ලෝකයේ දෙවැනියා වූ බලපිටියේ දක්ෂයා – හිරුෂ

1650

පසුගිය පෙබරවාරි මාසයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ වලිමුණි හිරුෂ හෂේන් මෙන්ඩිස් අබේසේකර දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.76ක දක්ෂතාවක් වාර්තා කළා.

තවමත් 19 වැනි වියේ පසුවන හිරුෂගේ මේ දක්ෂතාව ලැයිස්තු ගත වෙන්නේ වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ ලෝකයේ දෙවැනියට වන දක්ෂතාවක් ලෙසයි. මේ දක්ෂතාත් සමඟින් ඔහු 2022 අගෝස්තු මාසයේ ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කිරීමට ද වරම් දිනා ගත්තා.

ලැබූ ජයග්‍රහණය ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒත් තවත් දුර යන්න තියෙනවා. ආසියානු මට්ටමේ ඉහළ ම දක්ෂතාව දැක්වීමේ ආඩම්බරකම වඩාත් හැඟුම්බර වෙන්න නම් ලෝක තරගාවලිය දිනන්න ඕන. ඒ වෙනුවෙන් මේ දවස්වල වෙහෙස වෙනවා”, හිරුෂ ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

බලපිටිය, බ්‍රාහ්මණවත්ත පන්සලට ආසන්නයේ පිහිටි මුහුදු වෙරළේ හිරුෂගේ පා සටහන් නොතැබුණු තැනක් නෑ. මුහුදු සුළඟත්, ලුණු මිශ්‍ර පින්නත් ඇඟේ වැදුණේ නැති වුනොත් හිරුෂට හරියට හුස්ම ගත්තේ නැහැ වගේලු. ඒ තරමට ම මුහුදු වෙරළ හිරුෂට සමීපයි. ඒ නිසා ම පුංචි දවස්වල හිරුෂ වැඩි කාලයක් ගත කළේ මුහුදු වෙරළේ. ඊට හිරුෂගේ සීයා සුනිල් හේමරත්න, කොතරම් වැඩ තිබුනත් සහභාගී වෙනවා.

තාත්තට වඩා සීයත් එක්ක තමයි වැඩි හරියක් ම පොඩි කාලේ ගත කළේ. ගොඩක්ම ආස කළේ මුහුදු වෙරළට යන්න. ඒකට අපේ ගෙවල් ළඟ මගේ වයසේ ම කිහිප දෙනෙක් ම සූදානම් වෙලා හිටියා. සීයා හිටපු නිසා තමයි ඒ අයටත් මුහුදු වෙරළට යන්න චාන්ස් එක ලැබෙන්නේ.”

මෙහෙම ගියපු අය දිවුවා, පැන්නා ඒ වගේ ම හරි හරියට පීනන්නත් අමතක කළේ නැහැ. ඒත් ඉතිං පීනන එක නම්, සුනිල් හේමරත්නගේ ඇහැ මානයේ ම සිදු වෙන්න ඕන. එහෙම නැති වුනොත් සියලුම දෙනාට ම ආ..පසූ…ගෙවල් බලා හැරෙන් තමයි.

දන්න කියන කාලේ සිට ම පාසලේ ක්‍රීඩාවකට කරන්න ඕන කියල ආසාවෙන් හිටියේ ක්‍රිකට් ගහන්න ඕන කියන එක. ඒත් ඉතිං මුහුදු වෙරළට ගිහින් අඩුවෙන් ම කළේ ක්‍රිකට් ගහපු එක. හැබැයි ඉතිං ඒකටත් හරියන්න අනිත් හැම දේ ම කළා. පාසලේ දී දුවන ඉසව්වලට සම්බන්ධ වෙන්න හේතු වෙන්න ඇත්තේ ඒක.”

