ඔලිම්පික් සිහිනය ලුහුබඳින සබරගමුවේ කඩුලු පැනීමේ ශූරයා

896
Roshan Dammika

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පසුගිය වසර කිහිපයක කාලයේ හිස්තැනක්ව පැවති පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ශූරයෙකුගේ අඩුව පුරවමින් මෑත කාලයේ දී කෙටිදුර කඩුලු පැනීමේ වාර්තා රැසක් අලුත් කිරීමට යොවුන් ක්‍රීඩකයෙකු සමත් වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ සබරගමුව පළාතේ වටිනාම දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ උපත ලැබූ ඔහු නමින් රොෂාන් ධම්මික.

1998 මැයි 10 වැනිදා සහෝදරයකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස රොෂාන් උපත ලැබූ අතර ඔහුගේ පවුලෙන් ආ ක්‍රීඩා ආභාෂය නිසාවෙන් ඔහු ද කුඩා කළ සිටම ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වුවා.

කොස්වැටිය මහා විද්‍යාලයෙන් සිය පාසල් ගමන ආරම්භ කරන රොෂාන් පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලෙන් සිය ක්‍රීඩා දිවියට අත්පොත් තැබුවා.

කනිෂ්ඨ අවධිය මහා විද්‍යාලයේ ගෙවා දමන රොෂාන් සාමාන්‍ය පෙළ සඳහා ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයට එක්වීමෙන් අනතුරුව මලල ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරන්නේ කීර්ති ගුරුමහතාගේ නිවැරදි මගපෙන්වීම යටතේයි.

එතැන් පටන් උස පැනීම ඉසව්ව ප්‍රධාන ඉසව්ව ලෙස තෝරා ගත් රොෂාන් ඉතා ඉක්මනින් දස්කම් දියුණු කර ගනිමිනි 2010 වසරේ දී උස පැනීමේ ඉසව්වේ සබරගමු පළාත් වාර්තාව බිඳ හෙළීමට සමත් වනවා.

“උස පැනීම තමයි මගේ පළවෙනි ඉසව්ව. සබරගමු වාර්තාව පිහිටුවීමෙන් පසුව මම ඒ ඉසව්ව දිගටම කරගෙන ගියා. හිටපු උස පැනීමේ ශූර මංජුල කුමාරගේ පාසල් වාර්තාවක් බිඳ හෙළලා 2014 වසරේ දී හොඳම පැනීම් ශූරයා සහ ජාතික පාසල් දක්ෂතම ක්‍රීඩකයා වෙන්න මට හැකි වුනා”.

පාසල් පිටියේ උස පැනීම ඉසව්වෙන් දැක්වූ ඉතා ඉහළ දස්කම් නිසාවෙන් රොෂාන් හට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර යොවුන් තරගාවලි රැසකටම සුදුසුකම් ලබා ගැනීමට හැකි වන්නේ ඔහුගේ තිබූ අසීමිත කැපවීම නිසයි.

“2015 වසරේ තිබ්බ ආසියානු යොවුන් ශූරතාවයේ දී උස පැනීම ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගන්න මට පුළුවන් වුනා වගේම යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට මට පුළුවන් වෙනවා. ඒ වගේම කොලොම්බියාවේ තිබ්බ ලෝක යොවුන් ක්‍රීඩා උළෙලේ 11 වැනි තැන දිනා ගන්න මට පුළුවන් වුනා”, යොවුන් ජාත්‍යන්තර පිටියේ දස්කම් ගැන රොෂාන් අදහස් දැක්වුවේ එලෙසයි.

උස පැනීම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉතා ඉක්මනින් ඉහළට පැමිණි රොෂාන්ගේ ක්‍රීඩා දිවියට තරමක බාධාවක් එල්ල වන්නේ 2016 වසරේ පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් සමඟ කෙටි කලක් පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා.

