දෝලනේ බලේ පෑ කුලේ – නුවන් කුලසේකර

1892
Nuwan Kulasekara
@Sky Sports

සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැකිය හැකි විනෝදාංශයකි. මේ වන විට එය විනෝදාංශයක් පමණක්ම නොවේ. දේශීය ක්‍රිකට් සැණකෙළි විශේෂයක් ලෙස මේ වන විට දිවයින පුරා මෙන්ම YouTube වැනි සමාජ ජාලා තුළ ද ජනප්‍රිය වෙමින් පවතින සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් බිහිකිරීමේ දී ද යම් කාර්යභාරයක් ඉටුකර තිබෙනු දැකිය හැකිය. අඩුවෙන් කතා බහ වන නමුත් වැඩියෙන් වැඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන ලියැවෙන ගමනේ අද අපේ කතානායක නුවන් කුලසේකරගේ ක්‍රිකට් තිඹිරි ගෙය සැහැල්ලු පන්දු ක්‍රිකට් කරළියයි.

>> අඩුවෙන් කතා බහ වන – වැඩියෙන් වැඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන <<

ගම්පහ දිස්ත්‍රික්කය තුළ හැදී වැඩුණු කුලසේකර සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දී අතිදක්ෂ පන්දු යවන්නෙකු විය. ගමේ ගොඩේ ක්‍රීඩා කරන අවධියේ දී කුලසේකර පන්දු යවන විට කඩුලු රකින්නාට පවා පන්දුව රැකගැනීමට අපහසු වූ බව මම අසා ඇත්තෙමි. කතාවට කියනුයේ ඒ කඩුලු රකින්නන් කලිසම් හැඳ ක්‍රීඩා කරනවාට වඩා සරම් හැඳ ක්‍රීඩා කිරීමට කැමැත්තක් දැක්වූ බවයි. එය විහිළුවක් විය හැකි නමුත් කුලසේකරගේ සැහැල්ලු පන්දු දක්ෂතා ගැන නිර්වචනයකි.

කුලසේකර ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟින් සංචාර කිහිපයකටම සහභාගී වී දස්කම් දැක්වූ වේගපන්දු යවන්නෙකි. එකල පවා ඔහුගේ පන්දුවල සීම් වීම (seam)  සහ දෝලනය (swing) කැපී පෙනුණි. ඇඟපතින් වේගපන්දු යවන්නෙකුගේ උස සහ ශක්තිමත් බව ප්‍රකට නොවුනත් සුචල්‍යතාවය (agility) අතින් ඔහු ඉදිරියෙන් සිටියේය. ඇතැම් විට ඔහුගේ සුරතේ පන්දුව හසුරුවන දෑඟිලි එතරම් සුචල්‍ය වන්නට ඇත්තේ ද එම නිසා විය හැකිය. ඒ වන විට කුලසේකර සතු වූ ප්‍රධාන ආයුධය දකුණත් පිතිකරුගේ ඇතුළට දෝලනය වන පන්දුවයි. ඒ අධික දෝලනය ඔහුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවා ගෙන එන්නේ ලසිත් මාලිංගටත් පෙර ය. ඒ චමින්ද වාස්, දිල්හාර ප්‍රනාන්දු, ප්‍රභාත් නිශ්ශංක, චරිත බුද්ධික, සුජීව ද සිල්වා, රුචිර පෙරේරා වැනි වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කාලයේ දී ය.

Nuwan Kulasekara
නව ගමනක ඇරඹුම

2003 නොවැම්බර් මාසයේ දී එංගලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් වරම් දිනා ගැනීමට කුලසේකර සමත් විය. ඔහුගේ ප්‍රථම එක්දින කඩුල්ල මාක්ස් ට්‍රෙස්කොතික්ගේ කඩුල්ලයි. එම තරගය විශේෂ එකක් වෙමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 88කට සියලු දෙනා දැවුණු අතර ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කළේ පන්දුවාර 14ක් තුළ දීයි. කුලසේකර පන්දුවාර 9ක් යවා ලකුණු 19ට කඩුලු 2ක් දවා ගත්තේය.

