ගිලී, ගෙදර පලයන් බං!

115
Adam Gilchrist

ඇඩම් ගිල්ක්‍රිස්ට් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී පුරාවෘත්තයක්. හැබැයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ සමය කිසිසේත්ම ඔහුට ලෙහෙසි පහසු කාලයක් වුණේ නැහැ. නින්දා, අවමන්, දුෂ්කරතා මැද ඔහු ආ ගමනේ එක් පරිච්ඡේදයක් තමයි මේ ආකාරයෙන් ලියවෙන්නේ.

1997/98 සාම්ප්‍රදායික ඔස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය ආරම්භයේදී ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වෙනුවෙන් වෙන වෙනම කණ්ඩායම් දෙකක් සහභාගී කරවන්නට ඔස්ට්‍රේලියානු තේරීම කමිටුව තීරණයකට පැමිණියා. ඒ අනුව එවකට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මාක් ටේලර්ට සහ කඩුලු රකින්නා වූ ඉයන් හීලි එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය ස්ටීව් වෝගේ කරමත පැටවුණු අතර කඩුළු රකින්නාගේ කාර්‍යභාරය එක්දින තරග කිහිපයක් ක්‍රීඩා කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්ට ලබා දීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු බලධාරීන් තීරණය කර තිබුණා.

“ඇත්තටම ඒක හරිම අමාරු කාලයක්. විශේෂයෙන්ම ඉයන් හීලි එම තීරණය පිළිගත්තේ කිසිම කැමැත්තකින් නොවෙයි. හීල්ස් (ඉයන් හීලි) ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා නැවත වතාවක් කෙසේ හෝ ඔහු එක්දින කණ්ඩායමට පැමිණෙන බව.

හීල්ස්ගේ බලාපොරොත්තුවක් තිබුණා 1999 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට. තවත් දෙයක් කිව යුතුයි කණ්ඩායම නම් කළ වහාම මා අමතා මුලින්ම සුභ පැතුවේත් ඉයන් හීලි බව”

ඇඩම් ගිල්ක්‍රිස්ට් සිය චරිතාපදානයේ එලෙස ලියා තිබුණා.

Adam

ඉයන් හීලිගෙන් ඇඩම් ගිල්ක්‍රිස්ට්ට උපදෙසක්

ඉයන් හීලී මෙන්ම සෙසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන් ද මෙම නව වෙනස  හොඳින් පිළිගත්තේ නැහැ. ඔස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ මූලික වටයේ තරග අතරතුර ප්‍රේක්ෂකයින්ගේ උසුළු විසිළුවලට ලක්වන්නට ගිල්ක්‍රිස්ට්ට සිදුවුණා. මෙකී තරගාවලියට ඔස්ට්‍රේලියාවට අමතරව දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් එක්වී සිටියා.

“මට මතක්වුණා නිව් සවුත් වේල්ස් සිට බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් සමය. නමුත් මෙවර ඊටත් වඩා දරුණු ආකාරයකින් මෙවර ඔවුන් මට පහර දුන්නා. මා පන්දුවක් රැකගත් වහාම හීලි නාමය ප්‍රේක්ෂකාගාරයේ සෑම තැනකින්ම ඇසුණා. නැවත වතාවක් මා දරුණු අභියෝගයකට මුහුණදී ඇති බව මට හැඟීගියා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වාසනාව සොයා බටහිර ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ගිල්ක්‍රිස්ට් ගේ ගමන සුමට එකක් වුණේ නැහැ.

බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල පළමු ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරගයේදී, ගිල්ක්‍රිස්ට් පන්දුවට පහරදීමට යද්දීත්, නැවත ක්‍රීඩාගාරයට පැමිණෙත්දීත් ප්‍රේක්ෂකයින් නොකඩවා හූ හඬ තලමින් අවලාද නගන්නට වුණා.

