මැදි දුර පිටියේ දක්ෂතා දක්වන “උඩුදුම්බර අයිය – නගෝ”

424

නකල්ස් කඳු වැටිය පේන මානයේ පිහිටි උඩුදුම්බර ග්‍රාමය මේ අයිය – නගෝලගෙ ජීවන පරිසරය. තිදෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වුනේ හර්ෂ කරුණාරත්න, ඊට පස්සෙ තරුෂි කරුණාරත්න. මේ දෙන්නම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා කෙලිබිමේ මීටර් 800 ඉසව්වෙන් උපන් හපන්කම් දක්වන්නෝ.

මුලින්ම අපේ කතා නායිකාව වුනේ තරුෂි. මීටර් 800 ඉසව්වෙන් තවමත් ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය නොකළත්, ඇය ජාතික වාර්තා කිහිපයකම හිමිකාරියක් වෙනවා. මලල ක්‍රීඩා කෙලිබිමේ බලාපොරොත්තු සහගත නැගී එන ක්‍රීඩිකාවක්.

කුඩා තරුෂි මුලින්ම පාසල් යන්නේ උඩුදුම්බර චූලාභය ද්විතියික පාසලට. එතැන තමයි තරුෂිගේ මලල ක්‍රීඩාවේ උපත. ඊට පස්සේ වලල ඒ. රත්නායක විද්‍යාලය.

“මම 7 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ චුලාභයේ. එහේ හිටියා පුෂ්පා කුමුදුනී යාපාරත්න කියල මිස් කෙනෙක්. ඒ මිස් එක්ක මම 4 පංතියේ ඉඳලම දිවීමේ තරගවලට සහභාගී වුනා. පුෂ්පා මිස් තමයි මගේ මුල්ම පුහුණුකරු වුනේ. මුලින්ම සහභාගී වුනේ මීටර් 50, 100, 200 වගේ තරගවලට. මම ඒ කාලෙ කලාප තරගවලට පවා සහභාගී වුනා. අයිය එතකොට සමස්ත ලංකා තරගවලට සහභාගී වෙනවා. අයිය දුවනව දැකල, තරග ජයග්‍රහණය කරනවා දැකල ඒකට ආසාවක් ඇති වෙලා තමයි මමත් දුවන්න පටන් ගත්තේ” තරුෂි පැවැසුවා.

තරුෂිගෙ අයිය, හර්ෂ කරුණාරත්න. හර්ෂත් මලල ක්‍රීඩා කෙළිබිමට දායාද වෙන්නේ චුලාභය ද්විතියික පාසල හරහා වලල ඒ. රත්නායක විද්‍යාලයට පැමිණීමෙන්. මේ දෙන්නගෙම පුහුණුකරු වුණේ සුසන්ත ප්‍රනාන්දු මහතා. 

“මේ දෙන්නම ඉතා දක්ෂ දරුවෝ. හර්ෂ වගේම තරුෂිත් මම දැක්කෙ ඔවුන් කලාප තරගවලට සහභාගී වෙද්දී. පස්සෙ ඔවුන් දෙන්නම වලල ඒ. රත්නායකයට ගෙන්න ගන්න හැකි වුනා. ක්‍රීඩාවට බොහොම උනන්දුව, උවමනාව ඇති දරුවො දෙන්නෙක්. හර්ෂ නම් දැනටමත් ආසියානු යොවුන් පදක්කම්ලාභියෙක්. තරුෂි නුදුරු දිනයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩිකාවක්” සුසන්ත ප්‍රනාන්දු මහතා ThePapare.com සමඟ පැවැසුවා. 

හර්ෂ, 2014 වසරේ දී මුල් වරට වලල ඒ. රත්නායකයේ මලල ක්‍රීඩා කෙළිබිම නියෝජනය කරනවා. ආරම්භය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් 2017 වසරේ දී හර්ෂ මෙරට පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩා උළෙල, ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල වගේ තරගවල දී මීටර් 800 බාලක ඉසව්වේ රන් පදක්කම්ලාභියා වෙනවා. 

ඒ නිසාම ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ද එක් වෙනවා. එම වසරේම තායිලන්තයේ පැවති ආසියානු යොවුන් ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට හර්ෂට අවස්ථාව හිමි වෙනවා. 

හර්ෂ 2017 වසරේ පැවති Sir John Tarbet තරගාවලිය අතරතුර

එහි දී ඔහු රිදී පදක්කමින් සෑහීමකට පත් වෙන්නේ පළමුවැනියා සමඟ කරට කර තරගයක් ලබා දෙමින්. සියල්ලන්ම මවිත කරමින් පැවති ඒ තරගය ඒ තරමටම තරගාකාරීත්වයකින් යුක්ත වූ බවයි කියැවුණේ. පළමුවැනියා සහ දෙවැනියා අතර තරග නිමා කිරීමේ පරතර කාලය දෂම 002ක්. ඒ දිනවල හර්ෂගේ ඒ ජයග්‍රහණය බොහෝ දෙනෙක් අගය කළා. 2019 ආසියානු යොවුන් ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේ ද එම ඉසව්වේ රිදී පදක්කම තමන් සන්තක කර ගැනීමට නැවත වතාවක් හර්ෂ සමත් වුනා. ඒ වගේම හර්ෂ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වුනා. 

