bangladesh Cricket

කොරෝනා වසංගතය නිසාවෙන් නැවතුණ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමේ මුල්ම පියවර තබමින් ජනවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා Covid-19 පාලන සැලැස්මක් කොදෙව් ක්‍රිකට් බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

එම සැලැස්මට අනුව දින 14ක නිරෝධායන කාලසීමාව දින 7කට අඩු කිරීමටත්, කොදෙව් කණ්ඩායම බංග්ලාදේශයට පැමිණි විගස කොරෝනා පරීක්ෂණයක් සිදු කර එහි දී ආසාදිතයන් නොවන බවට තහවුරු වුවහොත් හැකි ඉක්මනින්ම එම ක්‍රීඩකයන්ට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් උත්සහ කරමින් සිටී.

තවද මෙම කොරෝනා කළමනාකරණ සැලැස්ම පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Akram Khan ප්‍රකාශ කර සිටියේ, තම බලධාරීන් විසින් මෙම සැලැස්ම බටහිර ඉන්දීය කොදෙව් පාලක මණ්ඩලයට යැවීමට කටයුතු කර ඇති බවත්, එ් සඳහා කොදෙව් ක්‍රිකට් බලධාරීන්ගේ අවසරය හිමි වූ පසු එම සැලැස්ම බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට නිකුත් කර ලබාගැනීමට සූදානමින් පසු වන බවත්ය.

එමෙන්ම බංග්ලාදේශ බලධාරීන් විසින් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක් (bio-bubble plan) නිර්මාණය කිරීමට මේ දිනවල කටයුතු සිදු කරමින් පවතින අතර එය සඳහා මේ දිනවල පැවැත්වෙන Indian Premier League තරගාවලියේ සහ පෙර පැවති Caribbean Premier League තරගාවලියේ සහ පකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරවල දී ක්‍රියාත්මක වූ එම ජෛව ආරක්ෂිත බුබුලු පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අධ්‍යනය කරමින් සිටී.

තවත් ක්‍රිකට් පුවත්: 

කොරෝනා වසංගතය නිසාවෙන් මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තාන සංචාරයත්, මැයි මාසයේ පැවැත්වීමට තිබූ අයර්ලන්ත තරගාවලිය සහ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරගාවලියත් කල් දැමීමට  සිදු වූ අතර ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළ නමුත් දින 14ක නිරෝධායන කාලසීමාවට බංග්ලාදේශ බලධාරීන් අකැමැත්ත පල කිරීම නිසාවෙන් එම සංචාරය ද කල් දැමීමට සිදු විය.

එලෙස කොරෝනා වසංගතය නිසාවෙන් නතර වූ ක්‍රිකට් ක්‍රීඩාවට තරමක ආරම්භයක් ලබා දෙමින් කණ්ඩායම් තුනක් සහභාගි කරගනිමින් දේශීය එක්දින තරගාවලියක් ජාතික සංචිතයේ ක්‍රීඩකයන් ද සහභාගි කරගනිමින් සාර්ථකව පැවැත්වූ අතර එහි දී ලද සාර්ථකත්වය නිසාවෙන් මෙම මස තුන්වැනි සතියේ දී කණ්ඩායම් 5ක් සහභාගි කරගනිමින් Bangabandhu T20 Cup තරගාවලිය පැවැත්වීමට සූදානමින් පසු වේ.

එම තරගාවලියේ දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් විසින් ජෛව ආරක්ෂිත බුබුලක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර එම බුබුලේ සාර්ථකත්වය මගින් මෙම වසංගතයේ බලපෑම යටතේ වූවද අන්තර්ජාතික කණ්ඩායම් බංග්ලාදේශය වෙත පැමිණීමට හැකියාවක් ඇති වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අපේක්ෂාවෙන් පසු වේ.

එමෙන්ම කොදෙව් තරගාවලිය සහ කොරෝනා පාලන සැලැස්ම පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් විධායක නිලධාරි Nizamuddin Chowdhury ප්‍රකාශ කළේ, තම පාලක මණ්ඩලය කොදෙව් පාලක මණ්ඩලය සමඟ දිනපතා සම්බන්ධ වෙමින් මෙම සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරන බවත්, එම සාකච්ඡාවලින් අනතුරුව එම කොරෝනා පාලන සැලැස්ම පිළිබඳව තීරණයකට එළඹෙන බවත්ය.

ඒ අනුව කොරෝනා වසංගතයෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන මුල්ම ජාත්‍යන්තර තරගාවලිය මෙම බටහිර ඉන්දිය කොදෙව් තරගාවලිය වනු ඇති අතර එම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් අන්තර්ගත වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<