හිරුෂ පාසල් යන්නේ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට. පාසල තිබුණේ ගෙදර සිට පෙනෙන මානයේ. මේ නිසා හිරුෂ උදේ පාන්දර ම පාසලට ගියා. ඒ ක්‍රිකට් ගහන්න තිබුණ ආසාවට. පෙර දිනයේ හවස් වෙනතුරු වැල්ලේ දැඟලූ හිරුෂ ඊට පහුවෙනිදා උදේ පාසලට ඇවිත් ක්‍රිකට් ගහනවා. ඒ දවස්වල එක ම ආසාව වුනේ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න.

නමුත්, ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න කලින් හිරුෂට සහභාගී වෙන්න වෙන්නේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 11න් පහළ දුර පැනීමේ තරගයට. ඒ තමයි හිරුෂ හා හා පුරා කියා සහභාගී වූ මලල ක්‍රීඩා ඉසව්ව. ඉන් ජයග්‍රහණය කරන හිරුෂ මීටර් 50 සහ මීටර් 75 ඉසව් දෙකෙන් ද ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ අවුරුද්දේ වයස අවුරුදු 11න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙන්නේ හිරුෂ.

 “එදා මාත් එක්ක වැල්ලෙ දුවපු කිහිප දෙනෙක් ම මේ තරගවලටත් සහභාගී වුනා. මේ නිසා අපි හැමෝම තරගයකට වඩා සෙල්ලමකට වගේ ඒ තරගවලට සහභාගී වුනේ. මම ජයග්‍රහණය කළා කියලා ඒ අයටවත් මටවත් වෙන ම සතුටක් හෝ දුකක් තිබුණේ නැහැ. තරගවලින් පස්සේ අපි ආයිමත් වැල්ලේ පෙර පරිදි ම සෙල්ලම් කළා.”

එදා ඒ තැබූ ජයග්‍රහණයේ පා සටහන් ඊට වසර 8කට පසුව ලෝකයේ ම දෙවැනියා වීමට තරම් බලවත් වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැහැ.

හිරුෂගේ තාත්තා සුරංග මෙන්ඩිස්, ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන එක තමයි එයාගෙ රස්සාව. අම්මා නිසංසලා හේමරත්න ගෙදර දොරේ වැඩකටයුතු පාලනය කරන ගමන් හිරුෂගේ තාත්තගෙ වැඩ කටයුතුවලට උදව් කරනවා. හිරුෂට රජින් සංජනා නමින් නංගියෙකුත්, දිනුක් දුශේන් නමින් මල්ලියෙකුත් ඉන්නවා.

මේ කුටුම්භයේ වැඩ කටයුතුත් සමඟින් හිරුෂගේ මලල ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් නිසි ලෙසින් සලසා දෙන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. අඩුම තරමින් ක්‍රීඩා කරන්න අවශ්‍ය සුදුසු සපත්තු ජෝඩුවක් පවා හිරුෂට තිබුණෙ නැහැ. ඒත් ඉතිං කොතරම් අඩු-පාඩු තිබුනත්, හිරුෂගේ දක්ෂතාවල ද අඩුවක් තිබුණේ නැහැ.

ඒ දක්ෂතාවලට හේතු වුනේ සිද්ධාර්ථෙ මලල ක්‍රීඩා පුහුණු කළ ප්‍රියන්ත චන්ද්‍රසිරි සර්”, හිරුෂ තම පළමු පුහුණුකරු පිළිබඳව කෘතවේදීව සිහිපත් කළා.

සීයා සමඟ ගොස් මුහුදු වෙරළේ කළ සෙල්ලම්, නිසි පරිදි ක්‍රීඩා පිටියට ගොනු කර ගැනීමට පුහුණුකරු ප්‍රියන්ත චන්ද්‍රසිරි සමත් වෙනවා. ඒ වෙනුවෙන් වසර කිහිපයක් ම බොහෝ දුෂ්කරතා මැද ගත කිරීමට ඔවුන්ට සිදු වෙනවා.

