වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු

7860
Dilhara Fernando
indianexpress.com

රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ටෙස්ට් ක්‍රිකට් හිස්වැස්ම ලබන ක්‍රීඩකයින්ගේ සතුට අපි දැක ඇත්තෙමු. මංගල ටෙස්ට් කඩුල්ල ලබා ගන්නා පන්දු යවන්නන් සතුටු වන අයුරු ද දැක ඇත්තෙමු. එය විශාල සතුටක් බව නොරහසකි. ටෙස්ට් කඩුලු 100ක් ලබාගැනීම යනු ද එවැනිම විශාල ජයග්‍රහණයකි.

මෙම ලිපිය ලියැවෙන දිනය වන විට ශ්‍රී ලංකාවේ ටෙස්ට් කඩුලු 100 සමාජයට ඇතුළත් වී ඇත්තේ ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණි. ඒ අතරින් හරියටම ටෙස්ට් කඩුලු 100ක් මත සිටගෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අපගේ කතා නායකයා දිල්හාර ප්‍රනාන්දු ය.  වැඩියෙන් වැඩ කළත් අඩුවෙන් කතා බහ වන ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන අප කියවන ගමනේ අටවැන්නයි මේ.

>> අඩු කතා – වැඩි වැඩ්ඩෝ <<

ශ්‍රී ලංකාව, ලෝක ක්‍රිකට් කරළිය තුළ අධි වේගපන්දු යවන්නන්ට එතරම් ප්‍රසිද්ධියක් නූසුලයි. ශ්‍රී ලංකාව ප්‍රකට වූයේ ඇඟිලි සූත්තර දමන, මැණික් කටු සූත්තර දමන කපටි පන්දු යවන්නන්ට ය. ඕනෑම ජාතියක් විශේෂීකරණය වන්නේ තම රටේ ඇති සම්පත්වලට සාපේක්ෂව ය. එබැවින් සාමාන්‍ය ප්‍රමාණයේ ශරීර ඇති, එහෙත් සුහුරු කෞෂල්‍යයෙන්, කලාත්මක හැකියාවලින් ඉහළින් සිටි ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී ලොව අනෙකුත් ජාතීන් හා සටන් කිරීමට යොදාගත්තේ එවැනි හැකියාවන් ය. එබැවින් ස්වාභාවික අධික වේගයෙන් පන්දු යැවිය හැකි කුමන හෝ පන්දු යවන්නෙකු මෙරටින් බිහිවන්නේ නම් ඔහු අනිවාර්ය සම්පතකි.

’90 දශකයේ දී ශ්‍රී ලංකාව සතු වූ චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, දුලිප් ලියනගේ, එරික් උපශාන්ත වැනි මැදි වේගපන්දු යවන්නන් අතර “වේගය” නමැති විශේෂ සාධකය ඉහළට ගෙන පෙන්වූයේ රවීන්ද්‍ර පුෂ්පකුමාර ය. ’90 දශකය අවසන් වන තුරුම වේගය තුළින් කැපී පෙනුණු එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා ඔහු ය. චමින්ද වාස් නම් අතිවිශිෂ්ට වේගපන්දු යවන්නා වුවත් වේගය පමණක් යොදා ගනිමින් කඩුලු ලබා ගත් අවස්ථාවන් විරල ය. වාස්ගේ වේගය ගැන අපට ගැටලුවක් තිබුනේම නැත. එහෙත් සියලු වේගපන්දු යවන්නන් “වාස්ලා” නොවන නිසා ඔවුනට වේගය අත්‍යාවශ්‍ය ය. 2000 වර්ෂය පමණ වන විට වේගය නමැති මාතෘකාව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ අසන්නට නොලැබුණු තරම් ය.

එහෙත් වයස අවුරුදු 16 වන තුරුම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවටවත් සහභාගී වී නොතිබුණු යොවුන් අධි වේගපන්දු යවන්නෙකු ඒ වන විටත් නැගී එමින් තිබිණි. හොඳින් වැඩුණු පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ දිල්හාර තම පාසල් ක්‍රිකට් කණ්ඩායමට එක්වන්නේ වෙනත් ක්‍රීඩකයෙකුගේ අඩුවක් පිරවීමට ය. එහෙත් කෙටි කලකින්ම ඔහු පාසල් පිතිකරුවන්ට මතක හිටින වේගපන්දු යවන්නෙකු වූයේ ඔහුගේ ස්වාභාවික වේගය නිසයි. ඔහු ක්‍රීඩා කළ තරගයකට ප්‍රධාන අමුත්තා ලෙස සපැමිණි එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඔහුව SSC ක්‍රීඩා සමාජයට බඳවා ගත්තේය.

