පුටින්ට කුද ගහගන්නටැයි කී ඔලිම්පික් ශූරයා

1248
InsideTheGames

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණේ 1991 දී ය. ඒ වන විට වයස අවුරුදු 3ක් වූ දරුවන් අතර ලිපිය ලියන ලාංකික මමත්, ඇලෙක්සැන්ඩර් ලෙසන් නම් සෝවියට් රුසියානු දරුවාත් විය.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමත් සමඟ ’90 දශකයේ දී බෙලරූස්හි හැදී වැඩුනත්, එතෙක් ලෝක ක්‍රීඩා කරළියේ දැවැන්ත කොටසක් ආක්‍රමණය කොට තිබූ සෝවියට් ක්‍රීඩකයන් ලෙසන් හට පෙළඹවීමක් ගෙන දුන්නේය. ඇතැම් විට සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වූ රටක දරුවෙකු වී රුසියානු ක්‍රීඩකයන්ගේ ඔලිම්පික් දස්කම් නරඹන්නට වීම ඔහුට ඊරිසියාවක් දැනවූයේය.

InsideTheGames
ඇලෙක්සැන්ඩර් ලෙසන්

සෝවියට් සමූහාණ්ඩුවෙහි විශාල ඉඩකඩක් සහ ආයෝජනයක් ක්‍රීඩාව සඳහා වෙන්වී තිබුණි. එහෙත් එහි බිඳවැටීමෙන් පසු බිහිවූ බෙලරුසියාව (බෙලරූස්) වැනි රටවල්වලට එපමණ මුදලක් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්කිරීමේ හැකියාවක් නොතිබිණි. ආධුනික ක්‍රීඩකයෙකු වශයෙන් ලෙසන් හට මුහුණපාන්නට සිදු වූ විශාලම අභියෝගය එදාවේල පිරිමහගනිමින් ක්‍රීඩාවේ යෙදී සිටින අභියෝගයයි.

2009 දී රුසියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලද අවස්ථාව ඔහු විසින් දෑතින්ම පිළිගන්නේ එබැවිනි. එහෙත් ඒ ශක්තිමත් මූල්‍ය පදනම නිසාම නොවේ.

“රුසියානු ධජය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම මට ආඩම්බරයක් ගෙන දුන්නා.” 33 හැවිරිදි ලෙසන් කියයි.

“මගෙ ආච්චි අම්මාත් රුසියානුවෙක්. මගේ නෑදෑයන් රැසක්ම එහෙ ඉන්නවා. රුසියාව කියන්නේ හැමවිටම මගෙ හදවතට සමීප දෙයක් වුනා. ශක්තිමත්, ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට. මම හමුදාව හෝ දේශපාලනය ගැන කතා කරනවා නොවෙයි, මම කියන්නේ මිනිස්සු ගැන, ස්වභාවික අලංකාරීත්වය ගැන. මට හිතුණා හැම මොහොතෙම ඒක මට සම්බන්ධ වෙලා තිබුණා කියලා.” ඔහු කියයි.

2009 වසරෙන් පසුව රුසියාව වෙනුවෙන් ලෙසන් විසින් පස් ප්‍රයාම (Modern Pentathlon) ලෝක ශූරතා පදක්කම් 14ක් දිනා තිබූ අතර ඉන් හතරක්ම රන් පදක්කම් විය. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී ඔහු ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගත්තේය.

එහෙත් 2022 පෙබරවාරි මාසය අවසානයේ දී යළි කිසිදිනෙක රුසියාව නියෝජනය නොකිරීමට ඔහු තීරණය කළේය.

“පෙබරවාරි 22 වැනිදා මම මගේ සියලුම ක්‍රීඩා ඉසව්වලින් ඉවත් වුනා. යුක්‍රේනයට පහර දීලා දින දෙකක් ගතවෙනකොට.”

“මට මොකක්ද දැනුණේ? මට නරක වචන කියන්න අවසර ද? මම කම්පනයට පත්වුනා කියන එකත් මදි. මට තේරුණා ලෝකය නැවතත් පෙර පරිදි පවතින්නේ නැතිවේවිය කියලා.” ලෙසන් කියයි.

