“දැන් හොඳ කිව්වට, ඉස්සර මට බැන්නා” – KL Rahul

India Tour of South Africa 2023/24

1669
KL rahul reveals how hard his injury time period

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය 26 වැනි දා දකුණු අප්‍රිකාවේ Centurion හිදි ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී ඉන්දීය කඩුලු රකින පිතිකරු KL Rahul විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. 

තරගාවලියේ ආරම්භක දිනයේ දී Kagiso Rabadaගේ වේගපන්දු හමුවේ ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ වූ නමුත් ඉනිමේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි KL Rahul එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණේ ඉන්දීය කණ්ඩායමේ ගෞරවය රැක දෙමිනුයි. 

තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර KL නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වී සිටියා. තරගයේ දෙවන දිනය වූ ඊයේ (27) KL විසින් තවත් පන්දු 28කට පමණක් මුහුණ දෙමින් සිය ශතකය කරා ලඟා වුනේ Gerald Coetzee විසින් යොමු කළ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි. 

ඒ වන විට ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් බිඳ වැටී තිබූ අතර KL විසින් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 101ක් ලබා දැවී යන විට ඉන්දීය ඉනිම ලකුණු පුවරුවේ ලකුණු 245ක් සටහන් වී තිබුණා. 

KL විසින් සිය ශතකය ලබා ගැනීමත් සමඟ හින්දි භාෂාවෙන් තරග විස්තර විචාරය සිදු කරමින් සිටි හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Sunil Gavaskar විසින් මෙම ඉනිම තමන් දැක ඇති විශිෂ්ටතම ඉන්දියානු ටෙස්ට ඉනිම් 10 අතරින් පවා තැබිය හැකි බව පැවසුවා. 

“මම අවුරුදු 50ක් තිස්සේ ක්‍රිකට් බලනවා. Rahulගේ මේ ශතකය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම 10 අතරින් තියන්න පුළුවන් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. 

මොකද මේක වෙනස් තණතීරුවක්. තමන් ස්ථාවරයි කියලා කිසිම පිතිකරුවෙකුට විශ්වාසයක් ඇති වෙන එකක් නැහැ මෙහි දී. පන්දුවට ඕනම වෙලාවක ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙම වෙලත්, අද ඔහු ඒ වගේ විශිෂ්ට ඉනිමක් දියත් කළා.” 

KL විසින් මෙම වසර මුල භාගයේ දී ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවතට විසි වූ අතර ඊට පෙර ඔහු සිය පිතිකරණයෙන් ද තරමක පසුබෑමක් පෙන්නුම් කරමින් සිටියා. කෙසේ වෙතත් සිය ආබාධයෙන් පසුව කණ්ඩායම සමඟ එක් වූ KL වෙනස් ම ස්වරූපයකින් සිය ක්‍රීඩා දිවිය නැවත ඇරඹූ බවක් පෙනෙන්නට තිබෙනවා. 

ඊයේ දිනය නිමාවෙන් පසුව සිය ශතකය සහ තමන් පසු කල අසීරු කාල සීමාව පිළිබඳ KL මෙසේ සිය අදහස් සඳහන් කළා. 

” ඒක ඇත්තටම අමාරුයි. ඔබට ඔබේ ම පෞරුෂයක් තියෙනවා, චරිත ලක්ෂණ තියෙනවා. ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරද්දී මේ හැම දෙයක් ම අභියෝගයට ලක් වෙනවා. පුද්ගලයෙක් විදිහට, ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔබ සෑම මොහොතක ම අභියෝගයට ලක් වෙනවා. 

සමාජ මාධ්‍ය කියන්නේ පීඩනයක්. මම අද ශතකයක් ලබා ගෙන ඇති නිසා මිනිස්සු ප්‍රශංසා කරනවා. මාස තුන හතරකට පෙර හැමෝම මට බැන්නා.  

ඒක ක්‍රීඩාවේ කොටසක්, නමුත් මට කියන්න බැහැ ඒක ඔබට බලපාන්නේ නැහැ කියලා. ඒක බලපානවා. ඉක්මනින් ම ඔබට තේරුම් යනවා ඔබ ඒවායින් ඈත් වී සිටීම ඔබේ ක්‍රීඩාවට වගේම මනසටත් හොඳයි කියලා. 

තමන්ට ලැබෙන විවේචන වලින් ඈත් වෙලා ඉන්න තරම් කවුරුත් දක්ෂ නැහැ. ඒවා පුද්ගලයින්ට බලපානවා. කවුරු හරි කියනවා නම් ඒක තමන්ට බලපාන්නේ නැහැ කියලා, මට විශ්වාසයි ඒක බොරුවක්.” 

නමුත් සෑම අයෙක් ම මෙවැනි බාධක වලින් ඉවත්ව යාමට තමන්ගේ ම මාවතක් සොයා ගත යුතු බව KL පවසනවා. 

එමෙන්ම තමන් ද ඉතා දුෂ්කර කාල සීමාවක් පසු කරමින් මෙම පීඩාවන්ගෙන් ගැලවී යාමට අවශ්‍ය මාවත සොයා ගැනීමට වෙහෙසුණු බවත් ඔහු මෙහි දී සඳහන් කළා. 

මෙම ශතකය KLගේ අට වැනි ටෙස්ට් ශතකය වූ අතර එය ආසියාවෙන් පිටත දී ඔහු විසින් වාර්තා කල හය වැනි ශතකය ද වුනා. එමෙන්ම කඩුලු රකින්නකු ලෙස වගකීම් දරමින් KL Rahul ලබා ගත් පළමු ටෙස්ට් ශතකය ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා. 

මේ අතර මෙය දකුණු අප්‍රිකාවේ Centurion ක්‍රීඩා පිටියේ දී KL විසින් වාර්තා කළ දෙවන ශතකය ද වනවා. 

මේ පිළිබඳ ව ද හිටපු පිතිකරු Gavaskar විසින් විශේෂ යමක් සඳහන් කලා. 

“Dilip Vengsarkar ලෝඩ්ස් පිටියේ දී පිට පිටම ශතක තුනක් ලබාගෙන සිව් වැනි ඉනිමේ දීත් ලකුණු 52ක් ලබා ගත්තා. ඒ නිසාම ඔහුව ‘Lord Of Lord’s’ ලෙස හඳුන්වනවා. ඒ හා සමානව ම අපිට KL Rahulට කියන්න පුළුවන් ‘Centurion of Centurion’ කියලා.” 

මෙම ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට ඉන්දීය පළමු ඉනිමේ ලකුණු 245ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මෙහි දී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු Dean Elgar විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 140ක් ලබා සිටීම විශේෂත්වයක්. තරගයේ තෙවන දින අද (28) පස්වරුවේ ආරම්භ වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo සහ Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<