අවස්ථාව ඔහුව සොයා ආවේය

දිල්හාර ප්‍රනාන්දු මුලින්ම ටෙස්ට් වරම් ලබන්නේ 2000 වසරේ දී ය. ඒ පාකිස්තානයට එරෙහිවයි. ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල මොහොමඩ් වසීම් ය. පාකිස්තාන පළමු ඉනිමේ දී ලකුණු 78ක් ලබා ගත් වසීම් අක්‍රම් ඔහුගේ දෙවැනි කඩුල්ල යි. දිල්හාරගේ දෙවැනි ටෙස්ට් තරගය ඔහුට විශේෂ වාසියක් සලසා දුන්නේ එය දකුණු අප්‍රිකානු සංචාරයක් තුළ දී පැවති නිසයි.

ඩර්බන් හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 98කට කඩුලු 5ක් දවා ගැනීමට දිල්හාර සමත් විය. ගැරී කර්ස්ටන් සහ ජාක් කාලිස් යන ප්‍රබල කඩුලු දෙක ද ඒ අතර විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගාවලියේ දී සිදු වූ විශේෂ සිදුවීම වූයේ දිල්හාර ප්‍රනාන්දු විසින් ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු විසින් එවකට ජාත්‍යන්තරයේ දී යවා තිබූ වේගවත්ම පන්දු කිහිපය යැවීමයි. එහි දී පැයට කිලෝ මීටර 145 සීමාවත් (91.9 mph) පසු කළ දිල්හාර අධි වේගපන්දු යවන්නන් සම්බන්ධව අක්‍රිය වී තිබූ වේගමානය යළි ක්‍රියාත්මක කළේය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැවුම් පුවතක් විය. මේ අප කතා කරන්නේ ඉඳහිට යවන අධිවේග පන්දුවක් ගැන නොව, දිල්හාර විසින් පැ.කි.මී. 140-148 මට්ටමේ එක දිගට පන්දු යැවූ කාලය ගැනයි. ඔහු සතු වූ ශක්තිමත් උරහිස් සහ ශරීරය නිසා පන්දුව තණතීරුවේ වැදී ඉපිලෙන ප්‍රමාණය ද වැඩි විය.

ඔහු වේගමානය නැවත සේවයට ගෙන ආවේය.

දකුණු අප්‍රිකාවට එරෙහිවම එක්දින වරම් හිමිවුවත් එක්දින ජාත්‍යන්තර පිටියට හැඩගැසීමට ඔහුට යම් කාලයක් ගත විය. වැඩි වශයෙන් නිපන්දු සහ වයිඩ් පන්දු යොමු වීම එක් ගැටලුවක් වූ අතර අනෙක් ගැටලුව වූයේ නිසි ඉලක්කය මඟ හැරීමයි. දිල්හාරට ඒ වන විට ලැබී තිබූ උපදෙස නම් හැකි තරම් වේගයෙන් පන්දු යවන ලෙසයි. ඕනෑම නවක වේගපන්දු යවන්නෙකුට හැකි උපරිම වේගයෙන් පන්දු යැවීමට අවශ්‍ය නිදහස ලබා දීම නරක නැත. එහෙත් එකල ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යැවීම පුහුණු කිරීම සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම ගැන අදට සාපේක්ෂව තිබුණේ තරමක් අඩු පහසුකම් ය. එබැවින් නිතර නිතර ආබාධෙවලට ලක්වීම ද දිල්හාරගේ ගැටලු ගොන්නේ තවත් එකක් විය. එබැවින් එක්දින කඩුලු ලබාගනිමින් කණ්ඩායමේ ස්ථාවර වීමට ඔහුට යම් කාලයක් ගතවිය.