ආරම්භයේ දී ඔහු එතරම් තර්ජනාත්මක පන්දු යවන්නෙකු නොවීය. ඉහළ දෝලනයක් තිබුණ ද කඩුලු ලැබුණේ සෙමිනි. ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දන්නා පරිදි පන්දුවේ වැඩි දෝලනය නරඹන ඇසට අලංකාර වන නමුත් ඉන් කඩුලු ලැබෙන්නට ඇති අවස්ථා අඩු විය හැකිය. හේතුව, වැඩි දෝලනය නිසා පන්දුව පිත්ත පරයා යන්නට හෝ නිසි ඉලක්කයෙන් පිටට යන්නට ඇති හැකියාව ඉහළ වීමයි. අවශ්‍ය වන්නේ නිසි පාලනයකින් පන්දුව දෝලනය කිරීමයි. එමෙන්ම පළමු පන්දුවාර 3-4 ඇතුළත ඉහළ දෝලනයක් තිබුණ ද පසුව දෝලනය මැකී යාමෙන් පසුව කඩුලු ලබා ගැනීමට සහ ලකුණු පාලනය කරගැනීමට වෙනත් උපක්‍රම භාවිත කිරීමට වේගපන්දු යවන්නන් උත්සුක විය යුතුය. කුලසේකරට එම අඩුපාඩුව තිබුණි.

වසර කිහිපයක්ම ආරම්භක සබඳතාව බිඳ දමන්නා ලෙස පමණක් සාර්ථක වූ කුලසේකරට කඩුලු ලබාගන්නා කලාව නියමාකාරයෙන් හසුවන්නේ 2008 වසරේ සිට ය. එම වසර තුළ දී පමණක් එක්දින කඩුලු 33ක් ලබා ගත් ඔහු ප්‍රබල ආරම්භක වේගපන්දු යවන්නෙකු ලෙස ලොවෙහි නමක් දිනා ගන්නට විය. පැයට කිලෝ මීටර 125-135 අතර වේගයක පන්දු යැවූ ඔහු නිසි පාලනයෙන් යුතුව පන්දුව දෝලනය කිරීමට සමත් විය. එම සාර්ථකත්වය කෙතරම් ඉහළට ගියේ ද කියතොත් 2009 මාර්තු මස දී ලොව ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්විය. මාස 6ක පමණ කාලයක් එම ස්ථානය රැකගැනීමට සමත් වූ කුලසේකර එවැන්නක් සිදු කළ පළමු ශ්‍රී ලාංකිකයායි.

Nuwan Kulasekara
ලොව අංක 1ට

එමෙන්ම ඒ වන විට ඉනිම මැද දී සහ අග දී පන්දු යැවීමට අවශ්‍ය වන පන්දු සංකලනය ඔහු විසින් ප්‍රගුණ කොට තිබුණි. වේගය අඩාල කරන පන්දු, යෝකර් පන්දු, වේගය අඩාල කරන බවුන්සර් පන්දු ඔහු විසින් සිය අවි ගබඩාවට එක්කරගෙන තිබුණි. සෑම තරගයක දී ම ආරම්භක සබඳතාවය බිඳහෙලා කඩුලු 2ක් 3ක් ලබා ගත හැකි පන්දු යවන්නෙකු ලෙස ඔහු දියුණුවට පත්විය. කොටින්ම 2008 දී චමින්ද වාස් නම් විශිෂ්ට වේගපන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රීඩාවට සමුදීමෙන් පසුව ඒ විශාල හිඩැස පිරවීමේ වගකීම පැටවුනේ කුලසේකරගේ කර මතටයි. එය ඔහු විසින් අකුරටම ඉටු කළේ ලැයිස්තුවේ පහළින් පිතිකරණයට පිවිස තරග අවසන් කිරීමේ හැකියාව ද දියුණු කරගනිමිනි.

2013 ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති කාණ්ඩ තරගයේ දී දැක්වූ පිතිකරණ සංදර්ශනය අමතකම නොවන්නකි. ලකුණු 294ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.3ක දී රැඳී සිටියේ ලකුණු 187-3 හිය. කුමාර් සංගක්කාර පිටියේ රැඳී සිටි නමුත් අවශ්‍ය ලකුණු වේගය පවත්වා ගැනීම සඳහා පිටියට යවන ලද්දේ කුලසේකරව ය. එහි දී පන්දු 38ක් තුළ නොදැවී ලකුණු 58ක් වාර්තා කරමින් සංගක්කාරට අනගි සහයක් ලබා දෙන්නට කුලසේකර සමත් විය. 

එක් මොහොතක දී දෙදෙනා අතර කඩුලු අතර දිවයාමේ සන්නිවේදන ගැටලුවක් පැන නැගුණු මොහොතේ සංගක්කාර අවදානම් අන්තයක සිටිය දී ඔහුව බේරාගැනීම වෙනුවෙන් තම කඩුල්ල පූජා කරන්නට කුලසේකර දිවගිය අයුරු සිහිව එයි. කුලසේකර එවැන්නෙකි. පෞද්ගලික නමට වඩා ඔහුට වැදගත් වුනේ කණ්ඩායමේ ජයග්‍රහණයයි. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේය.

ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැදපෙළ අසාර්ථක වූ බොහෝ අවස්ථාවල දී කුලසේකර පිත්තෙන් කණ්ඩායම රැක ගත් ආකාරය අමතක කළ නොහැකිය. සැහැල්ලු පන්දු පිතිකරණ ආරයට පන්දුවට පහර දුන් නිසා ඔහු වේගවත් පිතිකරුවෙකු මෙන්ම පිත්ත මැදින්ම පහර එල්ල කරන්නෙකු විය. එක්දින අර්ධ ශතක 4ක් ඔහු සතු වන අතර ඔහුගේ ඉහළම ඉනිම 2012 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හිදී රැස්කළ ලකුණු 73කි. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ පන්දු යැවීමයි.

යුද්ධෙට තිබූ පිත්ත

2013 ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ලකුණු 22කට කඩුලු 5ක් දවා ගැනීමට කුලසේකර සමත් විය. එය ඔහුගේ හොඳම එක්දින ජාත්‍යන්තර පන්දු යැවීමයි. ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී පැවති එක්දින තරගයක දී දරුණු ලෙසම සිය පන්දු යැවීමේ ආධිපත්‍යය පැතිර වූ තරගයකි. ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වූ ෆිල් හියුස්, මයිකල් ක්ලාක්, ඩේවිඩ් හසී, ජෝජ් බේලි, මොයිසස් එන්රිකේ නම් වූ පිතිකරුවන් කුලසේකරගේ පන්දු ඇදී යන දිශාවවත් හඳුනා ගැනීමට නොහැකිව අසරණ විය. ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 74 දී නිමා විය. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ පන්දුවාර 20 දී ය.

2005 දී ටෙස්ට් වරම් හිමිකරගත් කුලසේකර ටෙස්ට් පන්දු යවන්නෙකු නොවන බව පැහැදිලි විය. ඒ ඔහුගේ පන්දුවල වේගය මඳ වීම සහ පළමු පන්දුවාර කිහිපයෙන් පසුව පිතිකරුවන්ට තර්ජනයක් වන්නට තිබූ අපහසුව නිසයි. එහෙත් 2006 දී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී ලකුණු 64ක් වාර්තා කරගන්නට ඔහු සමත් වුනේ පිතිකරණයට අපහසු තත්වයක් යටතේ දීයි. තවත් ලකුණු 36ක් වාර්තා කරගත්තේ නම් ලෝඩ්ස්හි ශතකලාභීන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම ද සටහන් වන්නට ඉඩ තිබුණි. එක්දින ක්‍රීඩාව ගැන අවධානය පවත්වා ගැනීමට තිබූ අවශ්‍යතාවය නිසා 2016 දී ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඒ වන විට ඔහු ලබා සිටි ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 48කි.

බොහෝ ආරම්භක පිතිකරුවන් කුලසේකර හමුවේ භාවිත කළේ සරල උපක්‍රමයකි. එනම් පළමු පන්දුවාර කිහිපයේ දී දැකිය හැකි වැඩි දෝලනය නවතින තුරු ආරක්ෂාකාරී වී පන්දුවාර 3-4කට පසුව පහර දෙන ක්‍රමයයි. එහෙත් පිතිකරුවෙකුට ආරක්ෂා වීමට එතරම් කාලයක් නොලැබෙන විස්සයි විස්ස කරළියේ දී කුලසේකරට පහර දීම පිතිකරුවන්ට පහසු නොවීය. ඔහුගේ විස්සයි විස්ස දක්ෂතාවයන් නිසා IPL තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ද වරෙක ඔහුට හිමි විය.

2010 නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගයක දී ඔහු මුල් පෙළ කඩුලු 3ක් ඉක්මණින්ම දවාගෙන ජයග්‍රහණයට පාර කැපූ අතර නවසීලන්තය ලකුණු 81කට සීමා විය. කුලසේකර විසින් පන්දුවාර 3ක දී ලබා දෙන ලද්දේ ලකුණු 4ක් පමණි.