එම ආබාධයෙන් සුවය ලබා ඔහු නැවතත් ක්‍රීඩා පිටියට පැමිණියත් එම ආබාධයෙන් සිදු වූ බලපෑම නිසාවෙන් ඔහුට නැවතත් උස පැනීම ඉසව්ව සුපුරුදු පරිදි කරගෙන යෑමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

නමුත් එම අභියෝගයට නොසැලුණු රොෂාන් සිය ක්‍රීඩා දිවියේ විශාලතම හැරවුම් ලක්ෂය සටහන් කරමින් උස පැනීම මදකට නවතා කඩුලු පැනීමේ ඉසව්වට අවධානය යොමු කරන්නේ ක්‍රීඩාවට ඇති අසීමිත ආදරය නිසයි.

“මම ඊට කලිනුත් කඩුලු පැනීමට පොඩි අවධානයක් දීලා තිබ්බ නිසා ඉසව්ව මාරු කරන්න පහසු වුනා. මම කඩුලු පැනීම ප්‍රධාන ඉසව්ව කරගෙන අවුරුදු දෙකක් යද්දී මට ජාතික ශූරයා බවට පත්වෙන්න පුළුවන් වුනා වගේම තායිලන්ත විවෘත තරගාවලියේ රිදී පදක්කම දිනා ගනිමින් කඩුලු පැනීමෙන් පළමු ජාත්‍යන්තර පදක්කම දිනා ගන්න මට පුළුවන් වුනා”, සිය ඉසව්වේ වෙනස් වීම ගැන රොෂාන් අදහස් දැක්වුවේ එලෙසයි.

Roshan Dammikaරොෂාන් ජාතික තලයේ දැක්වූ දස්කම් නිසාවෙන් 2017 වසරේ දී ඔහුට ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ එක්වන ලෙස ආරාධනාවක් ලැබෙන අතර සිය ක්‍රීඩා දිවියේ ඉදිරියට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙස එය සලකා 2017 අග භාගයේ දී යුද හමුදාව සමඟින් අත්වැල් බැඳ ගැනීමට රොෂාන් කටයුතු කළා.

යුද හමුදාවෙන් ලැබූ සහයත් සහ සිය පුහුණුකරු වන ටිරෝන් ඉන්දික ගමගේ මහතාගේ නිවැරදි මග පෙන්වීමත් නිසා කඩුලු පැනීමේ ඉසව්වෙන් විශාල ප්‍රගතියක් ලැබූ රොෂාන් සිය ක්‍රීඩා දිවියේ විශාල සිහිනයක් සපුරා ගනිමින් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනා.

Roshan Dammika
රොෂාන් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී

සිය පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලෙස 2019 ක්‍රීඩා උළෙල නියෝජනයට නේපාලයට පැමිණි රොෂාන් එහි පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඉසව්ව තත්පර 14.37ක කාලයකින් අවසන් කරන්නේ තුන්වැන්නා ලෙසයි.

නමුත් එම තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩකයා තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසාවෙන් රොෂාන්ගේ දකුණු ආසියානු ලෝකඩ පදක්කම රිදී පදක්කම දක්වා උසස් කිරීමට බලධාරීන් කටයුතු කළා.

එමෙන්ම 2019 වසරේ රොෂාන් තවත් සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට සමත් වෙන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණ අංශයේ උපාධියකට සුදුසුකම් ලබමින් විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීමට ඔහු සමත් වීමත් සමඟයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය නිසාවෙන් කෙටි කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට රොෂාන්ට සිදු වූ අතර ඔහු එම කාලය තුළ දැඩි කැපවීමෙන් පුහුණුවීම් සිදු කරමින් සිය දස්කම් ඉහළ නංවා ගත්තා.

එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මහේෂ් පෙරේරා විසින් 1997 වසරේ පිහිටුවා තිබූ මීටර් 110 කඩුලු පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙළීමට ඔහු සමත් වුනේ තත්පර 13.97ක කාලයක් සමඟිනුයි.