2001 අගෝස්තු මාසයේ දී ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දියානු පිතිකරුවන් දිල්හාරගේ පන්දු යැවීමේ වේගය දැක තුෂ්ණිම්භූත වනු පැහැදිලිව පෙනෙන්නට තිබිණි. පළමු ඉනිමේ දී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත් දිල්හාර, ඉන්දියානුවන්ව ලකුණු 187කට සීමා කළේය. දෙවැනි ඉනිමේ දී මුත්තයියා මුරලිදරන් ක්‍රියාත්මක වූ අතර තරගය අවසන් වූයේ කඩුලු 10ක ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

23 හැවිරිදි දිල්හාර 2002 බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී පැයට කිලෝ මීටර 150 වේග සීමාව පසු කළේය. සැතපුම්වලින් කිවහොත් එය පැයට සැතපුම් 100ට වඩා අඩු වූයේ සැතපුම් 6කට මඳක් වැඩි ගණනකිනි (93.4mph). දිල්හාර වේගය අතින් දියුණු වීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පමණක් නොව ලෝක ප්‍රේක්ෂකයන් පවා උනන්දුවෙන් බලා සිටි අවධියක් ලෙස එය හැඳින්විය හැකිය. එහෙත් අවාසනාවකට දිගින් දිගටම ඔහුට බාධා කළ ආබාධ ඔහුගේ ක්‍රිකට් දිවියේ වරින් වර පැනනැගිණි.

මේ අතර ඔහු විසින් දියුණු කර ගත් තවත් විශේෂ උපක්‍රමයක් තිබුණි. ඒ වේගය අඩාල කරන පන්දුවයි. පන්දු යවන අතේ දබරැඟිල්ල සහ මැදැඟිල්ල අතර පන්දුව සිරකොටගෙන, පන්දු යැවීමේ ඉරියව්ව නොවෙනස් කොට යවන මෙම පන්දුව (Split finger slower ball) කා අතරත් කතාබහට ලක්විය. ’80 දශකයේ අගභාගයේ දී ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු වන ක්‍රෙග් මැක්ඩමොට් විසින් මෙවැනි පන්දුවක් යැවූ බව අසා තිබුණ ද, එය ශ්‍රී ලාංකික අපට සජීව ලෙස දක්නට ලැබුණේ දිල්හාරගෙනි. එය ඉතාම දක්ෂ උපක්‍රමයක් වූ අතර ඊට හසුව දැවී ගිය ශ්‍රේෂ්ඨ පිතිකරුවන්ගේ ප්‍රමාණය විශාල ය.

වරක් පාකිස්තානයේ ෂොයිබ් මලික්, දිල්හාරගේ වේගය  අඩාල කරන ලද පන්දුවට හසුව දැවී ගියේ යෝකර් ස්ථානයේ පතිත වූ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. 2002 මොරොක්කෝ කුසලාන එක්දින තරගාවලියේ දී එවකට වේගවත් දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු වූ ලාන්ස් ක්ලූස්නර් හට යැවූ වේගය අඩාල කරන ලද පන්දුව ෆුල්ටොස් පන්දුවක් සේ ක්ලූස්නර්ගේ පයෙහි පැටලුණේ පිත්තෙන් පහරක් කළින්ම එල්ල කොට පා ඉන්න වෙත හැරී බලා සිටිය දී ය. ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ ස්ක්වෙයාර් ලෙග් දෙස බලා සිටිමින් ය. එය එතරම් රැවටිලිකාර වේගය අඩාල කරන ලද පන්දුවකි.

එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සහභාගී වූ 2002 නැට්වෙස්ට් කුසලාන එක්දින තරගාවලියේ දී දිල්හාර තරග 5ක් තුළ කඩුලු 10ක් බිඳ හෙලුවේය. පළමු තරගයේ දී නසාර් හුසේන් සහ ග්‍රැහැම් තෝප් යන ප්‍රබල එංගලන්ත පිතිකරුවන් දෙදෙනාම ඔහු විසින් දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලටම යවමිනි.

එංගලන්තයේදී ලද සාර්ථකත්වය.

2002 වසරෙන් පසුව දිල්හාරගේ මාංශ පේශී ආබාධ උත්සන්න වූ අතර ඔහුට ක්‍රිකට් පිටියෙන් විවේකය ලබන අතරම ප්‍රතිකාර ගැනීමට සිදු විය. එබැවින් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම කඩින් කඩ සිදු වූ අතර එක්දින තරගවලදීත් ඔහු විසින් පන්දු යැවූයේ එතරම් වැඩි වේගයකින් නොවේ. ඒ වන විට ඔහුගේ පන්දු යැවීමේ වේගය පැ.කි.මී. 130 සිට 138 දක්වා පහත බැස තිබුණි. එම නිසා ඔහුගේ වේගය අඩාල කරන පන්දුවේ ඵලදායීතාවය ද පහත බැසීය.