ඔහුට දෙවැනි සැලසුමක් නොතිබුනේය. ඔහු විසින් ගත් තීරණය ඔහු සලකන්නේ “හදිසි තීරණයක්” ලෙසයි. ඔහුට කිසිදු ආරක්ෂාවක් නොතිබුණි. කිසිවෙකු ඔහුව රුසියාවෙන් පිටතට පියාසර කිරීමට පොරොන්දුව නොතිබුණි. ඒ සියල්ල පසෙකලා ඔහු ක්‍රීඩාවට කිසිසේත්ම සම්බන්ධයක් නැති රැකියාවක් තෝරාගත්තේය.

UIPM
ලෙසන්, 2016 ඔලිම්පික් රන් පදක්කම දිනූ මොහොත

ඔහු රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව කතා කළ ඉතාම සීමිත රුසියානු ක්‍රීඩකයන් පිරිසගෙන් කෙනෙකි. ඒ පිරිසෙනුත් රුසියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් විරෝධය පෑ පිරිස තවත් සීමිතය.

වත්මන් ලෝකයෙහි වරදට එරෙහිව විරෝධය පෑම අවදානම් ය. එය නරක ප්‍රතිඵල වලින් යුක්ත විය හැකිය. දහස් ගණන් ජනයා යුධ විරෝධී පෙළපාලි තුළ සිටි වරදට සිර මැදිරි තුළට ගෙන ගොස් ඇත. රුසියාවේ “විශේෂ යුධ මෙහෙයුම්” විවේචනය කරන්නන් එරට අපරාධ නීතිය යටතේ “වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් ගණයෙහි ලා” වැරදිකරුවන් කළ හැක. එබැවින් ලෙසන් කතා කළේ තරමක් ප්‍රවේසමිනි.

“රුසියාව තුළ තත්වය බරපතළ වෙමින් තිබෙනවා.” ඔහු එක් කරයි.

“කලින් නම් ඔබ යුධ විරෝධී පෙළපාලියක හිටියොත් ඔබව රඳවා ගන්නේ දින 15ක් වගේ කාලයක්. දැන් එය අවුරුදු 3ක් හෝ 15ක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්.” ඔහු කියන පරිදි තත්වය භයානක ය.

එම නිසා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හඬ පාලනය වී ඇත. මාරියා ෂාරපෝවා වැනි ටෙනිස් ක්‍රීඩිකාවන් විරෝධයකින් තොර බලාපොරොත්තුවක පමණක් සිර වී ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානය හොබවන රුසියානු ටෙනිස් ක්‍රීඩක ආන්ඩ්‍රේ රුබ්ලෙව්, පෙබරවාරියේ පැවති තරගාවලියක් අතරතුර කැමරාවක් ඉදිරියේ “යුද්ධය එපා” යැයි පවසා තිබේ.

ශ්‍රේණිගත කිරීම්හි අංක දෙක හොබවන ඩැනීල් මෙද්වෙදෙව් “සාමය ප්‍රවර්ධනය කිරීම” ගැන අදහස් ප්‍රකාශ කොට ඇත. මේ සියල්ල සිදු වූයේ අදාළ නීතිය සම්මත වන්නට පෙර ය. එහෙත් මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හඬ පාලනය වී ඇත.

The Week UK
මාරියා ෂාරපෝවා

මේ වන විටත් ලෝක ක්‍රීඩා සංගම් රාශියකින්ම රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුසියානු ධජය යටතේ තරග වැදීම තහනම් කොට තිබිය දී රුබ්ලෙව් සහ මෙද්වෙදෙව් හට මධ්‍යස්ථ ධජයක් යටතේ තරග කිරීමට අවස්ථාව ලබා දී තිබේ. එම ක්‍රීඩකයන් සැබවින්ම මධ්‍යස්ථ යැයි ලිඛිතව ප්‍රකාශ කළ යුතු බව තවදුරටත් කතාබහ වෙමින් පවතින මාතෘකාවකි.

