ආජන්ටිනාව තරගය ජය ගන්නා අතරේ, Cape Verde ලෝක කුසලාන මතක අතරට එක් වෙයි

FIFA 2026

5
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 23 වැනි දිනයට අදාළ ව ඊයේ (03) සහ අද (04) දිනය තුළ දී තවත් තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වුනා.

ඒ අනුව මෙවර තරගාවලියේ කණ්ඩායම් 32 තරග වටයට ද අද දිනයෙන් නිමාවට පත් වූ අතර, මින් පසුව කණ්ඩායම් 16 තරග වටය ආරම්භ කිරීමට සූදානම් ව තිබෙනවා.

ඊජිප්තුව සහ ඕස්ට්‍රේලියාව

මෙම තරගයේ 13 වැනි මිනිත්තුවේ දී Eman Ashour විසින් ඊජිප්තුව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඕස්ට්‍රේලියාව විසින් තරගය සම කිරීමට උත්සාහ දැරීම තවත් දැඩි කළා. මෙහි දී තරගයේ 55 වැනි මිනිත්තුවේ දී ඊජිප්තු ක්‍රීඩක Nohamed Hany විසින් Own Goal එකක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු ඉටු කර දීමට සමත් වුනා.

මින් අනතුරුව තරගයේ නියමිත කාලය තුළ මෙන්ම, ඉන් අනතුරුව ලද අතිරේක කාලය තුළ ද කණ්ඩායම් දෙකම තවත් ගෝල අවස්ථා වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ නමුත් ඒ සියල්ල අසාර්ථක වුනා. ඒ අනුව තරගයේ තීරණය සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, මෙහි දී ඕස්ට්‍රේලියාව සිය මුල් දඬුවම් පහර 4න් දෙකක් පමණක් සාර්ථක කර ගනිද්දී, ඊජිප්තුව මුල් දඬුවම් පහර 4ම සාර්ථක කර ගනිමින් තරගය ජය ගැනීමට සමත් වුනා.

මෙය ඊජිප්තුව ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජය ගත් පළමු අවස්ථාව ලෙස සටහන් වූ අතර, ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් 16 තරග වටයකට සුදුසුකම් ලබා ගන්නේ 1934 වසරේ පැවැත්වුණු පළමු ලෝක කුසලාන තරගාවලියෙන්, එනම් වසර 92කට පසුව වීමත් විශේෂත්වයක්.

ආජන්ටිනාව සහ කේප් වර්ඩ්

මෙම තරගය කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අන්දමේ තියුණු තරගයක් ලෙසයි නිමාවට පත් වුනේ.

තරගයේ ආරම්භයේ සිටම කේප් වර්ඩ් ක්‍රීඩකයින් විසින් ආජන්ටිනාවට ගෝල වාර්තා කිරීමේ අපහසු බව පසක් කරමින් ක්‍රීඩා කළ නමුත්, Lionel Messi විසින් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඉන් අනතුරුව කේප් වර්ඩ් ක්‍රීඩකයින් ද සිය ආරක්ෂාකාරී ස්වභාවය තරමක් වෙනස් කරමින් ගෝල ලබා ගැනීමට උත්සාහ කළ අතර, එහි පළමු උත්සාහය තරගයේ 59 වැනි මිනිත්තුවේ දී සාර්ථක වුනා.

මින් අනතුරුව නැවතත් ආජන්ටිනාවට ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා රැසක් ම වළකාලීමට කේප් වර්ඩ් දැල් රකින්නා ප්‍රමුඛ ආරක්ෂක පෙළ සාර්ථක ලෙස ක්‍රීඩා කළ අතර, තරගය අතිරේක කාලය දක්වා ද ඇදී ගියා. මෙහි දී තරගයේ 92 මිනිත්තුව තුළ ආජන්ටිනාව සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් නැවත තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ 103 වැනි මිනිත්තුවේ දී කේප් වර්ඩ් කණ්ඩායම ද සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගය නැවතත් සම කිරීමට සමත් වුනේ වත්මන් ලෝක ශූරයින් දැවැන්ත අවදානමකට ඇද දමමිනුයි.

කෙසේ වෙතත් තරගයේ 111 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනාව ගෝලයක් වෙත දැරූ උත්සහයක් කේප් වර්ඩ් ක්‍රීඩක Diney අතින් සිය දැල තුළට ම ගොස් Own Goal එකක් වාර්තා වීමත් සමඟ ආජන්ටිනාව නැවතත් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. ඉන් අනතුරුව කේප් වර්ඩ් ක්‍රීඩකයින් නැවත තරගය සම කිරීමට උත්සහ දැරූ නමුත් එම සිය උත්සාහයන් අසාර්ථක වීම සමඟ ආජන්ටිනාව තරගයෙන් ජය ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් සිය මංගල ලෝක කුසලානය නියෝජනය කළ කේප් වර්ඩ් ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලානය තුල ලොව ප්‍රබලතම යැයි සැලකෙන කණ්ඩායම් අන්ද මන්ද කිරීමට සමත් වූ බව ලෝකයට සදා කල් මතකයේ තිබෙනු ඇති.

කොලොම්බියාව සහ ඝානා

මෙම තරගයේ 14 වැනි මිනිත්තුව තුළ දී කොලොම්බියා ක්‍රීඩක Jhon Arias විසින් තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

මින් අනතුරුව ද කොලොම්බියාව විසින් අවස්ථා කිහිපයක ම ඝානා දැල ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළත්, ඒවා අසාර්ථක වුනා. එමෙන්ම ඝානා ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වීමට දැරූ උත්සාහයන් සියල්ලක් ම පාහේ කොලොම්බියානු ආරක්ෂක පෙළ හමුවේ ව්‍යර්ථ වී ගියා.

තරගාවලියේ කණ්ඩායම් 16 තරග අද රාත්‍රියෙන් ආරම්භ වීමට නියමිතයි. මෙහි දී තරගාවලියේ 24 වැනි දිනය සඳහා තරග ද්විත්වයක් ක්‍රියාත්මක වනු ඇති.

  • අද රාත්‍රි 10.30 – කැනඩාව සහ මොරොක්කෝව
  • හෙට (05) අලුයම 2.30 – පැරගුවේ සහ ප්‍රංශය

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>