2002 දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා ලබා දුන් ඉලක්කය 121කි. සුළු ලකුණු ගණනක ඉලක්කයක් වුවත් තරගය අත් නොහළ දිල්හාර මුල් පෙළ කඩුලු 4ක් ඉක්මනින් දවා ගත්තේ බලාපොරොත්තු දල්වමිනි. කෙසේ හෝ දකුණු අප්‍රිකානුවන් 121ක ඉලක්කය හඹා ගියේ කඩුලු 7ක් දැවී ගිය පසුය.

2004 පාකිස්තාන ටෙස්ට් සංචාරයේ තරග දෙකෙහිදීම ඉහළ දස්කම් පෑ දිල්හාර, තරග දෙකෙහිදී කඩුලු 9ක් දවා ගත්තේය. තරගාවලිය 1-1ක් ලෙස සම විය. “මැච් 2කින් විකට් 9ක්නේ! ඕකත් කජ්ජක්ද?”යැයි ඇතැම් විට ඔබ සිතාවි. එක් තරගයක දී පවා කඩුලු 10ක් දවා ගැනීම දඟපන්දු යවන්නෙකුට වැඩි වශයෙන් කළ හැකි වුවත් දිල්හාර ප්‍රනාන්දු යනු අධිවේග පන්දු යවන්නෙකි. තරගයක දී යම් ශාරීරික වේදනාවක් ඇති නොවන අධි වේගපන්දු යවන්නන් නැති තරම් ය. ඔවුන් එක් පන්දුවක් යැවීමට පවා මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. ඒ අනුව සලකන කල එක් තරගයක කඩුලු 4ක් 5ක් ලබා ගැනීමත් “අධි වේගපන්දු යවන්නෙකුට” ජයග්‍රහණයකි.

පාකිස්තාන කඩුලු සුනුවිසුණු විය.

2005 වසරේ දී ඔහු ටෙස්ට් තරගයක තමන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ බංග්ලාදේශයට එරෙහිවයි. පළමු ඉනිමේ දී ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත් ඔහු දෙවැනි ඉනිමේ දී ලකුණු 35කට කඩුලු 2ක් වාර්තා කළේය. දිල්හාරගේ දස්කම් සමඟින් ඉනිමක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

2006 එංගලන්ත සංචාරය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ජයග්‍රාහීම තරගාවලියකි. දිල්හාර, එංගලන්තය තරග 5-0ක සෝදාපාළුවකට ලක්කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

2003, 2007 යන ලෝක කුසලාන තරගාවලි දෙකෙහිදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ දිල්හාර ඉන් එකක දී අවසන් පූර්ව තරගයටත්, අනෙකෙහිදී අවසන් මහා තරගයටත් ක්‍රීඩා කිරීමට වරම් ලද්දෙකි. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තයට එරෙහි තරගය තනිව ජයග්‍රහණය කළ ක්‍රීඩකයා ඔහු බව ඔබට මතක ද?

2007 ලෝක කුසලාන එක් තරගයක් පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරයි. ශ්‍රී ලංකාව විසින් ලබා ගත්තේ ලකුණු 235ක් පමණි. ප්‍රබල එංගලන්ත කණ්ඩායමේ මැදපෙළ කෙවින් පීටර්සන්, පෝල් කොලින්වුඩ්, ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්, රවී බෝපාරා වැන්නන්ගෙන් සමන්විත විය. ඉන් කොලින්වුඩ් සහ ෆ්ලින්ටොෆ්ව නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූයේ දිල්හාර ය. එහෙත් රවී බෝපාරා සහ පෝල් නික්සන් එක්ව ශ්‍රී ලංකාවට තරගයක් ලබා දුන්නේය. ඒ හේතුවෙන් අවසන් පන්දුවාරය දක්වා තරගය පැමිණි අතර එහි දී ලකුණු 12ක් ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවශ්‍ය විය.

ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් පන්දුව ලබා දුන්නේ දිල්හාරට ය. දෙවැනි පන්දුවේ දී ම බෝපාරා විසින් පැඩ්ල් කිරීමකින් හතරේ පහරක් වාර්තා විය. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලබා ගත යුතු වූයේ ලකුණු 3කි. ලකුණු 2ක් ලබා ගත්තේ නම් එය ජය පරාජයෙන් තොරවිය හැකිව තිබුණි. දිල්හාර දිව ආවේය. ඔහු පන්දුව යැවීමට පැමිණ අත ද කරකැවූ නමුත් පන්දුව අතෙහි සිරකරගෙන සිටියේය. සිදු වූයේ කුමක්දැයි තේරුම් ගැනීමට යම් කාලයක් ගත වූ අතර බෝපාරාගේ මානසික ඒකාග්‍රතාවය ඉන් බිඳී ගියේය. බෝපාරා සූදානම්ව සිටියේ දිල්හාරගේ ප්‍රකට වේගය අඩාල කරන ලද පන්දුව වෙනුවෙනි. තරගය කියවා ගෙන සිටි දිල්හාර, පැයට කිලෝ මීටර 142.7ක වේගයෙන් පන්දුව කඩුල්ල වෙතටම යැවූ අතර පන්දුව කඩුල්ලේ වැදී බෝපාරා දැවී ගියේය. ශ්‍රී ලංකාවට ජය හිමි විය.

2007 ලෝක කුසලාන තරගාවලියේ දී රවී බෝපාරාට යැවූ පන්දුව.

එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ එංගලන්ත කණ්ඩායම තරග 3-1ක් ලෙස තරගාවලිය තමන් සතු කරගත්තේය. තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත්තේ ලකුණු 211ක් පමණි. එය ද පරාජය වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. එහෙත් දිල්හාරගේ වේගපන්දුව ක්‍රියාත්මක වී ලකුණු 104ක් තුළ සියලු එංගලන්ත කඩුලු දැවී ගිය අතර ලකුණු 27ට කඩුලු 6ක් දවා ගනිමින් ඔහු දැක්වූ විශිෂ්ට පන්දු යැවීම නිසා තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.

ආසියානු කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කිරීමේ වරම හිමි වූ දිල්හාර, අප්‍රිකානු කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර 2007 දී පැවති ඇෆ්රෝ-ඒෂියා තරගාවලියේ දෙවැනි තරගයේ දී ලකුණු 36කට කඩුලු 4ක් වාර්තා කළේය. සෑම විටම සහාය අධි වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ දිල්හාර අවස්ථා කිහිපයක දී හැර තම රාජකාරිය සාධාරණව ඉටු කළ පන්දු යවන්නෙකි. ඔහු විසින් ලබාගෙන ඇති එක්දින කඩුලු 187න් 83.9%ක්ම මුල්පෙළ සහ මැදපෙළ කඩුලු ය. ඉන් ගම්‍ය වන්නේ ඔහු යටපෙළ දුර්වල පිතිකරුවන්ට පන්දුවේ වේගය පෙන්වා කඩුලු ලබා ගත් රාක්ෂයෙකු නොවන බවයි.

ඔහුගේ ටෙස්ට් කඩුලු 100න් 81%ක්ද මුල්පෙළ සහ මැදපෙළ කඩුලු ය. එනම් ඔහු විසින් දවාගෙන ඇත්තේ දවා ගැනීමට අපහසු කඩුලු ය. ලොව වටා ලීග් ක්‍රිකට් සහ වරලත් ක්‍රිකට් තරගාවලි සඳහා ඔහුට ආරාධනා ගලා එන්නට වූයේ ඔහුගේ පන්දු යැවීමේ වේගය සහ මේ විශේෂත්වය නිසයි.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී පළමු වරට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළේ ටී. එම්. ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ 2011 වසරේ දී ය. දිල්හාර ප්‍රනාන්දු යනු එම තරගයට ද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එහි අවසන් ඉනිමේ දී ප්‍රතිවාදී නායක ග්‍රෑම් ස්මිත් සහ ඇෂ්වෙල් ප්‍රින්ස්ගේ කඩුලු දෙක දවා ගත්තේ දිල්හාර යි. 

ටෙස්ට් පිටියේ ද නමක් දිනා ගත් ආකාරය.

