චරිතවත් “චරිත් අසලංක”

2687
Charith Asalanka

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස සිටි අවදියේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ සුවිශේෂි චරිතයක් බවට පත් වීමට චරිත් අසලංකට හැකි වුනා. චරිත්ලගෙ ගේ පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටියේ සිට අම්බලන්ගොඩ දෙසට එන විට හමුවන නවය කණුව හන්දිය ආසන්නයේ තිබෙන පිං ළිඳ පාරේ, පුංචි කඳු ගැටයක මැදට වෙන්න. 

චරිත් කුඩා කාලේ පාසල් ගියේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට. නවය කණුව ශ්‍රී සරණංකර මහා විහාරස්ථානයෙන් නැගෙන පිරිත් හඬ, චරිත්ලා අවදි කරන එලාම් එක වුනා. උදේ පහට අවදිවීම, ඊට පසුව පැයක් පාඩම් කිරීම, පාසල් යෑම මේක තමයි චරිත්ලාගේ උදෑසන කාලසටහන වුනේ. ඒකෙ නිර්මාතෘවරිය වුනේ චරිත්ගේ මව. කුඩා චරිත් මේ දේවල් අකුරටම කළා කියලයි ගෙදර අය කියන්නේ.

ඒ වගේම චරිත්ගේ චරිතය ගොඩනගා ගන්න ශ්‍රී සරණංකර මහා විහාරස්ථානයේ දහම් පාසල ද ඉවහල් වුනා. චරිත් ආගම දහමට නැඹුරු චරිතයක්. අදටත් චරිත්ගේ උපන් දවසේ දී ගමේ පිරිසගේ ද සහභාගිත්වයෙන් ශ්‍රී සරණංකර පන්සලේ දී ධර්ම දේශනාවක් චරිත්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙනවා.  

චරිත්ගේ පියා, විජිත් ප්‍රියන්ත වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මව කේ. ඒ. තනුජා ගෘහණියක්. ඇයට තමයි ගෙදර වැඩි බර පැටවුණේ. චරිත්ගේ පවුලේ චරිත්ට අමතරව තවත් සහෝදර සහෝදරියන් 4 දෙනෙක් හිටියා. චරිත් පවුලේ දෙවැනියා. චරිත්ට වැඩිමල් අක්කා. ඊට පස්සේ නංගිලා දෙදෙනෙක් සහ මල්ලි කෙනෙක්.

Charith
චරිත්, ගෙදර අය සමඟ

චරිත් ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ දක්ෂ දරුවෙක්. මේ ගමේ හැමෝම කියූ කතාවක්. පාසල අතරත් ඒ කතාවම තිබුණා. ඒ චරිත් ඉගෙනීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්. චරිත් ආනන්දෙදි කිසිදු ක්‍රීඩාවක් කළේ නැහැ. නමුත් ගමේ යහළු නඩය සමඟ කළ ක්‍රීඩාවෙන් එක ගත්තෙ චරිත්. 

“පුතාට පුංචි කාලෙ ඉඳලම ක්‍රිකට්ම තමයි. ඒ වුනත් ඉස්කෝලෙ වැඩත් උනන්දුවෙන් කළා. ඒ වැඩවල දී අම්ම එයා පස්සෙන් ම හිටියා. චරිත් කුඩා කාලේ විභාගවලට වාඩි වුනේ අපෙන් එක එක පොරොන්දු අරගෙන. හැබැයි ඉතිං ඒ මහා ලොකු දේවල් නෙමේ. උපන් දිනේකට තෑග්ගක් ගන්න ගියත් තෝර ගත්තේ බෝලයක් නැත්නම් බැට් එකක්” චරිත්ගේ පියා විජිත් ප්‍රියන්ත මහතා අප සමග පැවසුවා.

චරිත් ශිෂ්‍යත්ව විභාගෙ ලියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න තිබුණු කැමැත්ත නිසා. ඒ කැමැත්ත පිටුපස්සේ තිබුණෙ කොළඹ ආනන්දෙ ක්‍රිකට්  ගහන්න තිබුණ ආසාව. කුඩා චරිත් ඒකට අම්මත්, තාත්තත් කැමති කරගෙන හිටියේ. ඒකට තවත් කෙනෙක් එක් වෙලා තිබුණා. ඒ චරිත්ගේ මාමා, අම්මගෙ මල්ලි ඉන්දික ආනන්දජීව මහතා. ඉන්දිකත් ඇල්පිටිය ආනන්දෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්දෙට ගියපු කෙනෙක්. ඒ වෙද්දි ඔහුගේ නවාතැන වෙලා තිබුණෙත් කොළඹ.

