බැඩ්මින්ටන් සංගමයටත් ජාත්‍යන්තර තහනමක්

94

ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ සංශෝධනය විය යුතු ප්‍රධාන කරුණු ජුනි 30දාට පෙර සංශෝධනය කර නොගතහොතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පැනවීමට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය සූදානම්ව ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.

පසුගිය 21 වැනිදා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට එවා ඇති විද්‍යුත් තැපෑලෙහි සඳහන්ව ඇත්තේ කරුණු තුනක් සම්බන්ධව ඔවුන් අවධානය යොමු කර ඇති බවත්, එම කරුණු තුන ඉටු කිරීමට නොහැකි වුවහොත් ජුනි 30 වැනිදාට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පැනවීමට පසුබට නොවන බවත්ය.

වසර 4ක් නිලතල දැරූ නිලධාරීන්ට යළිත් ඉදිරිපත් වීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ පෙන්වා දී ඇති වගන්තිය සංශෝධනය කිරීම, දේශපාලන මැදිහත්වීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම හා ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගෙන ඇති බැඩ්මින්ටන් පරිපාලනය යළි පැරැණි නිලධාරීන් යටතට පත්කිරීම ඔවුන් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු තුන බවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අමල් ඩයස් මහතාගෙන් “මව්බිම” විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයෙන් එවැනි විද්‍යුත් ලිපියක් ලැබුණු බවත්, එම ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පෙරේදා (23දා) යැවූ බවත්ය.

කෙසේ වෙතත් හයවැනි වරටත් කල් ගිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය එළැඹෙන ජූලි 27වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය පෙන්වා ඇති ප්‍රධාන කරුණු තුන පැහැරහරිමින් නිලවරණයක් පැවැත්වුවහොත් එම නිලවරණය අනුමත නොකරන

බවද ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් පෙන්වා දී තිබීමද විශේෂත්වයකි.