2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කුලසේකර, ලසිත් මාලිංග හා එක්ව ප්‍රබල ඉන්දියානු පිතිකරුවන් වූ විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, යුවරාජ් සිංව පාලනය කරගත් ආකාරය නොවන්නට එම ලෝක කුසලාන ජයග්‍රහණය එතරම් පහසු නොවන්නට තිබුණි. අවසන් පන්දුවාර 4 යවන ලද්දේ ඔවුන් දෙදෙනා විසින් වන අතර ඒ තුළ ප්‍රතිවාදීන්ට කිසිදු පහසු අවස්ථාවක් නොලැබිණි. ඉන්දියාව කඩුලු 4ක් දැවී වුවත් ලකුණු 130කට සීමා වූ අතර ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක ශූරයන් විය.

Nuwan Kulasekara
ප්‍රධාන අවියක්

2017 ඕස්ට්‍රේලියානු සංචාරය ශ්‍රී ලංකාවට විජයග්‍රාහී එකකි. එහි විස්සයි විස්ස තරග තුනම ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි දෙවැනි තරගය ඓතිහාසික එකකි. පන්දු යැවීමේ දී කුලසේකර ලකුණු 31කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඉලක්කය හඹා යාමේ දී විශාලතම කාර්යභාරය අසේල ගුණරත්න අතින් සිදුවූවත් අත්‍යාවශ්‍ය මොහොතේ පන්දු 8කින් ලකුණු 12ක් ලබා ගැනීමට ද කුලසේකර සමත් විය.

2017 දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් සංචාරයේ දී ලද අසාර්ථකත්වය නිසා ඔහුව එක්දින කණ්ඩායමෙන් ඉවත් වුවත් ඉන්පසුව ලද අවස්ථා දෙකෙන් එකක දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 37ක් ලබා දී කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් එක්දින කඩුලු 199 සීමාවේ සිටිය දී ම තරග නොලැබී යාම හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සිදු විය.

එක්දින තරගයක පළමු පන්දුවේ දී ම පිතිකරුවන් දවා ගැනීමෙන් ඔහු තෙවරක් තමන්ගේ නම ලෝක වාර්තා අතරට ගෙන ගොස් ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුට වඩා ඒ දස්කම පා ඇත්තේ චමින්ද වාස් (5) පමණි. ආරම්භක පන්දු යවන්නෙකු ලෙස ඔහු කෙතරම් තර්ජනාත්මක දැයි ඉන් පැහැදිලි වේ. එමෙන්ම ඔහු තමන්ගේ පන්දු යැවීම යටතේ අතිදක්ෂ පන්දු රකින්නෙකි. ඔහු විසින් පන්දු යවා ලබාගත් අලංකාර උඩපන්දු කිහිපයක්ම අපගේ මතකයේ ඇත.

Nuwan Kulasekara
මනුෂ්‍ය ගුණයේ අගය

මේ සියල්ලටම වඩා මිත්‍රශීලී ක්‍රීඩකයෙකු වන නිසා ප්‍රේක්ෂකයන් ඔහුට ගෞරවය දක්වනු අපි බොහෝ අවස්ථාවල දී දැක ඇත්තෙමු. ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම මනුෂ්‍ය ගුණාංග ඇත්තෙකු බව බොහෝ අවස්ථාවල දී අසන්නට ලැබේ. එක්දින ආරම්භක පන්දු යවන්නාගේ කාර්යභාරය හරි හැටි ඉටු කළ ඔහු තරග 184ක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින පන්දුවාර ප්‍රමාණයක් (1377.1) යැවූ පස්වැන්නා බවට පත්ව ඇත. එහි තේරුම, ඔහුගේ පන්දුවාර සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කෙතරම් වැදගත් වූයේ ද යන්නයි.

ලෝක තලයේ නම සටහන් කළ වේගපන්දු යවන්නන් බිහිවීමේ අඩුවක් ඇති මෙරටින් එවන් වැදගත් වේගපන්දු යවන්නෙකු බිහිවීම ගැන අප මීට වඩා කතා කළ යුතු බව නම් පැහැදිලි ය. වේගපන්දු යුගලයන් අඩු කාලයක ඔහු නොවන්නට “කුලසේකර – මාලිංග” නම් වූ යුගලය බිහිවීම ද සිදු නොවන්නට තිබුණි. එබැවින් අඩුවෙන් කතාබහට ලක්වන, වැඩියෙන් වැඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ඔබට විවර කරන “අඩු කතා-වැඩි වැඩ්ඩෝ” ලිපි පෙළේ එක් පිටුවක් නුවන් කුලසේකර නම් වේගපන්දු යවන්නාට වෙන්කරන්නේ කිසිදු ලෝබකමකින් තොරව ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<