ප්‍රේක්ෂකයින්ගේ ගෞරවය බලෙන් දිනාගත නොහැකි බවත් ඔවුන්ගේ ගෞරවය උපයා ගැනීම වෙනුවෙන් උපරිමයෙන්ම දස්කම් දැක්වීමට සිදුවන බවත් ඇඩම් ගිල්ක්‍රිස්ට් නම් තරුණ ක්‍රීඩකයා එවලේ ඔහුටම සපථ කර ගත්තා

“මට මතකයි එදා තරගය අතරතුර ප්‍රේක්ෂකාගාරයේ සිටි කුඩා දරුවන් කිහිපදෙනෙකු ගිල්ක්‍රිස්ට්, ගිල්ක්‍රිස්ට් කියා කෑගසනවා.

මට අතීතය මතකයට නැගුණා. මා කුඩා දරුවෙකුව සිටි අවධියේ වරක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රොඩ්නි මාෂ්ට මේ ආකාරයෙන්ම අත වැනුවා. ඔහුත් පෙරලා මට අත වැනුවා. එදා තමයි මම තීරණය කලේ කවදා හෝ දිනක ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නාගේ අත් ආවරණ පැළඳ ගන්නවා කියා. මට ඒ සිදුවීම ක්ෂණිකව මතක් වූ නිසා මා පෙරලා කුඩා දරුවන් දෙසට හැරී ආචාර කලා.

එකවරම ඔවුන් ගිල්ක්‍රිස්ට් ගෙදර පලයන් (Gilchrist, Go Home) කියා කෑගසා පැවසුවා. එදා ක්‍රීඩාංගණයේ සිටි සෑහෙන පිරිසට ඔවුන්ගේ ප්‍රතිචාරය හොඳින්ම ඇසුණා. ඔවුන් මහා හඬින් සිනහා වෙද්දී මට ඇතිවුණේ පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක්.

මට හැඟී ගියා ඔවුන්ගේ ගෞරවය දිනන්නට නම් ගිල්ක්‍රිස්ට්ට තවත් බොහෝ දුරක් යෑමට සිදුවන බව.

“ප්‍රේක්ෂකයින් පමණක් නොව ක්‍රීඩකයින් පවා මා විහිළුවකට ගත් ස්වරූපයක් තිබුණේ.

තුන්කොන් එක්දින තරගාවලියේ මා ක්‍රීඩා කල පළමු තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී. දකුණු අප්‍රිකාවට එරෙහිව. එම තරගයේදී වැඩි වෙලාවක් පන්දුවට පහර දෙන්නට මට හැකියාවක් ලැබුණේ නැහැ.

මා කඩුල්ලට පැමිණි වහාම පැට් සිම්කොක්ස් මා වෙත පැමිණියා.

‘ගිලී, ඔබ හිතන්නේ අද කීදෙනෙක් මැච් එක බලනවා ඇතිද?’

‘35,000 ක් විතර’. මම මෝඩයෙකු ලෙස පිළිතුරු දුන්නා.

‘ඒ කියන්නේ අද මෙහි සිටින 35000ක්ම ඔබට වෛර කරනවා’

සිම්කොස් පැවසුවේ හිනහෙමින්.

වැඩි වෙලා යන්නට මත්තෙන් ඔවුන් ඩැරල් කලිනන් පන්දු යැවීමට ගෙන්නුවා.

නැවත සිම්කොක්ස් මා වෙත ආවා.

‘ගිලී, අපි ඩැරල්ට දැලකදීවත් පන්දු යවන්න දෙන්නේ නැහැ. දෙයියන්ගේ නාමේට එයාට නම් අවුට් වෙන්න එපා. මම හිතනවා ඔබ ඔහුට හොඳින් මුහුණ දෙයි කියල.’

මා සිටියේ විශාල පීඩනයක. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කලිනන්ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් දීමෙන් මා දැවී ගියා. කලිනන් ඔහුගේ මුළු ක්‍රිකට් ජීවිතයේම ලබාගෙන ඇත්තේ කඩුලු හතරක් පමණයි. මුළු ක්‍රීඩාංගණයම නැවතත් සිනහා හඩින් පිරී ගියා.