යුක්‍රේන යුද්ධයට එරෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටියත් එය ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ප්‍රකාශ කිරීමට බොහෝ දෙනා බියක් දක්වයි. එසේ සිදු කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් යැයි හංවඩු ගැසීමට ඇති ඉඩකඩ නිසාය. ඇතැමුන් ඊට බියව ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ට හිරිහැරයට පත්වන්නට සිදුවේ ද යන සැකයත් සමඟිනි.

යුද්ධයට පක්ෂපාතී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද බිහිවෙමින් තිබෙන්නේ මේ අතර ය. බලයේ සිටින පාර්ශවයන් සමඟින් එක්වී තම ගෝල බාලයන්ව රජයට පක්ෂපාතී බව ප්‍රදර්ශනය කිරීම සඳහා යොමුකරන්නේ පුහුණුකරුවන් බව සැලයි.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති නොහැකියාව නිසා ඔවුන් විශ්වාසය තබන්නේ රුසියාව තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන මාධ්‍ය ඒකාධිකාරය මතයි.

එබැවින් ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් හට පෙන්වන දෑ පමණි. ජාත්‍යන්තර පුවත් පරිශීලනය කිරීමට ඔවුන් හට ඉඩකඩ නැතුවා සේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇති නොඇල්ම ඔවුන්ව ලෝකයෙන් ඈත්කොට ඇත.

ඇලෙක්සැන්ඩර් බොල්ෂුනොව්, ලෝක ස්කී සම්මේලනය විසින් රුසියානු ක්‍රීඩකයන්ට ලබා දුන් තහනම පිළිබඳ කතා කළේය. බොල්ෂුනොව්, 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් තුනක් දිනා ගත් ක්‍රීඩකයෙකි.

ඔහු පැවසුවේ, “ක්‍රීඩාව සාමය පිළිබඳ විය යුතුය” යන්නයි. සතියකින් පසු ඔහු ප්‍රමුඛ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී “ජනපති වෙනුවෙන්! රුසියාව වෙනුවෙන්! නාසිවාදය පිටුදකිමු!” යන පාඨයන් ගෙන විශාල හඬක් නැගුවේය. එය රුසියානු දේශපාලන උපක්‍රමවල ප්‍රබලත්වය කියාපායි.

2022 ජුලි මාසය වන විට ලෙසන් හට වයස අවුරුදු 34කි. ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඔහු විසින් ගත් තීරණය ඔහුගේ විශ්‍රාම ගැනීම සනිටුහන් කොට ඇත. ඔහු අබලව ඇතැයි, තනිව ඇතැයි ඔහු සිතයි. එහෙත් ඔහුව අනුගමනය කරමින් යම් පිරිසක් හෝ විරෝධය දක්වනු ඇතැයි බලාපොරොත්තුවක් තවමත් ඔහු තුළ ඇත.

“රුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියන්නේ ජන මනස වෙනස් කරන්න පාවිච්චි කරන මෙවලමක් වගේ එකක්.” ලෙසන් කියයි.

“කවුරුත් හිතන්නෙ නෑ තමන් කරන දේවල්වලින් අනිත් අයගේ ජීවිතවලට ඇති වන බලපෑම ගැන. කවුරුත් හිතන්නෙ නෑ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා දරුවන් දැරියන්, කාන්තාවන් පිරිමින්, වැඩිහිටියන් මිය යන්නට වුනත් පුළුවන් කියලා. හැම කෙනෙක්ම තමන් විසින් තීරණය කරන්න ඕන තමන් මොනවා කළ යුතු ද කියලා.”

ඇලෙක්සැන්ඩර් ලෙසන් හට බලාපොරොත්තුවක් ඇත. එය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන වෙනුවෙන් මනුෂ්‍යවාදීන් වන අප සියල්ලන්ගේම බලාපොරොත්තුව විය නොයුතු ද?

-BBC ඇසුරින්

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<