සුපිරි ක්‍රිකට් තරු දෙකක් LPL එන්න බැහැ කියයි

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

2663
Chris Gayle and Jonny Bairstow

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිස් ගේල් සහ ජොනී බෙයාර්ස්ටෝ සහභාගී නොවන බව වාර්තා වේ. 

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති සහ LPL තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා එක්තරා හමුවකට සහභාගී වෙමින් පවසා සිටියේය.

මේ වසරේ නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

තරගාවලියේ දින වෙනස් වීම මත ඔක්තෝබර් මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා කල් දමා ඇති අතර LPL තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් පහට විදේශීය ක්‍රීඩකයන් හය දෙනා බැගින් මිල දී ගැනීමේ හැකියාව ඇත

තවත් කියවන්න;

එමෙන්ම මෙලෙස දින කිහිපයකින් තරගාවලිය කල් දැමීම සිදු කර ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ට ද පහසුවක් වන නිසාවෙනි. කෙසේ නමුත් තරගාවලිය සතියකින් කල් දැමීම සහ දින 14ක අනිවාර්ය නිරෝධායන කාලය පිළිබඳව මේ තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් සිටි විදෙස් ක්‍රීඩකයින්ට දන්වා ඇති අතර එහි දී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ සහ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක රැස්වීම පසුගිය දා පැවැත්වුනා. අපි ඊට කලින් අවස්ථා කිහිපයක දී ම රජය සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් සමඟ කතා කළා. හැබැයි ඔවුන් දින 14ක නිරෝධායනයේ කිසිම බුරුලක් දෙන්න කැමති වුනේ නැහැ. ඒක නිසා අපිට මේ තරගාවලියට එන්න හිටපු විදෙස් ක්‍රීඩකයින්ට මේ බව දැනුම් දෙන්න වුනා. 

දින 14ක නිරෝධායනය අනිවාර්ය බව දැනුම් දුන්නායින් පස්සේ ක්‍රිස් ගේල් සහ බෙයාර්ස්ටෝ  LPL එකෙන් ඉවත් වුනා. ඊට පස්සේ ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් ඔවුන්ට සහභාගී කරවීමට හැකි ක්‍රීඩකයින් ලැයිස්තුවක් එවලා තිබ්බා. එතන ලොකු ලොකු නම් තියෙන ක්‍රීඩකයින් ටික දෙනෙක් හැලිලා තිබුනත්, බිග් බෑෂ් වගේ ලොකු ලොකු ලීග් ගහන ක්‍රීඩකයින් ඇතුළුව විදෙස් ක්‍රීඩකයින් 270 දෙනෙකුගේ නම් අපිට ඇවිල්ලා තිබ්බා” යැයි වික්‍රමරත්න මහතා එහි දී පවසා සිටියේය.

එසේම ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙන ශහීඩ් අෆ්රිඩිගේ සහභාගීත්වය පිළිබඳව වික්‍රමරත්න මහතා පවසා සිටියේ මෙවැන්නක්.

“අෆ්රිඩි පාකිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරනවා. ඒ තරගාවලිය ඉවර වෙන්න තියෙන්නේ නොවැම්බර් 17 වැනිදා ඊට පස්සේ ඔහු දින 14ක අනිවාර්ය නිරෝධායන කාලයක් හිටියොත් ඔහුට LPL තරගාවලියේ මුල් තරග කිහිපය ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ.”

තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, මහනුවර, කොළඹ, යාපනය සහ ගාල්ල ලෙස කණ්ඩායම් 5ක් සහභාගී වන තරගාවලියේ තරග හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීම සඳහා මුලින් තීරණය වී තිබූ නමුත් ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලුවක් නිසාවෙන් දඹුල්ල ක්‍රීඩා පිටිය තරග කාලසටහනෙන් ඉවත් කිරීම සඳහා ද තීරණය වී ඇත.

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වනු ඇත්තේ, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් රජය සහ සෞඛ්‍ය අංශ බලධාරීන් ලබාගෙන තිබෙන තීන්දු නිසාවෙන් වුවත්, එය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් වීමට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූ බංග්ලාදේශ තරගාවලිය ද නොපැවැත්වෙන නිසා මේ වසර තුල දී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලැබෙන්නේ නැත.

“ඉදිරියේ දී අපිට ගඩාක් තරගාවලි තියෙනවා. මේ අවුරුද්දේ නම් ආයිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි නැහැ. ලබන අවුරුද්දේ මුලදී එංගලන්ත තරගාවලියෙන් පටන් ගත්තහම, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව වගේ ගොඩක් තරග සංචාර තියෙනවා. ඒ වගේම දේශීය ක්‍රිකට් තරගාවලි සුපුරුදු පරිදි පැවැත්වෙනවා” යැයි වික්‍රමරත්න මහතා අවසන් ලෙස පැවසීය.

Crick Vidu YouTube නාලිකාව ඇසුරෙන්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<