මීලග තරගය පැවැත්වුණ ඇඩිලේඩ් පිටියෙදීත් තත්වය වෙනස්වුණේ නැහැ. ගැබා තරගයේදී කිහිපදෙනෙකු හීලි නැවත කණ්ඩායමට එක් කරගන්නා ලෙස බැනර් කිහිපයක් ප්‍රදර්ශණය කළා.

එක්දින තරගාවලිය අතරතුර ටෙස්ට් තරග කිහිපයක් පැවැත්වුණ නිසා මට කෙටි විරාමයක් ලැබුණා. ඒ කාලය අතරතුරදීත් මාධ්‍යවේදීන් මා අත හැර තිබුණේ නැහැ.

එක්තරා රූපවාහිනි නාළිකාවක් අප දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගැනීමට කළ සමීක්ෂණයකින් 78% වැඩි  ප්‍රතිශතයකින් ජයගන්නට හීල්ස් සමත්වුණා. එම සමීක්ෂණයට සහභාගී වූයේ ඔස්ට්‍රේලියානු පළමු පෙළ තරග නියෝජනය කල ක්‍රීඩකයින්. නමුත් ඒවන වි වෙද්දී ඕනෑම තත්වයකට මුහුණ දෙන්නට මගේ මනස ශක්තිමත් වී තිබුණේ.”

එවර කාල්ටන් සහ යුනයිටඩ් ඔස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට සත්කාරක ඔස්ට්‍රේලියානුවන් සහ දකුණු අප්‍රිකාව සමත්ව සිටියා. ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂම පෙරළිය සිදුවන්නේ මෙම තරග තුනකින් යුත් අවසන් මහා තරග මාලාවේදී.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවති මුල්ම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුළු නමයක් දැවී ලකුණු 241ක් ලබා ගන්නට සමත්වුණා. ඉනිම දෙක අතරතුර විවේකයේදී ඔස්ට්‍රේලියානු නායකයා ස්ටීව් වෝ කලක් තිස්සේ තමන්ගේ සිතේ නලියමින් තිබූ සැලසුමක් ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියා

“‘ගිලී අද මා ඔබ සමගින් ඉනිම ආරම්භ කරන්නට හිතාගෙන ඉන්නේ’ ස්ටීව් කීවා

මා තුළ ඇතිවුණේ මිශ්‍ර හැඟීම් සමුදායක්. උද්දාමය සමග යම් කිසි චකිතයක්. නමුත් අභියෝගය පිළිගන්නට මම තීරණය කළා.

අවාසනාවක මහත ඔස්ට්‍රේලියනු පිළේ හැඩකාර සහ වඩා විශ්වාසවන්ත ආරම්භක පිතිකරුවා වූ මාක් වෝ මගේ වරදින් දුවද්දී දැවී ගියා. අවසානයේ අපි ලකුණු හයකින් දකුණු අප්‍රිකාවට පරාජය වුණා.

දෙවන අවසාන මහා තරගයේදීත් අපට ලැබුණේ දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ඉලක්කයක් හඹායෑමට. මගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ජාත්‍යන්තර ශතකය මා වාර්තා කරගන්නේ මේ තරගයේදී.

Adam Gilchrist

ඇඩම් ගිල්ක්‍රිස්ට් සිය මංගල එක්දින ශතකය වාර්තා කරගත් මොහොත

එතැන් පටන් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස මම මගේ ස්ථානය තහවුරු කරගත්තා. ඇත්තටම එදා ස්ටීව් මා ආරම්භක පිතිකරුවෙකු කරන්නට ගත් තීරණය මගේ ක්‍රිකට් දිවියේ මට සිදුවූ හොදම දෙයක් ලෙසයි මා සලකන්නේ.”

මූලාශ්‍රය: ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ චරිතාපදානය True Colours: My Life Adam Gilchrist