සුභ ඇරඹුමක් ලැබුණු 250වන ටෙස්ට් තරගය

370

කඩුල්ලකින් ආරම්භ වී කඩුල්ලකින්ම අවසන් වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 281ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව වේගවත් පිතිහරඹයක් ආරම්භ කළත් ඩේවිඩ් වෝනර්ගේ වටිනා කඩුල්ල දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වීමත් සමග පළමු දිනය අවසන් වූයේ මැතිව්ස්ගේ බල ඇණිය සටන් බිමේ පියවරක් ඉදිරියට ගෙන යමිනුයි.

පසුගිය ලිපි: ලහිරුගේ වේග පන්දුව එංගලන්ත ඉනිම සුණු විසුණු කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ 250වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා අද උදෑසන ගාලු ක්‍රීඩාංගණයේ ඉඩ වෙන් වෙද්දී, කණ්ඩායම් දෙකම තරගයට පිවිසියේ නවක ක්‍රීඩකයෙකු බැගින් තම කණ්ඩායම් වලට එක් කර ගනිමිනි. විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ 137වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වූ අතර ජෝන් හොලන්ඩ් 444වන ඕස්ට්‍රේලියානු බැගී ග්‍රීන් ටෙස්ට් හිස්වසුමේ හිමිකරු බවට පත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. නමුත් පළමු පන්දුවෙන්ම මෙම තීරණය පිලිබඳ නැවත සිතා බැලීමට අවස්ථාවක් උදා වුනේ දිමුත් කරුණාරත්නගේ පළමු ඉනිමේ දායකත්වය එක් පන්දුවකට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සමත් වීමත් සමගයි.  

කෞෂාල් සිල්වාට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණයි. දෙවැනි කඩුල්ලේ අයිතියත් ස්ටාක් ම සතු විය.මේ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 9ක් ලෙස සටහන් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව අවසන්ය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අවසන් ඉනිම 18 තුල වාර්තා වී ඇත්තේ එක් අර්ධ ශතක සබඳතාවක් පමණක් වීම හේතුවෙන් මීළඟ තරගයේදී ආරම්භක පිතිකරුවන් පිලිබඳ නැවත සිතා බැලීමට තේරීම් කමිටුවට සිදුවනු ඇත.

කාසියේ වාසිය දිනා ගැනීමේ වාසිය හිමි කරගැනීමට නොහැකිව අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවන් බවට පත් වූයේ කුසල් සුසංයෝගයයි. තුන් වන කඩුල්ල සඳහා ලකුණු 108ක සබඳතාවක් ගොඩනගන්නට කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් සමත් විය.

කුසල් මෙන්ඩිස් තම දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කලේ මනා පාලනයකින් මෙන්ම, දුර්වල පන්දු තෝරා බේරාගෙන අලංකාර පහර කිහිපයක්ද එල්ල කරමිනුයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 109ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට ගෙන එන්නට කුසල් – කුසල් සබඳතාවට හැකිව තිබුණි.

දිවා ආහාරයෙන් පසු ඉතා ආසන්න කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමකින් ගැලවුනත්, කුසල් ජනිත්ට තම තුන් වන ටෙස්ට් අර්ධ ශතකය අහිමිව ගියේ එක් ලකුණකිනුයි. නේදන් ලයන් ගාලු තණ තීරුවේ දඟ කැවීම සහ ඉපිලීම මනාව උපයෝගී කර ගනිමින් යැවූ පන්දුවකට ස්ලිප් ක්‍රීඩකයා වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය කුසල් ජනිත් රැස් කළ ලකුණු සංඛ්‍යාව 49කි.

අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් සමග තවත් අගනා සබඳතාවක් ගොඩනගන්නට කුසල් මෙන්ඩිස්ගේ දායකත්වය හිමි විය. ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 67කි. කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නවසීලන්ත විනිසුරු ක්‍රිස් ගැෆනි විසින් සංඥා කරනු ලැබූවත් නායක මැතිව්ස්ගේ උපදෙස් මත කුසල් එම තීරණය නැවත සලකා බැලීම සඳහා යොමු කිරීමේදී පුනරූපන මගින් හෙළි වුනේ පන්දුව පා ඉන්නට එපිටින් ඇදී යන බවයි.

යලි ජීවයක් ලද කුසල් මෙන්ඩිස් තම දෙවන ශතකය කරා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් එම ගමනට මිචෙල් ස්ටාක් ගෙන් ඉඩක් ලැබුනේ නැත. හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 86ක් ලබා සිටි කුසල්ගේ පිත්තේ පිටත අග්‍රයේ ගැටුණු පන්දුව කඩුලු  රකින ක්‍රීඩක පීටර් නෙවිල්ගේ අත් ආවරණ තුල නැවතුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩා වැටීමද ආරම්භ කරමින්.

වරෙක 184/3ක් ලෙස ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස දැක්වුණු ලකුණු පුවරුව 224/6ක් ලෙස දෙපිලටම සමබර තත්ත්වයකට පත් වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. නායක ඇන්ජලෝ මැතිව්ස් තම 25 වන ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 54ක් රැස් කරන ලදී. යලිත් වරක් හොඳ ආරම්භයක් ලබාගත් ධනංජය ද සිල්වා ලකුණු 37ක් රැස් කළත්, වෙනත් කිසිදු පිතිකරුවෙක් සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට ලබා දීමට අසමත් වීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300 සීමාව වෙත ළඟාවීමට නොහැකි විය.

