ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරග පුරාණය

75
Sri Lanka vs South Africa Test History

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (27) Durban හී Kingsmead ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර එය වසර 31ක් මත ලියැවුණ තරග 31කින් සමන්විත දෙරට ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට එක් වෙන අලුත් ම තරගාවලියයි.

එම අතීතය තුළ දෙරට ක්‍රීඩකයෝ මෙතෙක් ටෙස්ට් තරගාවලි 13කට සහභාගී වී ඇති අතර ඉන් තරගාවලි 8ක ජයග්‍රහණ දකුණු අප්‍රිකාව ද සහ තරගාවලි 4ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද හිමිකර ගෙන තිබෙනවා. අනෙක් තරගය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව සම ශූරයන් වෙමිනුයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලි ඉතිහාසය

  සත්කාරකත්වය තරග ප්‍රතිඵලය තරග වසර
1 ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට තරග 1-0ක ජයක්. 3 1993
2 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 2-0ක ජයක්. 2 1998
3 ශ්‍රී ලංකාව තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම වෙයි. 3 2000
4 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 2-0ක ජයක්. 3 2001
5 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 2-0ක ජයක්. 2 2002
6 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. 2 2004
7 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. 2 2006
8 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 2-1ක ජයක්. 3 2011
9 ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට තරග 1-0ක ජයක්. 2 2014
10 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 3-0ක ජයක්. 3 2016
11 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. 2 2018
12 දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. 2 2019
13 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට තරග 2-0ක ජයක්. 2 2020/21

දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා ටෙස්ට් තරග 31ක් ක්‍රියාත්මක ව ඇති අතර ඉන් තරග 16ක ජයග්‍රහණ දකුණු අප්‍රිකාව ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 9ක් පමණයි. ඉතිරි තරග 6 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

එමෙන් ම දෙරට ඉතිහාසයේ අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2021 වසරේ ජනවාරියේදී වන අතර Johannesburg හි දී පැවැති එම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් ව ඇති අතර ශ්‍රී ලංකාවට අවසන් වරට ජයග්‍රහණයක් හිමි ව ඇත්තේ 2019 වසරේදී Gqeberha හි පැවැති තරගයේදීයි.

දෙරට තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහි ව වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය ලබා දී ඇත්තේ සනත් ජයසූරියයි. ඔහු 2000 වසරේ සිට 2002 වසර දක්වා තරග 7කට නායකත්වය දී තිබෙනවා. එම තරග අතුරින් එක් තරගයක් ජයග්‍රහණ ලබමින් නිමා කරන ලද අතර අනෙක් තරග අතුරින් 4ක් පරාජිත තරග ලෙසින් ද අනෙක් තරග ද්විත්වය විසඳුමකින් තොරව නිමා වූ තරග ලෙසින් ද ඉතිහාසයට එක් ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය ලබා දී ඇත්තේ Shaun Pollock. ඔහු 2000 වසරේ සිට 2002 වසර දක්වා තරග 8කට නායකත්වය දී ඇති අතර ඉන් තරග 5ක් ජයග්‍රහණයෙන් කෙළවර කරන ලද අතර පරාජිත තරගයක් සහ නොවිසඳුණ තරග 2ක් ලෙසින් අනෙක් තරග ත්‍රිත්වය නිමා කරනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි ව වැඩිම තරග ප්‍රමාණයකට එක් වූ ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් ව තිබෙන්නේ මහේල ජයවර්ධනයි. ඔහු 2000 වසරේ සිටි 2014 වසර දක්වා තරග 17කට ක්‍රීඩා කර තිබෙනවා. එම තරගවල දී ඔහු ශතක 6ක් සමඟින් ලකුණු 1782ක් ලබා ඇති අතර නායකයෙක් ලෙසින් ද ඔහු තරග 2කක දී කටයුතු කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම තරග ප්‍රමාණයකට එක් ව ඇති ක්‍රීඩකයා වන්නේ Mark Boucher. ඔහු එහි දී ලකුණු 775ක් ලබා තිබෙනවා.

දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා නායක ලැයිස්තුව සැකසෙන්නේ අර්ජුන රණතුංග (5), සනත් ජයසූරිය (7), මාවන් අතපත්තු (3), මහේල ජයවර්ධන (2), තිලකරත්න ඩිල්ශාන් (3), ඇන්ජලෝ මැතිව්ස් (5), සුරංග ලක්මාල් (2) සහ දිමුත් කරුණාරත්න (4)ක් ලෙසයි. ඊට එක්වෙන අලුත් ම නායකයා වෙන්නේ ධනංජය ද සිල්වා යි.

දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව පිළිවෙලින් Kepler Wessels (3), Hansie Cronje (2), Shaun Pollock (8), Graeme Smith (5), Ashwell Prince (2), Hashim Amla (2), Faf du Plessis (7) සහ Quinton de Kock (2) මේ දක්වා නායකයන් ලෙසින් කටයුතු කර ඇති අතර මෙවර, Temba Bavuma මෙම ලැයිස්තුවට එක් වෙන්නේ 9 වැනි නායකයා ලෙසයි.

දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

756/5d (185.1): ශ්‍රී ලංකාව විසින් 2006 වසරේ ජුලි මාසයේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.

මෙය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ ඔවුන්ට එරෙහි ව ඉනිමක ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

621/10 (142.1): දකුණු අප්‍රිකාව විසින් 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී Centurion හි පැවැති තරගයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ දකුණු අප්‍රිකානුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ඇති වැඩිම ලකුණු ප්‍රමාණයයි.

73/10 (44.4): දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වෙන්නේ 2018 වසරේ ජුලි මාසයේ දී දකුණු අප්‍රිකාව විසින් ගාල්ලේ දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාවයි.

95/10 (38.4): ශ්‍රී ලංකාව 2001 වසරේ ජනවාරියේ දී Cape Town හි දී දැවී ගිය මෙම ලකුණු ප්‍රමාණය දෙරට ඉතිහාසයේ දකුණු අප්‍රිකාව ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණයයි.

1359: දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 2006 වසරේ ජුලි මාසයේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි. එහි දී දකුණු අප්‍රිකාව ලකුණු 169ක් සහ ලකුණු 434ක් ද ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 756ක් ද ලබා සිටියා.

676: දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව 2018 වසරේ ජුලි මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි. එහි දී ශ්‍රී ලංකාව ලකුණු 287ක් සහ 190ක් ද දකුණු අප්‍රිකාව ලකුණු 126ක් සහ 73ක් ද ලබා සිටියා.

inns & 229 runs: දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහළ ම ජයග්‍රාහී පරතරය වන්නේ දකුණු අප්‍රිකාව 2001 වසරේ ජනවාරියේ දී Cape Town හි දී වාර්තා කළ මෙම ජයග්‍රහණයයි.

inns & 153 runs: ශ්‍රී ලංකාව 2006 වසරේ ජුලි මාසයේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ලැබූ මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට එරෙහි ව ඔවුන් ලැබූ ඉහළ ම පරතරයකින් යුත් ජයග්‍රහණයයි.

374: මහේල ජයවර්ධන විසින් 2006 වසරේ ජුලි මාසයේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පන්දු 572කට මුහුණ දෙමින් හතරේ පහර 43ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ එක් ඉනිමක දී ක්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබෙනවා.

මහේල ජයවර්ධනගේ මෙම ඉනිම දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව පිතිකරුවෙක් විසින් වාර්තා කරන ඉහළ ම ඉනිම ලෙස ද පවතින අතර මහේල ජයවර්ධනගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද එය ඉතිහාසයට එක් ව තිබෙනවා.

224: 2012 වසරේ ජනවාරියේ Cape Town හි දී දකුණු අප්‍රිකාවේ Jacques Kallis විසින් පන්දු 325කට මුහුණ දෙමින් හතරේ පහර 31ක් සහ හයේ පහරක් සමඟින් වාර්තා කළ මෙම ඉනිම දෙරට තරග ඉතිහාසයේ එක් ඉනිමක දී ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබෙනවා.

මෙම ඉනිම තරග 166ක් වන Jacques Kallis ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද සැලකෙනවා.

9/129 (37.0): 2018 වසරේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී Keshav Maharaj පෑ මෙම දක්ෂතාව දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.

මෙම දක්ෂතාව ඔහුගේ මෙතෙක් සහභාගී වූ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසිනුයි සටහන් වෙන්නේ.

7/84 (35.0): 2000 වසරේ ජුලි මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මුත්තයියා මුරලිදරන් විසින් පෑ මෙම දක්ෂතාව ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් දකුණු අප්‍රිකාවට එරෙහි ව පෑ ඉහළ ම දක්ෂතාවයි.

13/173 (76.0): මුත්තයියා මුරලිදරන් විසින් එම තරගයේ දී පෑ මෙම දක්ෂතාව දෙරට තරග ඉතිහාසයේ පන්දුයවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාවයි.

12/283 (81.1): මෙම වාර්තාවේ දකුණු අප්‍රිකානු හිමිකරු වෙන්නේ 2018 වසරේ දී ම Keshav Maharaj විසින් ඉනිමක දක්ෂතාව පෑ තරගයේ දී ම පෑ මෙම දක්ෂතාවයි.

මෙම දක්ෂතාව ඔහුගේ මෙතෙක් සහභාගී වූ ටෙස්ට් තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසිනුයි සටහන් වෙන්නේ.

624: දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ලකුණු සංඛ්‍යාවේ සබඳතාව වාර්තා වෙන්නේ 2006 වසරේ ජුලි මාසයේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් 3 වැනි කඩුල්ලට වාර්තා කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.

මෙය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

150: 2001 වසරේ ජනවාරියේ Centurion හි දී 8 වැනි කඩුල්ල වෙනුවෙන් Shaun Pollock සහ Neil McKenzie එක් ව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<