එම වාර්තාව බිඳ හෙළීමෙන් පැය කිහිපයකට පසුව තරගාවලියේ මීටර් 110 කඩුලු පැනීම අවසන් තරගයට සහභාගී වූ රොෂාන් තත්පර 13.89ක කාලයකින් තරගය අවසන් කරමින් ඔහුගේම වාර්තාව අලුත් කරන්නේ මීටර් 110 කඩුලු පැනීමේ ජාතික කිරුළ ද තමන් සතු කරගමිනුයි.

“කොරෝනත් එක්ක කැම්පස් එකේ ඉඳලා ගෙදර ගියාට පස්සේ තමයි හරියට පුහුණුවීම් කර ගන්න ලැබුණේ. ඒ පුහුණුවීම් වලින් පස්සේ ජාතික වාර්තාව ඉලක්ක කරලා හිටියා. ඒ නිසා ජාතික ශූරතාවයේ දී ජාතික වාර්තාව දෙවරක්ම අලුත් කරන්න මට පුළුවන් වුනා”, ජාතික වාර්තාව පිහිටුවීම පිළිබඳව රොෂාන් අදහස් දැක්වූවේ එලෙසයි.

අධ්‍යාපන කටයුතු නිසාවෙන් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නිවැරදිව කරගෙන යෑමට රොෂාන්ට නොහැකි වූවත්, මෙම වසරේ පැවති 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 14.04ක කාලයකින් අවසන් කරමින් සිය ජාතික කිරුළ රැකගැනීමට ඔහුට හැකි වුනා.

Roshan Dammika
රොෂාන් ධම්මික (412)  2022 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී

එමෙන්ම මෑත කාලයේ දී ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබී ලබන වසර දක්වා කල් තැබූ ආසියානු ක්‍රීඩා උළෙලට නම් කළ සංචිතයට ද රොෂාන්ව ඇතුළත්ව තිබුණා.

“ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට පුළුවන් වුනාම මම ගොඩක් සතුටු වුනා. ඒ වගේම ආයේ කැම්පස් පටන් ගත්ත නිසා ඒකෙන් පුහුණුවීම්වලට යම් ගැටලු මතුවෙනවා. ඒත් ඒ හැමදේම එක්ක මට පුළුවන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා”, ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිළිබඳව ඔහු අදහස් දැක්වුවේ එලෙසයි.

එමෙන්ම තමන්ගේ ක්‍රීඩා දිවියේ ඉදිරි බලාපොරොත්තු සහ ක්‍රීඩා දිවියට අත්වැලක් වූ පුද්ගලයන් පිළිබඳව ThePapare.com අප වෙත අදහස් දක්වමින් රොෂාන් ධම්මික ප්‍රකාශ කළේ,

“ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන එක තමයි විශාලතම බලාපොරොත්තුව. ඒ වගේම උපාධියත් ඉවර කරලා අධ්‍යාපනයත් එක්ක රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගෙදරින් ලැබුණු සහයෝගය වගේම මගේ පාසලෙන් සහ විශේෂයෙන්ම මගේ පුහුණුකරු රෑ දවල් නොබලා වැඩ කරපු නිසා කරන්න ඕන දේවල් ඉතා උවමනාවෙන් කරපු නිසයි මේ දේවල් ලබාගන්න පුළුවන් වුනේ. ඒ වගේම යුද හමුදාව ඇතුළු ගොඩක් දෙනෙක් මේක පිටිපස්සේ හිටියා. ඒ හැමෝගෙම මහන්සියෙ ප්‍රතිඵල තමයි ලැබුණේ”.

ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම සමබරව පවත්වා ගනිමින් ඉදිරියට යන රොෂාන් වැනි ක්‍රීඩකයින් බිහිවන්නේ කලාතුරකිනි. ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයෙනුත් රොෂාන්ට අවශ්‍ය ඉලක්කයට යෑමට මෙන්ම ලක්මාතාවට තවත් සුවිශේෂී ජයග්‍රහණ ලබා දීමට ThePapare.com ඔහුට සුබ පතන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<