හදිසියක දී පිත්තෙන් පන්දුව නවත්වා ගනිමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට ද ඔහු පැකිළුණේ නැත. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ 10 වැනි කඩුල්ල සඳහා වන හොඳම එක්දින සබඳතාවයේ ඔහුගේ සහ ජෙහාන් මුබාරක්ගේ නම් සටහන්ව ඇත. දකුණු අප්‍රිකාවේ මංගොවුං ඕවල් ක්‍රීඩාංගණයේ 9 වැනි කඩුල්ල සඳහා වන හොඳම එක්දින ලකුණු සබඳතාවය ඇත්තේ ඔහුගේ සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නමට ය.

ටෙස්ට් සබඳතා අතරින් එංගලන්තයේ රෝස් බෝල් ක්‍රීඩාංගණයේ 8 වැනි කඩුල්ලේ හොඳම ටෙස්ට් සබඳතාවය, පාකිස්තානයේ ෆයිස්ලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ 9 වැනි කඩුල්ලේ හොඳම ටෙස්ට් සබඳතාවය සහ SSC පිටියේ 9 වැනි කඩුල්ලේ හොඳම ටෙස්ට් සබඳතාවයේ ද සම හිමිකාරීත්වයක් ඔහුට ඇත.

දිල්හාරගේ පිටියේ පන්දු රැකීම මන්දගාමී වූ නමුත් ඔහුගේ උඩපන්දු රැකීම සුරක්ෂිත ය. ඔහුටම ආවේණික ක්‍රමයකට, එනම් පැසිපන්දුවක් ග්‍රහණය කරගන්නා විලාසයකින් උඩපන්දු රැක ගත් දිල්හාරට එය තවත් පහසු වූයේ කූඩ දෙකක් මෙන් විශාල ඔහුගේ දෑත්වලින් පැනයන්නට පන්දුවට හැකියාවක් නොතිබූ බැවිනි.

දිල්හාර ප්‍රනාන්දුව අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දී දැකිය හැකි වූයේ 2012 ජූලි මස දී පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී ය. එවිට ඔහු විසින් ලබාගෙන තිබු‍ණේ ටෙස්ට් කඩුලු 97ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100ක් ලබා ගත් ක්‍රීඩකයන් හත්දෙනා අතරට එක්වන්නට ඔහුට කඩුලු 3ක් අවශ්‍ය වූයේ මුත්තයියා මුරලිදරන් හට ඔහුගේ අවසන් තරගයේ දී ටෙස්ට් කඩුලු 800 ලබා ගැනීමට කඩුලු 8ක් අවශ්‍ය වූ සේම ය.

පල්ලෙකැලේ දී පැවති තරගයේ පළමු ඉනිමේ දී දිල්හාරට කිසිදු කඩුල්ලක් හිමි වූයේ නැත. ටෙස්ට් කඩුලු 100 ආසන්නයටම පැමිණ එය සාර්ථක කරගන්නට නොහැකිව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට සිදු වූයේ නම් එය අවාසනාවක් වන්නට තිබුණි. ඔහුගේ වයසත්, ආබාධත් නිසා තවදුරටත් ටෙස්ට් තරග ලැබේ දැයි සැකයක් ද පැවතිණි. එහෙත් දෙවැනි ඉනිමේ දී අර්ධ ශතක ලාභී මොහොමඩ් හෆීස් සහ ශතකලාභී අසාර් අලීව දවා ගත් දිල්හාර සිය අවසන් සහ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස මොහොමඩ් සාමිව දවා ගත්තේය. ආබාධවලින් ගහන ඔහුගේ 12 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සොබාදහම ආශීර්වාද දැක්වූයේ එලෙසිනි.

ඔහුගෙන් පසුව අධි වේගපන්දු යවන්නන් රැසක්ම ශ්‍රී ලංකාව විසින් සොයාගත්තේය. අපි ඔවුන් ගැන වර්ණනා කරන්නට ද නොපැකිලෙමු. එහෙත්  90 දශකයෙන් පසුව මකුළු දැල් බැඳෙමින් තිබූ ශ්‍රී ලංකා වේගපන්දුවේ වේගමානය යළි සේවයට කැඳවූ දිල්හාර ප්‍රනාන්දු ගැන අප කතා බහ කරන ප්‍රමාණය මඳ ය. මේ එම හිඩැස පිරවීමට දැරූ අවංක උත්සාහයකි.    

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<