එහි ප්‍රතිඵලය වන්නේ 2016 අවුරුද්දේ පැවති 47 වැනි සමස්ත ලංකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වීමට හිරුෂ සමත් වීමයි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති එම ක්‍රීඩා උළෙලේ දී හිරුෂ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.21ක දක්ෂතාවක් ද, මීටර් 200 ඉසව්ව තත්පර 23.8ක දක්ෂතාවක් ද සහ මීටර් 100 ඉසව්ව තත්පර 11.4ක දක්ෂතාවක් ද දක්වමින් නව තරග වාර්තා ද සමඟින් රන් පදක්කම් දිනා ගන්නවා.

ඒ අනුව හිරුෂ ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක ඉසව් ත්‍රිත්වයක නව තරග වාර්තා ත්‍රිත්වයක් සමඟින් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගත් පළමුවැනියා බවට ද පත් වෙනවා.

එපමණක් නොවේ, හිරුෂගේ දක්ෂතා හේතුවෙන් ම එවර එම ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14න් පහළ බාලක කාණ්ඩයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ද සිද්ධාර්ථ විද්‍යාලය සමත් වෙනවා.

අනතුරුව අවුරුද්දේ දී පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී හිරුෂ වයස අවුරුදු 15න් පහළ කාණ්ඩය නියෝජනය කරමින් දුර පැනීම මීටර් 6.52ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. එම අවුරුද්දේ දක්ෂතම කනිෂ්ඨ මලල ක්‍රීඩකයා බවට ද පත් වීමට ඔහු සමත් වෙනවා.

එම දක්ෂතාවන් හිරුෂගේ ගමන් මග සම්පූර්ණයෙන් ම වෙනස් කළා. හිරුෂ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. ඔහුගේ දක්ෂතා අගය කළා. හිරුෂට බලපිටියෙන් – බම්බලපිටියට එන්න අවස්ථාව උදා වෙන්නෙත් ඒ දක්ෂතා.

එමෙන් ම දිගින් දිගට ම පෑ දක්ෂතා හේතුවෙන් ඒ වෙද්දී හිරුෂ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය ද නියෝජනය කළා. ඒ සජිත් ජයලාල් යටතේ. බලපිටියේ සිට කොළඹට පිවිසීම ටිකක් දුෂ්කර කාර්යයක්. නමුත් හිරුෂ ආසාවෙන් ඒ පුහුණුවීම්වලට සහභාගී වුනා. දිනෙන් දින මලල ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂතා නිසා හිරුෂට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ දොරටු විවර වෙනවා.

එතැන් සිට සුනිල් ගුණවර්ධන සහ භද්‍රා ගුණවර්ධන යටතේ පුහුණුවීම් ලැබීමට ඔහුට අවස්ථාව උදා වෙනවා. සාන්ත පීතර විද්‍යාලයට පැමිණි අවුරුද්දේ ම නැවත වතාවක් හිරුෂ මීටර් 100, මීටර් 200 සහ දුර පැනීමේ ඉසව් ත්‍රිත්වයේ ම ජයග්‍රාහකයා බවට පත් වීමට සමත් වෙනවා.

ඒ 16න් පහළ ඉසව් නියෝජනය කරමින්. එහි දී හිරුෂ මීටර් 100 තත්පර 11.16කින් සහ මීටර් 200 තත්පර 22.22කින් නිමා කරමින් තමන්ගේ ඉහළ ම දක්ෂතාව දක්වන අතර දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 7.09ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් ද සමඟිනුයි. ඊට අමතර ව මීටර් 100 සහ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වලට ද සහභාගී වන හිරුෂ එම ඉසව්වන් ද ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 5ක් තම අලුත් විද්‍යාලයට දිනා දීමට සමත් වෙනවා.