“පුතා නිතරම කිවුවේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ක්‍රිකට් ගහන්න කොළඹ ආනන්දෙට යනවා කියලා. චරිත්ගෙ මාමත් ඒකට ගොඩක් කැමැත්තෙන් හිටියේ. එයා චරිත්ගේ සම්පූර්ණ වගකීම බාරගන්නව කියලත් කිය කියා හිටියේ. කිවුව වගේම පුතා ශිෂ්‍යත්වෙ පාස් වුනා. කොළඹ ආනන්දෙට යන්න ලකුණු ප්‍රමාණයත් ඇති. ඒත් ඒ වෙද්දි චරිත්ගෙ මාමා ජිවතුන් අතර නැහැ” විජිත් ප්‍රියන්ත මහතා අකාරුණික අතීතය සිහිපත් කළා. Charith

චරිත්ගේ මාමා තරුණ වයසෙදිම ජීවිතය හැර යන්නෙ චරිත්ගේ ආසාවන් ද අතරමං කරමින්. චරිත්ගේ දෙමාපියන් ද ඒ වෙද්දි මේ මරණයෙන් කම්පනයට පත් වෙලා හිටියේ. ඉන්න තැනක් නොමැතිව, වැඩිහිටි ආරක්ෂාවක් නොමැතිව චරිත් කොළඹ යවන්න මේ දෙමාපියන් කැමති වුනේ නැහැ. චරිත්ගේ ඒ මාමගෙ පුතාත් අද හැදී වැඩෙන්නේ චරිත්ලාගෙ ගෙදර, චරිත්ගේ ගෙදර සාමාජිකයෙක්ම ලෙසින්.  

“චරිත්ගෙ ආසාව ඒ වෙද්දිත් නැති වෙලා තිබුණෙ නැහැ. ඒත් අපිට චරිත් කොළඹ යවන්න කොහෙත්ම හැකියාවක් තිබුණෙ නැහැ. ක්‍රිකට් ගහන්න තිබෙන ආසාව, චරිත්ට වගේම අපිටත් තිබුණා. ඒ නිසා අපි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තෝරා ගත්තා. පුතාත් ඒ තීරණයට එකඟ වුනා. ඊට පස්සෙ තමයි චරිත් රිච්මන්ඩ් එකට යන්නේ” විජිත් ප්‍රියන්ත මහතා චරිත් ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයට පිවිසීමේ කතාව හෙළි කළේ ඒ අයුරින්. 

එතැන් සිට චරිත්ගේ කතාව ගලා යන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ. රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට 2016 වසරේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දක්වාම චරිත්ගේ රිච්මන්ඩ් කතාව ගලා යනවා. 

ගාලු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වී නම් ඔවුන්ගේ කතාව තුළ ආදරවන්තයන්ගේ සටනේ සටහනක් නොතිබෙන්නේ නම් එය විශාල අඩුවක්. චරිත්ට එසේ නොවේ. ඔහු වෙනුවෙන් වූ කතා කිහිපයක්ම ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ තියෙනවා. චරිත් 2015 වසරේ ආදරවන්තයන්ගේ සටනේ තරගයේ වීරයා. ඊට අමතරව දක්ෂතම පිතිකරු සම්මානයත් දිනා ගන්නවා. ඊටත් වඩා ඔහු එම තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ආදරවන්තයන්ගේ ශතක සමාජයට ද එක් වීමට සමත් වුනා. එපමණක් නොවේ ඔහු, 1935 වසරේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ ටී. එච්. සමරසේකර සහ හැරි යංග් එක්ව පළමු කඩුල්ලට එක්කළ ලකුණු 114ක සබඳතාව ද බිඳ හෙළනවා. ඒ එම වසරේ නායක සිතාර ගිම්හාන හා එක් ව ලකුණු 162ක් ලබා ගනිමින්. Charith

ඒවෙද්දී චරිත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ද වුනා. මේ නිසා, මේ ක්‍රිකට් කතාන්දර චරිත්ගේ චරිතවත් ගමනට විශාල ආශීර්වාදයක් වුනා.  එම වසරේ දී ශ්‍රී ලංකා පාසල්  ක්‍රිකට් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ දී චරිත් එම වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ද දක්ෂතම පන්දු යවන්නන් අතුරින් අනුශූරතාව ද දිනා ගත්තා. 

චරිත්, රිච්මන්ඩ් විද්‍යාලයේ නායකත්වය දැරූ 2016 වසරේ දී ද පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී ද වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තා. ඊට අමතරව ඔහු එම වසරේ දක්ෂතම පිතිකරු සම්මානය ද දිනා ගත්තා. මේ සම්මානයත් සමඟින් චරිත්, පිට පිට වසර ද්විත්වයක දී දිවයිනේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන දිනා ගත් අතලොස්සක් දෙනා අතරට එක් වීමට ද සමත් වුනා. 

