ආසියානු කුසලානයට ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් විශිෂ්ට ආරම්භයක්

U19 Asia Cup 2023

8316

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයෙන් ජපානයට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අද (09) සමත් වුනා. 

තරගාවලියේ සිව් වැනි තරගය ලෙස අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට ජපාන පිතිකරුවන්ට ඇරයුම් කල අතර, එය ජපානයට එතරම් පහසු අභියෝගයක් වුනේ නම් නැහැ. 

ජපන් කණ්ඩායමේ පළමු කඩුලු 8ම ලකුණු 35ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගිය Charles Hinze විසින් ලබා ගත් වටිනා ලකුණු 36 නිසා ජපානයට පන්දුවාර 30 පන්දු 3ක් තුළ සියල්ලන් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. Hinzeට අමතරව ජපාන ඉනිමේ ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට සමත් වුනේ පිතිකරුවන් දෙදෙනෙකු පමණයි. එමෙන්ම ජපන් පිතිකරුවන් පස් දෙනෙකු ම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් විසින් සමත් වීමත් විශේෂත්වයක්. 

පන්දු යැවීමේ දී මල්ෂ තරුපති විසින් කඩුලු 3ක් බිඳ හෙලද්දී, ගරුක සංකේත් විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. මීට අමතරව දුවිඳු රණතුංග, විශ්ව ලහිරු, දිනුර කළුපහන සහ විහස් තෙව්මික අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

ජපානයෙන් ලද පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පුලිඳු පෙරේරා සහ හිරුන් කපුරුබණ්ඩාර පිටියට පිවිසි නමුත් ඔවුන්ගේ ආරම්භය නම් සිතූ තරම් සාර්ථක එකක් වුනේ නැහැ. ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 22ක් වන විට ඔවුන් දෙදෙනාව ම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජපන් පන්දු යවන්නන් විසින් සමත් වූ නමුත් එය ජයග්‍රහණයක් වෙනුවෙන් යාමට තරම් ජපානයට ප්‍රමාණවත් වුනේ නැහැ. 

ශ්‍රී ලංකා අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි නායක සිනෙත්ගේ පිත්තෙන් වාර්තා වූ නොදැවුණු ලකුණු 26 සහ රුසඳ ගමගේ විසින් ලබාගත් ඉක්මන් ලකුණු 18 සමඟින් පන්දුවාර 12 පන්දු 2ක් තුළ අදාළ ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් වුනා. 

  • ජපානය – 75/10 (30.3) Charles Hinze 36, Koji Abe 19, ගරුක සංකේත් 2/18, මල්ෂ තරුපති 3/26 
  • ශ්‍රී ලංකාව – 76/3 (12.2) සිනෙත් ජයවර්ධන 26, රුසඳ ගමගේ 18, Kiefer Lake 2/27, Kazuma Kato-Stafford 1/21 

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ දී සිය පළමු ජයග්‍රහණය පන්දු 226ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟ 4.662ක් වැනි ඉහළ දළ ලකුණු වේගයක් සමඟින් B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මේ අතර B කාණ්ඩය නියෝජනය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය අතර තරගය ද මේ වන විට ක්‍රියාත්මකයි. 

එමෙන්ම A කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (08) පැවැත්වුණු තරගවලින් ජයග්‍රහණ ලැබීමට ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් විසින් සමත් වුනා. 

තරගාවලියේ තෙවන දිනය වන හෙට (10) දිනයේ දී ඉන්දියාව සහ පාකිස්තානයත්, නේපාලය සහ ඇෆ්ගනිස්තානයත් තරග බිමට පිවිසීමට නියමිතයි. 

2023 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<