ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණු තණතීරුව ගැන ICCයෙන් තක්සේරුවක්!

ICC Cricket World Cup 2023

1205
ICC Cricket World Cup 2023

පසුගිය මාසයේ දී නිමා වුන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණු Ahmedabad හි Narendra Modi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව “සාමාන්‍ය” (Average) මට්ටමේ තණතීරුවක් ලෙස ICCය විසින් වර්ගීකරණය කර තිබෙනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන සෑම තණතීරුවක් ICCය විසින් ශ්‍රේණිගත කරන අතර, එහි දී එම තණතීරු ඉතා හොඳ, හොඳ, සාමාන්‍ය, සාමාන්‍ය මට්ටමට අඩු, දුර්වල සහ නුසුදුසු ලෙස වර්ගීකරණය කරනවා. එමෙන්ම එම වර්ගීකරණය අනුව ඉදිරි තරග වෙනුවෙන් තණතීරුව නැවත සුදුසු ලෙස සකස් කරනු ඇතැයි ද ICCය විසින් මෙහි දී බලාපොරොත්තු වනවා. 

ඒ අනුව නිමා වූ ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් ඉන්දීය ක්‍රීඩාංගණ පහක තණතීරු අටක් ICCය විසින් සාමාන්‍ය මට්ටමේ ඒවා ලෙස නම් කර තිබෙනවා. ඒ අතරට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණු අහ්මදාබාද් තණතීරුව ද ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම එම තණතීරුව ම ඊට පෙර පැවැත්වුණු ඉන්දු – පාකිස්තාන තරගය වෙනුවෙනුත් සාමාන්‍ය මට්ටමේ එකක් ලෙසයි නම් කර තිබෙන්නේ. 

මීට අමතර ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් පූර්ව තරගය පැවැත්වුණු  කොල්කටා Eden Gardens තණතීරුවට ද මෙම සාමාන්‍ය මට්ටමේ ශ්‍රේණිගත කිරීම හිමි වී ඇති අතර, එහි පැවැත්වුණු තවත් තරග දෙකක් වෙනුවෙනුත් මෙම සාමාන්‍ය මට්ටමේ ශ්‍රේණිගත කිරීම හිමි වී තිබීම විශේෂත්වයක්. 

සාමාන්‍ය මට්ටමේ ලෙස ශ්‍රේණිගත කිරීම් ලැබූ තරග පැවැත්වුණු තණතීරු; 

  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – චෙන්නායි – ඔක්තෝබර් 08 
  • ඉන්දියාව – පාකිස්තානය – අහ්මදාබාද් – ඔක්තෝබර් 14 
  • ඉන්දියාව – එංගලන්තය – ලක්නව් – ඔක්තෝබර් 29 
  • පාකිස්තානය – බංග්ලාදේශය – කොල්කටා – ඔක්තෝබර් 30 
  • ඉන්දියාව – දකුණු අප්‍රිකාව – කොල්කටා – නොවැම්බර් 05  
  • ඕස්ට්‍රේලියාව – බංග්ලාදේශය – පූනේ – නොවැම්බර් 11 
  • ඕස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව (දෙවන අවසන් පූර්ව තරගය) – කොල්කටා – නොවැම්බර් 15 
  • ඉන්දියාව – ඕස්ට්‍රේලියාව (අවසන් මහා තරගය) – නොවැම්බර් 19 

කෙසේ වෙතත් විශාල මතභේදයකට තුඩු දුන් තණතීරු මාරු කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ ඉන්දු – නවසීලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වුණු මුම්බායි Wankhede තණතීරුවට ICCයෙන් “හොඳ” මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලැබී තිබීම විශේෂත්වයක්. තරගයට පෙර බොහෝ දෙනෙකු විසින් අනුමාන කළේ මෙම තණතීරුව ඉන්දීය දඟපන්දු යවන්නන්ට උපකාරී වනු ඇති බවයි. නමුත් එම තරගයේ දී කණ්ඩායම් දෙක ම ඉතා පහසුවෙන් ලකුණු අතරට පිවිසීමට සමත් වුනා. 

එමෙන්ම තරගාවලිය අතරතුර දී ඉන්දීය පුහුණුකරු Rahul Dravid විසින් මෙම ශ්‍රේණිගත කිරීම් පිළිබඳ සිය විවේචනාත්මක අදහස මෙසේ සඳහන් කළා. 

” ඔබට අවශ්‍ය ලකුණු 350 තණතීරු දකින්න පමණයි නම්, ඔබ ඒ තණතීරු පමණක් ‘හොඳ’ ඒවා විදිහට තක්සේරු කරනවා නම් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. 

ඔබ වෙනස් දක්ෂතා දැකිය යුතුයි. ඔබට අවශ්‍ය හයේ සහ හතරේ පහර එල්ල කරනවා දකින්න විතරයි නම් ඔබට විස්සයි විස්ස තරග තියෙනවා.” 

පන්දු යවන්නන්ට සහය ලබා දෙන තණතීරුවලට ද සමාන මට්ටමේ සැලකීමක් ලැබිය යුතු බවයි Dravid මෙහි දී සඳහන් කළේ. 

මේ අතර ඉන්දියාවේ Dharamshala හිදි පැවැත්වුණු ලෝක කුසලාන තරග පහෙන් හතරක් සඳහා ම පිටියේ පිටත (Outfield) ස්වභාවය සඳහා “සාමාන්‍ය” මට්ටමේ ශ්‍රේණිගත කිරීම් ලැබී තිබෙනවා. තරගාවලිය අතරතුර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම මෙම පිටියේ පිටත ස්වභාවය පිළිබඳ සිය විවේචන ඉදිරිපත් කළ අතර, පිටියේ වැලි සහිත ස්වභාවය නිසා පන්දු රැකීමට බාධා මතු වන බවයි ඔවුන් සඳහන් කර තිබුණේ. මීට අමතරව පිටත පිටිය වෙනුවෙන් සාමාන්‍ය මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලැබී තිබෙන්නේ ඉන්දු – බංග්ලාදේශ තරගය පැවැත්වුණු පූනේ ක්‍රීඩාංගණයට පමණයි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<