හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ “ජාත්‍යන්තර” කෑල්ල හැලෙයි

91

හෝමාගම දී ඉදිකිරීමට යෝජනා වූ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සාමාන්‍ය ක්‍රිකට් පිටියක් ලෙස සංවර්ධන කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත උපදෙස් ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියි. 

2021 ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙන ලකුණු

කොරෝනා වයිරසය ආසාදිතයින් කල් තියා හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලක්ෂ 150ක් වටිනා PCR පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඊයේ (26) පිරිනැමුණු අතර එහි දී සිල්වා මහතා මේ අදහස් පළ කර සිටියේ මාධ්‍යවේදීන් නැගූ ගැටලුවලට පිළිතුරු දෙමිනි. 

“ඇත්තටම බැලුවොත් ප්‍රේමදාස මහත්තයා ඛෙත්තාරාමයේ ඉදිකිරීමට පටන් ගන්න කොට මේ වගේම ප්‍රශ්න තිබුණා. ගරු තිලංග සුමතිපාල මැතිතුමා දඹුල්ල ක්‍රීඩාංගණය පටන් ගන්න කොටත් ඔය වගේම ප්‍රශ්න ආවා. ඒ වගේ ඊටත් වැඩිය සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකරද්දී ගැටලු තිබ්බා. නමුත් ඇත්තටම ඒවා දිහා බැලුවහම ඒවා අපිට දැන් දායාද වගේ” යැයි ඔහු සඳහන් කර සිටියා.

මෙරට අතිදැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් ඉදිකිරීමට නියමිතව තිබුණු මෙම ව්‍යාපෘතිය (හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය) සම්බන්ධව ඇතිවූ ව්‍යාකූල තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහ වර්තමාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුළු නිලධාරීන් රැසක් අරලියගහ මන්දිරයට කැඳවමින් සාකච්ඡා කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද කටයුතු කළේය.

තරුණ ක්‍රීඩකයින්ට අභියෝග කරමින් හර්බජාන් නැවතත් කණ්ඩායමට?

එම සාකච්ඡාවේ දී මේ දැවැන්ත ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගනු ලැබූ නමුත් එම ක්‍රීඩාංගණය සැකසීම සඳහා වූ යෝජිත භූමි භාගය නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරා දීම පිළිබඳව වූ කටයුතු සිදු කරන මෙන් අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට උපදෙස් ලබා දී ඇත.

“අපිට තවම මේ ඉඩම හම්බ වෙලා නෑ. මේක ආණ්ඩුවට අයිති ඉඩමක්. අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඒ පිළිබඳව. ඒ ඉඩම නිරාකරණය කර ගැනීමේ කටයුතු ඉවර වෙන්න තව මාස 9ක් හෝ 10ක් යයි. ඇත්තටම ඒක ඉස්සරහට තියෙන ව්‍යාපෘතියක්. ඊට පස්සේ තමයි අපි ඒ පිළිබඳව තීරණයක් ගන්නේ” යැයි ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“එදා තිබුණ සාකච්ඡාවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතාටත් කිව්වේ මේ භූමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරලා දෙන්න කියලා. ඒ අනුව මේ ක්‍රීඩා පිටිය සාමාන්‍ය ක්‍රීඩාංගණයක් විදියට හදාගෙන යන්නත් කියලා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව අපේ මූල්‍ය තත්ත්වය පිළිබඳවත් අධ්‍යයන වාර්තාවක් ලබාගෙන කරන්න පුළුවන් හොඳම විදිහ මොකද්ද කියන එක අපි ඉදිරියේ දී තීරණය කරනවා” යැයි ක්‍රීඩාංගණය පිළිබඳව මතුවී තිබෙන ගැටලු සම්බන්ධව වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<