චරිත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ නායකයා ලෙසින් තරගාවලි කිහිපයකටම සහභාගී වෙනවා. ඒ අතරින් 2016 ලෝක කුසලාන තරගාවලිය විශේෂයි. එම තරගාවලියේ දී චරිත අර්ධ ශතක 4ක් සමඟින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතුරින් පළමුවැනියා වෙනවා. චරිත්ගේ 19න් පහළ තරග අතර සුවිශේෂී තැනක් ගන්නේ තමන් නායකත්වයට පත් පළමු තරගාවලිය වූ පාකිස්තාන තරගාවලියයි. එම තරගාවලියේ දී පිට පිට තරග දෙකක දී ද්විත්ව ශතකයක් සහ ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. Charith

චරිත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමෙන් ඉවත් ව යනවාත් සමඟම ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ද ආසනයක් හිමි වෙනවා. ඒ ගමනේ දී ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරගාවලියක දී උපනායකත්වය ද හිමි වෙනවා. 

චරිත්ගේ ක්‍රිකට් ගමනේ දී 2018 නොවැම්බරයේ එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියට නම් කරන ලද සංචිතයට ද ඇතුළත් වීමට සමත් වෙනවා. නමුත් ඔහුට එහි දී ක්‍රීඩා කිරීමට තරම් අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. එසේ වූවත් ඔහු 2018 සහ 2019 වසරවල ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවති ආසියානු කුසලාන තරගාවලිවලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයන් හිමි වෙනවා. ඉන් අනතුරුව 2019 වසරේ දී නේපාලයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ ද චරිත්ට. 

චරිත්ගේ පළමු පෙළ ක්‍රිකට් ආරම්භ වෙන්නේ ද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරන සමයේ දී ගාල්ල ක්‍රිකට් සමාජය හා එක් වෙමින්. එහි දී ඔහු සහභාගී වූ පළමු තරගාවලියේ දී ම ශතකයක් ලබා ගනිමින් මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටියේ ක්‍රීඩා සමාජයකට එරෙහිව ශතකයක් වාර්තා කළ ළාබාලතමයා බවට පත් වෙනවා. ඒ වෙද්දී චරිත්ගේ වයස අවුරුදු 17කුත් දින 285ක්.

නමුත් චරිත්ගේ පළමු පෙළ මංගල තරගය ලෙසින් ලොව පිළිගත් Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සහ සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම හා හරාරේ හි දී පැවති තරගයයි. එම තරගයේ දී චරිත් පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 103ක් රැස් කරනවා. ඊට අමතරව ඔහු සඳුන් වීරක්කොඩි (151) හා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 236ක සබඳතාවක් ද ගොඩ නගනවා.

චරිත් මේ වන විට ක්‍රීඩා කරන්නේ කොළඹ එස්. එස්. සී. කණ්ඩායමට. Covid-19 හේතුවෙන් තරගාවලිය අතරමග නතර කරන විට චරිත් එම කණ්ඩායම අවස්ථා කිහිපයක දී මෙහෙය වූවා. නමුත් පැවති ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහුට එහි තරග කිහිපයක් ම අහිමි වෙනවා.

“තව ඉදිරියේ දී ක්‍රිකට්වලින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලැබෙන හැම කාලයක්ම ගත කරන්නේ ක්‍රිකට් වෙනුවෙන්ම තමයි. මේ දවස්වල නම් ඉන්නේ ගෙදර” චරිත් ThePapare.com සමඟ පැවසුවා.

තවත් විශේෂාංග ලිපි:

චරිත් තමන් හැදී වැඩුණ මේ පරිසරයට අදටත් ආදරය කරනවා. ලැබෙන විවේකයේ දී චරිත් අගනුවර කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී ගමට එන්නේ “සුටුස්” ගාල. ඒ ඇවිත් එදා වගේම අදත් ගමේ “ගැන්සියත්” එක්ක සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙ එදා සෙල්ලම් කළ ඉඩම්වලමයි. තැනක දෙතැනක නව නිවාස ඉදිවී තිබිම චරිත්ලගේ සෙල්ලමට වැට බැන්දත් ඔවුන් නෙවේ ඒ සෙල්ලම නතර කරන්නේ. මේ සෙල්ලම කළුකන්දගොඩ කන්දෙන් ඉර හැංඟිලා යන තුරුම කෙරෙනවා. 

“පහුගිය දවස්වල කොරෝනා නිසා ගමේ ඉන්න වැඩි අවස්ථාවක් ලැබුණා. මේ නිසා ඇති තරම් ගමේ ඇවිදින්නත්, ගමේ යාළුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්නත් ඉඩ ලැබුණා. පරණ තැන්වල ම සෙල්ලම් කරද්දි, පරණ යාළුකම් අලුත් වුනා. අලුත් යාළුවන් ද හමුවුණා. ඇත්තටම ලැබුණ මේ නිදහස අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ඇති කරන්න සමත් වෙලා. මගේ සමකාලීනයන් කිහිප දෙනෙක් ම මේ වෙද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මමත් ඉක්මනින් ම ඒ අය අතරට එන්න ඕන” චරිත් පවසනවා. 

ඔහුගේ ඒ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<