ජෝන් හොලන්ඩ්ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී යාමත් සමග අවසන් පිතිකරුවන් දෙදෙනා ඉක්මනින් ගොදුරු කර ගන්නට මිචෙල් ස්ටාක් සමත් විය. නව පන්දුවෙන් මෙන්ම පන්දුව පැරණි වීමෙන් පසුවත් දෝලනයෙන් පිතිකරුවන් මුලා කල ස්ටාක්, ඉනිම අවසන් කලේ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදෙස් වේග පන්දු යවන්නෙකු වාර්තා කල හොඳම පන්දු යැවීමද සටහන් කරමිනි. ඔහු ලකුණු 44කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 5ක්.

ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ දෙවන පන්දුවෙන්ම තම ටෙස්ට් කඩුලු එකතුව අරඹන්නට විශ්ව ප්‍රනාන්දු සමත් විය. ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර විශ්වගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වුණේ ජෝ බර්න්ස් ය. අනතුරුව ඩේවිඩ් වෝනර් සමග එක්වූ උස්මාන් කවාජා ලකුණු 54ක සබඳතාවක් ගොඩ නගන්නට සමත් විය. එක්දින තරගයක් සිහිගන්වන පිති හරඹයක නිරත වූ වෝනර් ලකුණු 42ක් රැස් කලේ පන්දු 41ක් පමණක් වැය කරමිනි.

දිල්රුවන් පෙරේරා ක්‍රියාත්මක කල අවසන් පන්දු වාරයේදී වෝනර් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමේ අවස්තාව දිනේෂ් චන්දිමාල් අතින් ගිලිහී යන ලදී. කෙසේ වෙතත් එම වරදට වන්දි ගෙවන්නට කණ්ඩායමට ඉඩ නොතැබූ දිල්රුවන් ඊළඟ පන්දුවේදීම වෝනර්ගේ ඉනිම අවසන් කලේ ස්ලිප් කලාපයේ සිටි නායක මැතිව්ස් රැකගත් අගනා උඩපන්දුවක් මගිනුයි.

දිනයේ පළමු පන්දුවෙන් මෙන්ම අවසන් පන්දුවෙන්ද බිඳ වැටුණු කඩුලු, මේ තරගය පිත්තට වඩා පන්දුවේ සවිය උරගා බැලෙන සටනක් බවට පත් වීමේ පෙර ලකුණු පළ කරද්දී, කුසල් ද්විත්වයේ සහ මැතිව්ස් ගේ පිත්තේ සවිය මත දිනයේ වැඩි ගෞරව හිමි කරගත් ශ්‍රී ලංකාව හෙට තම දඟ පන්දු බල ඇණියෙන් බර අවි ප්‍රහාරයක් බලාපොරොත්තු වන බව නම් නොඅනුමානයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන් දැවී 281 (73.1)  –  කුසල් මෙන්ඩිස් – 86, ඇන්ජලෝ මතිව්ස් – 54, කුසල් ජනිත් – 49, ධනංජය ද සිල්වා – 37, මිචෙල් ස්ටාක් – 5/44, නේදන් ලයන් – 2/78

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 54/2 (13.3) – ඩේවිඩ් වෝනර් – 42, උස්මාන් කවාජා – 11*, දිල්රුවන් පෙරේරා – 1/14, විශ්ව ප්‍රනාන්දු – 1/16

පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව තවත් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටියි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

Full Scorecard

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne  c Burns b Starc 0 1
Kaushal Silva  c Nevill b Starc 5 16
Kusal Janith Perera c Smith b Lyon 49 82
Kusal Mendis c Nevill b Starc 86 137
Angelo Mathews  c Nevill b Marsh 54 65
Dinesh Chandimal  c Khawaja b Hazelwood 5 14
Dhananjaya De Silva  LBW b Holland 37 63
Dilruwan Perera LBW b Lyon 16 32
Rangana Herath  b Starc 14 19
Lakshan Sandakan  b Starc 1 7
Vishwa Fernando Not Out 0 4
Extras (14) TOTAL 281 (73.1 overs)

Fall of wickets :  1-0 (Karunaratne, 0.1 ov), 2-9 (Silva, 4.4 ov), 3-117 (MDKJ Perera, 31.2 ov), 4-184 (Mendis, 45.3 ov), 5-199 (Chandimal, 48.5 ov), 6-224 (Mathews, 56.4 ov), 7-259 (MDK Perera, 67.1 ov), 8-265 (de Silva, 68.6 ov), 9-274 (Sandakan, 71.4 ov), 10-281 (Herath, 73.1 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  16.1 7 44 5
Josh Hazelwood 15 3 51 1
Nathan Lyon 18 1 78 2
Mitchell Marsh 9 0 30 1
Jon Holland 15 0 64 1
Batsmen Dismissal Runs Balls
 Joe Burns c K Perera b Fernando 0 2
 David Warner c Mathews b Perera 42 41
 Usman Khawaja Not Out 11 38

Fall of wickets :  1-0 (Burns, 0.2 ov), 2-54 (Warner, 13.3 ov)

Bowler Overs Maidens Runs Wickets
Vishwa Fernando  2 0 16 1
Rangana Herath 1 0 3 0
Dilruwan Perera 5.3 1 14 1
Angelo Mathews 3 1 13 0
Dhananjaya De Silva 2 1 7 0