එංගලන්ත ලයන්ස්ට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි

518

ජනවාරි 31 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘A’ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තරග 2කින් සමන්විත සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘A’ සිව්දින කණ්ඩායමේ නායකත්වයට නිපුන් ධනංජයව ද, එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස්ව ද නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිඳු මෙන්ඩිස්ට අමතරව, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙනවා. කෙසේ වෙතත් නම් කරන ලද ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා ද පසුවීම කැපී පෙනෙනවා. 2021 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේ දී ම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගී වුනේ නැහැ.

කෙසේ වෙතත් සිය ආබාධ තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත් වීම නිසා නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටින ක්‍රීඩකයින් ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිඳු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඕෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද

සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මනසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

අවශ්‍ය වූ විටෙක ජාතික කණ්ඩායමට කැඳවීම වෙනුවෙන් මේ තරගාවලියට නම් කර ඇති සංචිතය – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනිත් පෙරේරා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<