2018 අවුරුද්දේ දී මෙරට පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම්ලාභියා වුනේ හර්ෂ. ඒ වගේම හර්ෂ හොංකොංවල පැවති කණ්ඩායම් මැරතන් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකයා වෙමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වෙනවා. 

හර්ෂ ජපානයේ පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලට වගේම ෆින්ලන්තයේ පැවති ලෝක යොවුන් සහාය දිවීමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් ද සහභාගී වුනා. 

“මේ ජයග්‍රහණ පිටුපස්සේ සිටින්නේ සුසන්ත සර්. ඔහු අපිටත් වඩා උනන්දුවෙන් අපිව මෙහෙයවනවා. මේ දවස්වල නම් සර් මට උදව් කරන්නේ මගේ කකුලේ ඇති වූ ආබාධ තත්ත්වයට බෙහෙත් කරන්න. අවශ්‍ය සෑම දෙයකටම සර් මැදිහත් වෙනවා. කකුල හොඳ කරගෙන නැවත මලල ක්‍රීඩා පිටියට පැමිණෙන්න ඕන” හර්ෂ බලාපොරොත්තු සහගතව පැවැසුවා. 

හර්ෂ පුහුණුකරු සුසන්ත මහතා සමඟ

හර්ෂලාගේ පවුලේ ආර්ථික තත්ත්වයත් සමඟ මේ දේවල් ඔවුන්ට තනිව කරගෙන යන්න බැහැ. හර්ෂ සිටින්නේ විරැකියාවෙන් පෙළෙන ගොඩේ. හිතවත් කිහිප දෙනෙක් ඇරෙන්න ඔවුන්ට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් කිසිවක් කර නැහැ. හර්ෂ මේ වන විට සිටින්නේ අසේල සුරංග නැමති තමන්ගේ බාප්පගෙ වැඩබිමක. නිකරුණේ කාලය ගත කරනවාට වඩා එය වඩා වැදගත් බවයි හර්ෂ පවසන්නේ.

හර්ෂගේ කතාව ඒ විදිහට එතැනින් නතර වෙද්දී තරුෂිගේ කතාව ආරම්භ කරන්න වෙන්නේ මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන්. එහි දී ඇය මීටර් 800, මීටර් 400, මීටර් 400 සහ මීටර් 100 සහාය දිවීමේ තරග සියල්ලේම රන් පදක්කම් ලබා ගන්නවා. ඒ අතරින් මීටර් 100 සහාය දිවීමේ තරග ඉසව්ව හැර අනෙකුත් සෑම තරගයක දී ම ඇය තරග අවසන් කරන්නේ නව තරග වාර්තා පිහිටුවමින්. මේ දක්ෂතා හේතුවෙන්ම ඇය එම වසරේ වයස අවුරුදු 16න් පහළ මධ්‍යම පළාත් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙනවා. 

89 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී ඇය තමන්ගේ ඉසව් තුනේම ජයග්‍රාහිකාව බවට පත් වෙන්නේ මීටර් 800 සහ මීටර් 400 සහාය ඉසව්වෙ නව තරග වාර්තා බිහිකරමින්. ඊට අමතරව පැවති සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළියේ දී මීටර් 400 සහාය දිවීමේ ඉසව්ව සහ මිශ්‍ර ඉසව්ව නව තරග වාර්තා පිහිටුවමින් අවසන් කිරීමට ඇය සමත් වෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබරයේ පැවති 35 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි මීටර් 400, මීටර් 800 සහ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වන් තුනම ජයග්‍රහණය කරනවා. ඒ ඉසව් තුන ද තරුෂි අවසන් කරන්නේ නව තරග වාර්තා පිහිටුවමින්. මේ අතරින් මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ වයස අවුරුදු 18න් පහළ වාර්තාව විනාඩි 3.59.78ක් ලෙස ද, වයස අවුරුදු 20න් පහළ වාර්තාව විනාඩි 3.57.44ක් ලෙස ද වාර්තා වී තිබුණා. 

නමුත් එම වාර්තාවලට වඩා අඩු කාලයකින් එම ඉසව්ව අවසන් කිරීමට රශ්මි ජයසේකර, දිනිති සමරකෝන් සහ සඳුනි ලක්ෂානි එක්ව තරුෂි සමත් වුනා. ඒ විනාඩි 3.56.79කින් තරගය නිමා කරමින්. 

“මේ කෙටි කාලය තුළ දැක්වූ දක්ෂතා ගැන සතුටු වෙනවා. සුසන්ත සර් මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. ඒ වගේම ඉවෝන් අබේවික්‍රම, ස්වර්ණ පාලිත, යමුනා රත්නායක, මිහිරානි සීලරත්න යන මහත්ම මහත්මීන් ද මගේ ගමනට ගොඩක් උදව් කළා. ඒ අයත් පාසලේ සියලුම දෙනාමත් ගොඩක් ආදරෙන් සිහිපත් කරනවා. මේ සියලු දෙනා සමඟ මගේ අම්ම, තාත්ත ගැනත් සිහිපත් කළ යුතුයි. ඔවුන් මොන නැතිබැරි කම් තිබුනත් අපේ ක්‍රීඩා ගමනට විශාල ශක්තියක් වෙනවා” තරුෂි පැවැසුවා. 

