පාකිස්තානයේ තරහා නිවන්න ICC ප්‍රධානීන් පාකිස්තානයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 2023

219

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට එක්ව තිබෙනවා.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පසුගිය කාලසීමාව පුරාවට අන්තර් සම්බන්ධතා එතරම් හොඳ මට්ටමක නොපැවති අතර ඔවුන් එකිනෙක සමඟ තරග වැදුණේ මධ්‍යස්ථ ස්ථානවල පමණයි.

සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානයට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම ගැටලු මතු වූ අතර ඔවුන් තරගාවලිය වෙනත් රටකට ගෙන යන ලෙස යෝජනා කළා.

මෙම ගැටලුව නිසා පාකිස්තානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කළ අතර ආසියානු කුසලානයේ තරග කිහිපයක් පාකිස්තානයේ පැවැත්වීමට සිදු කළ යෝජනාවට ද ඉන්දියාව කැමැත්ත පළ කළේ නැහැ.

මෙම සිදුවීම් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු වන Greg Barclay සහ Geoff Allardice පාකිස්තානයට ගොස් තිබෙන අතර එය පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද තහවුරු කර තිබුණා.

පාකිස්තානය ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරී  Wasim Khan ප්‍රකාශ කළේ,

“ඔව්, එය මේ මොහොතේ නිසැකවම සිදු වන දෙයක්. Greg Barclay සහ Geoff Allardice මේ වන විට පාකිස්තානයේ සිටින අතර ඔවුන් මෙම ගැටලු ගැන සාකච්ඡා කරමින් සිටින්නේ.

නමුත් ඒ සියල්ල රඳා පවතින්නේ රටවල් දෙකේ ක්‍රිකට් ආයතනය මතයි. අපි හිතනවා ඔවුන් සමඟ එක් වෙලා අපිට මේ සඳහා විසඳුමකට එන්න පුළුවන් වෙයි කියලා.”

ආසියානු කුසලානයේ නව ස්ථානය සහ දින පිළිබඳ මෙම සතිය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ආසියානු ක්‍රිකට් සභාපති Jay Shah ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ලෝක කුසලානයේ තරග කාලසටහන සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ නිවේදනය ජුනි 07 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයෙන් පසු ප්‍රකාශ කිරීමට ද නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා ඔබත් රැඳී සිටින්න ThePapare.com සමග.

Hindustan times  ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<