ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම සිදුවීම ගැන Bancroftගෙන් හෙළිදරව්වක්

301

පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳව සියලු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැන සිටි බව Cameron Bancroft පවසා තිබෙනවා. එය ස්වයං අවබෝධයක් බවත්, සියලු පන්දු යවන්නන් එමගින් සිදු විය හැකි හානිය පිළිබඳවත් දැන සිටි බව ඔහු පවසනවා.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මේ ප්‍රකාශය Cameron Bancroft විසින් සිදු කර ඇත්තේ පසුගිය දා The Guardian පුවත්පත සමඟින් පැවති සාකච්ඡාවක දීයි.

2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවති ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය අතරතුර මෙම පන්දුව පළුදු කිරීමේ සිදුවීම වාර්තා වුනා. එහි දී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි Cameron Bancroft විසින් වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුව හිතාමතා පළුදු කරන ආකාරය කැමරා කාචවල සටහන්ව තිබුණා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් Cameron Bancroft වැරදිකරු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කළ අතර ඔහුට මාස 6ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පැනවීමට තීරණය කළා.

මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එවකට නායකයා වූ Steve Smith සහ උපනායකයා වූ David Warner ද මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බව අනාවරණය කර ගැනීමට සමත් වුනා. මේ නිසා ඔවුන් දෙදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවුනා. 

මෙම සිදුවීම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම සිදුවීම ලෙස සැලකෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ වෙතත් පසුගිය දා The Guardian පුවත්පත සමඟින් Cameron Bancroft සාකච්ඡාවකට එක්වුනා. එහි දී මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙම සිදුවීම සෙසු පන්දු යවන්නන් දැන සිටියා ද යන්න විමසා තිබුණා. එහි දී Bancroft පවසා සිටියේ තමන් සිදු කළ වැරැද්දේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව‍යි. නමුත් මෙම සිදුවීම පිළිබඳව සෙසු පන්දු යවන්නන් දැන සිටි බව ඔහු පවසා සිටියා.

“මම කළේ වැරැද්දක්. ඒකේ වගකීම මම සම්පූර්ණයෙන්ම භාරගන්නවා. මම ඒකට දඬුවම් වින්දා. මම කරපු දෙයින් වාසි වෙන්නේ පන්දු යවන්නන්ට. ඉතින් මේක අනික් පන්දු යවන්නන් දැනගෙන හිටියා. ඒක මම අවබෝධ කරගත්තා.” 

“මගේ ක්‍රිකට් දිවියේ මම ඉගෙන ගත්ත දෙයක් තමයි මම කරන දේවල්වලට මම වගකීම භාරගන්න ඕනේ කියන එක. මේ වගේ දෙයකින් වෙන්න පුළුවන් හානිය ගැන මම දැනගෙන හිටියා නම් මම එදා මීට වඩා වෙනස් තීරණයක් ගන්නවා” Cameron Bancroft පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම මතභේදාත්මක ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ඒ පිළිබඳව නැවතත් විමසා සිටියා.

“ඒ කියන්නේ කණ්ඩායමේ සමහර පන්දු යවන්නන් මේ ගැන දැන සිටියා?” මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

“ඇත්තෙන්ම.. ඔව්. මම හිතන්නේ ඔව්… ඒත් මට ඒක ගැන තහවුරු කරන්න බැහැ. මම අවබෝධ කරගත්ත විදිහට ඒකට උත්තරය ඔව්..” Cameron Bancroft එහි දී කලබල ස්වරූපයෙන් පිළිතුරු ලබා දී තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් Bancroft පවසා සිටියේ තමන් සිදු කළ වැරැද්ද පිළිබඳව තමන් ඉතාමත් කනගාටු වන බවත් ඔහු එම වැරැද්දෙන් බොහෝ දේ ඉගෙන ගත් බවත්ය.

“ක්‍රිකට් ක්‍රීඩාවට මම ලොකු වැරැද්දක් කළේ. මට දැනුණා මම කරපු වැරැද්දේ බරපතළකම. මම කණ්ඩායමට ආවා විතරයි. මට තේරුණා මම සියල්ලම අහිමිකර ගත්තා කියලා. සිදුවීමෙන් පස්සේ මට තේරුණා මම කණ්ඩායම ම අපහසුතාවයට ලක් කළා කියලා. මගේ වටිනාකම මම සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. මට ලොකුම කනගාටුව වුනේ මම ජාතික කණ්ඩායමට පිවිසුණ විගසම මේ වගේ දෙයක් වුන එක. මට දැනුණා මම ගොඩක් දේවල් අහිමිකර ගත්තා කියලා. මම ඒ වැරැද්දෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”

“මට ගොඩක් වෙලාවට හිතුණේ මම මගේම වටිනාකම විනාශ කරගත්තා වගේ. මට ඕනේ වුනේ ආයෙත් මගේ වටිනාකම උපයා ගන්න. සිදුවීමට කලින් මට ඕනේ වුනේ කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරන්න. ඒ නිසා මම තීරණය කළා වැලි කඩදාසියකින් පන්දුව පළුදු කරන්න. පන්දු යවන්නන්ට සහයක් දෙන්න මට ඕනේ වුනේ. මට ඒකේ වැරැද්ද සහ බරපතළකම තේරුණේ පස්සේ. ඒ වෙද්දී වැරැද්ද සිදු වෙලා ඉවරයි. මම හිතන්නේ ඒක මගේ ගමනේ කොටසක්. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.” 

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<