මේ අතර කාලයේ දී හිරුෂ මෙරට පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල ද නියෝජනය කළා. එම කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වුනේ හිරුෂ. එහි දුර පැනීමේ ඉසව්වේ දී හිරුෂට දක්ෂතා දැක්වීමට ලැබුණේ මීටර් 6.98ක් පමණයි. ඉන් සිව්වැනියා වීමෙන් හිරුෂට සෑහීමකට පත් වෙන්න වුනා.

ඒ වෙද්දී මගේ බෙස්ට් තිබුණේ මීටර් 7.09ක්. අවුරුදු 15න් පහළ මීටර් 7කට වඩා පැනපු කෙනෙක්ට හිටියේ මම විතරයි. ඒත් ඒ මීට් එකේ දී මට මගේ උපරිම දක්ෂතාවලට එන්න බැරි වුනා. ඒ වගේ ම හොංකොංවල පැවති ආසියානු තරගාවලියේ දීත් මට මගේ උපරිමය පනින්න බැරි වුනා”, හිරුෂ එදා සිදුවීම් අදත් සිහිපත් කරන්නේ කනගාටුවෙන්.

මේ වෙද්දී හිරුෂගේ දුර පැනීමේ ඉසව්වේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ මීටර් 7.76ක්. එය ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික දුර පැනීමේ වාර්තාව. එමෙන් ම ජාතික කනිෂ්ඨ වයස් කාණ්ඩ වාර්තා කිහිපයක් ද පවතින්නේ ඔහු නමින්. ඊටත් වඩා ආසියානු මට්ටමේ වයස අවුරුදු 20න් පහළ ශ්‍රේණිගත කිරීම් හී පළමුවැනියා වන්නේ ද හිරුෂ.

සපත්තු දෙකක්වත් නැතිව කොළඹ ආපු මට, අද මම ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ ලැබූ ජයග්‍රහණ පිටුපස මගේ අම්මා, තාත්තා, සීයා සහ පවුලේ සියලුම දෙනාමත්, සිද්ධාර්ථෙ ප්‍රියන්ත සර්, කොළඹ දී මට මඟ පෙන්වූ සුනිල් සර්, භද්‍රා මිස්, සජිත් සර් වගේ ම සාන්ත පීතර විද්‍යාලයේ පියතුමන්ලා ඇතුළු සියලු ම දෙනාමත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මට තව දිගු ගමනක් යන්න තියෙනවා”, හිරුෂ පවසනවා.

නමුත් මේ ගමන යෑමේ දී ඔවුන් වෙත ලැබෙන පහසුකම්වල හිඟතාවයක් පවතින බවයි පැවසෙන්නේ. එමෙන් ම ඔවුන්ට තව තවත් ජාත්‍යන්තර තරග ලැබෙනවා නම් තරගකාරීත්වය තවත් වැඩි කර ගැනීමට හැකි බවක් ද පැවසෙනවා.

දැනට පාසලෙන් සහ පෞද්ගලිකව ලැබෙන උදව්වලින් තමයි පුහුණු කටයුතු කරගෙන යන්නේ. සුනිල් සර් වගේ ම භද්‍රා මිස් මගේ කෑම එකේ සිට සියලු අවශ්‍යතාවන් සොයා බලනවා. සිද්ධාර්ථෙදි නම් ක්‍රීඩාව අතහැර දාන්න හිතුණ වාර අනන්තයි. ඒත් දැන් නම් ඒ තත්ත්වය නැහැ. සර්ටත් මිස්ටත් ස්තුතිවන්ත වෙන්න මට මගේ අවධානය යොමු කරන්න තියෙන්නේ පුහුණුවීම්වලට සහ තරගවලට විතරයි. සාන්ත පීතර විද්‍යාලයෙනුත් උපරිම සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගයත් සමඟින් අනාගතයේ දී ඔලිම්පික් පදක්කමක් කරා යන්නයි මගේ බලාපොරොත්තුව”, හිරුෂ ThePapare.com සමඟ පැවසුවා.

ඔහුගේ ගමනට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<