මේ දිනවල රටේ බොහෝ දෙනෙක්ගේ එදිනෙදා කටයුතු යම් යම් ආකාරයෙන් අතපසු වෙමින් පැවතියත් තරුෂි එහෙම නැහැ. ඇය තම පුහුණුවීම් කටයුතු වෙනුවෙන් දිනපතා පැය දෙක තුනක කාලයක් ගත කරන්න අමතක කරන්නේ නැහැ. තමන් දන්න කියන දේ අනුව සකසා ගත් කාලසටහනකට අනුව මේ කටයුතු සිදු කරනවා කියලයි ඇය කිව්වේ. ඒ වගේම සමහර දේ ගැන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාගෙන් ද උදව් උපකාර ගන්නවා කියලත් ඇය පැවැසුවා.  

Sir Jhn Tarbet මලල ක්‍රීඩා තරගාවලිය 2019

“ගොඩක් බලාපොරොත්තුවෙන් සිටි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ තේරීම් තරග කොරෝනා තත්ත්වය නිසා පැවැත්වුණේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. නමුත් ඉදිරියේ දී මලල ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගමන ඔලිම්පික් යෑම දක්වා දුරයි” තරුෂි පැවැසුවා. 

මේ කටයුතු මේ ආකාරයෙන් සිදු වුනත් තරුෂිලා ගත කරන්නේ ඉතා අපහසු කාලයක්. තරුෂිගේත්, හර්ෂගේත් පියා ඩී. එම්. කරුණාරත්න මහතා ත්‍රීරෝද රථ රියැදුරෙක්. මව නිලූෂිකා දිල්රුක්ෂි අබේවර්ධන චූලාභය විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරනවා. ඔවුන්ගේ පවුලේ තවත් සාමාජිකාවක් සිටිනවා. ඒ තරුෂිගේ නැගණිය ශිහාරා කාවින්දි. ඇය දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. 

“අපිට සතුටකට තියෙන්නේ දරුවෝ දෙන්නම මේ ක්‍රීඩාවට දක්ෂතා දැක්වීම තමයි. ඒ වගේම දරුවන් දෙන්නගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් කිහිප දෙනෙක්ම උදව් කරනවා. ඒක ලොකු උදව්වක්. පුතාගෙ අසනීප තත්ත්වයට බෙහෙත් ගන්නත්, දුවගේ පෝෂණය වෙනුවෙනුත් විශාල මුදලක් වැය කරන්න ඕන. ඒත් අපිට ඒ වෙනුවෙන් ඒ තරමට වත්කමක් නැහැ. බිරිඳගේ පඩියෙන් භාගයකට වඩා ගේ හදාගන්න ගත්ත බැංකු ණයට කැපෙනවා. අනිත් දේවල් කරන්නෙ ත්‍රීවිල් රස්සාවෙන්” තරුෂිලාගේ පියා කරුණාරත්න මහතා අප සමඟ පැවසුවා. 

හර්ෂලාගේ සෙනෙහෙබර කැඳැල්ල

තරුෂි කියන්නේ අනාගතයේ මේ රටේ නම ගෙනි යන දක්ෂ මලල ක්‍රීඩිකාවක් බැව් මේ වන විට ඔප්පු කර අවසන්. හර්ෂ ඒ දේ කළා. නමුත් අවාසනාවකට වගේ හර්ෂගේ ගමන මේ වන විට ආබාධ තත්ත්වය හේතුවෙන් නතර කරලා. ඒක තාවකාලික නතර කිරීමක්. හෙට අනිද්දාට හර්ෂ සුව අතට හැරුණහම නැවත මලල ක්‍රීඩා පිටියේ දී දැකගන්න පුළුවන් වේවි. 

ඒත් මේ සම්පත් ඉදිරියට අරගෙන යන්න නම්, අප ඔවුන් රැකගත යුතුයි. ඊට ක්‍රමවත් වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. තරුෂිලාගේ අගහිඟකම් ඉහට ඉහළින් ගලා ගියත් ඔවුන්ගේ ආත්ම ශක්තිය ඒ මගින් අඩාල වෙලා නැහැ. ඔවුන්, ඔවුන්ගේ හෙට දවස කැප කරල තියෙන්නේ දරුවන් දකින සිහින ඉටු කර දීමට. 

ඒ සිහින සැබෑ කරන කොටස්කරුවෙක් වෙන්න ඔබටත් පුළුවන් නම්, එය ඔවුන්ට කරනවාට වඩා ඔබගෙන් රටට කෙරෙන යුතුකමක් වේවි. ඔබ දෙදෙනාගේ ඉදිරි ගමනට ThePapare.com වෙතින් සුබාසිරි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<