Bancroftගේ ප්‍රකාශයෙන් ඕස්ට්‍රේලියාව කැලඹෙයි

283

2018 වසරේ දී කේප් ටවුන් හි පැවති ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගය අතරතුර සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම සිදුවීමට සම්බන්ධ වූ Cameron Bancroft විසින් පසුගිය දා  සිදුකර තිබුණා. 

එහි දී Cameron Bancroft පවසා සිටියේ තමා සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් තරගයට සහභාගී වූ සෙසු පන්දු යවන්නන් ද දැන සිටි බවයි. 

මෙම ප්‍රකාශය ක්‍රිකට් ලෝකය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත විනය කමිටුව විසින් Cameron Bancroftගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ජාතික කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කරන Ben Oliver මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි අතර ඔහු පවසා සිටියේ Rebecca Murrayගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුව පසුගිය දා Bancroft සමඟින් සාකච්ඡා කළ බවත් ඔහුගේ ප්‍රකාශය අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවත්ය. 

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට කළු පැල්ලමක් එක් කල මෙම සිදුවීමට වැරදිකරුවන් වූ Cameron Bancroft හට මාස 9ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවූ අතර එවකට කණ්ඩායමේ නායකයා සහ උපනායකයා වූ Steve Smith සහ David Warner හට වසරක තහනමක් පැනවුනා.

“ඒ සිදුවීම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ලොකු කළු පැල්ලමක් එක් කළා. මේ නිසා අපි  ඒ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් සිදු කළා. ඒ ගැන අවශ්‍ය පියවර ගන්න අපි කිසිම වෙලාවක පැකිළුණේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් වගේම නිලධාරීන් සියලු දෙනාම ගොඩක් කැපවීමෙන් වැඩ කළා අපෙන් ගිලිහුණු ගෞරවය නැවත ලබා ගන්න.”

“Bancroft පසුගිය දා කළ ප්‍රකාශයත් එක්ක මේ සිදුවීමේ තවත් පැත්තක් හෙළි වුනා. ඒ ගැනත් අපි පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා සිටිනවා මේ ගැන යම් තොරතුරු තියන පුද්ගලයන් ඉන්නවා නම් අපේ විනය කමිටුවට ඇවිල්ලා ඔවුන්ගේ සහය ලබා දෙන්න කියලා. අපි Cameron Bancroftට දන්වලා තියනවා ඔහු ළඟ යම් අලුත් තොරතුරක් තියනවා නම් අපිට කියන්න කියලා. අපි ඒ ගැන ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ” 

තවත් ක්‍රිකට් පුවත්:

Bancroftගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke ද පසුගිය දා අදහස් දක්වා සිටියා. ඒ Sky Sports Radio සමඟින් එක්වූ සාකච්ඡාවක දීයි. 

“ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෙම කෙනෙක්ට තේරෙනවා මේ වගේ දෙයක් ඒ ක්‍රීඩකයන් තුන්දෙනා විතරක් දැනගෙන ඉන්න විදිහක් නැහැ කියලා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය උත්සාහ කළේ මේ සිදුවීම යටපත් කරන්න. ඒ නිසා ඔවුන් මේ ක්‍රීඩකයන්ට සම්පූර්ණ වරද යොමු කළා.” 

“ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ක්‍රීඩාව ගැන යන්තමින් හෝ දන්න කෙනෙක්ට තේරෙනවා ඒ සිදුවීමෙ දී ක්‍රීඩකයන් තුන් දෙනෙක්ට විතරක් වැරැද්දක් කියන්න බැහැ කියලා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ සිදුවීම යටපත් කරපු නිසා තමයි තවමත් මේ ගැන එක එක්කෙනාට චෝදනා එන්නේ. කවදාහරි දවසක යම් කෙනෙක් මේ ගැන සම්පූර්ණ කතාවම හෙළිකරන තුරු මේ තත්ත්වය තියේවි. මම හිතන්නේ නැහැ Bancroftගේ මෙම ප්‍රකාශය වැරැද්දක් කියලා. ඒක සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කිව්ව දෙයක් විතරයි” Michael Clarke පවසා සිටියා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කළා ද? හිටපු ඕස්ට්‍රේලියා නායක Adam Gilchrist ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

“මම විශ්වාස කරනවා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට තවමත් අවස්ථාවක් තියනවා මේ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න. මේ සිදුවීමේ ආරම්භය දක්වාම සොයා බලන්න ඕනේ. පන්දු පළුදු කිරීමේ සැලසුම් ගැන අනෙක් ක්‍රීඩකයන් දන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක විහිළුවක්. කාලෙන් කාලෙට මේ සිදුවීම ගැන යම් යම් ප්‍රකාශ සිදු වෙනවා. ඒක වළක්වා ගන්න ඔවුන්ට තියන එකම විකල්පය තමයි සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරලා මේ ගැන සාධාරණ ප්‍රකාශයක් නිකුත් කරන එක. ඒක අනෙක් රටවල් වලටත් ලොකු ආදර්ශයක් වේවි” Adam Gilchrist පවසා සිටියා. 

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<