තවත් යොවුන් ලෝක කුසලානයට මාන බලන ඉන්දීය පුහුණුකරුගේ අදහස්

1328
(News18)

ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (14) බටහිර ඉන්දීය කොදෙව් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟින් තරග වදින අතර දිනයේ දෙවැනි තරග ලෙස ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමඟින් තරග වැදීමට නියමිතයි.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම සිය පළමු තරගය ක්‍රීඩා කරන්නේ දකුණු අප්‍රිකාව සමඟිනුයි. එම තරගය හෙට (15) පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට ඉන්දීය කණ්ඩායම එක්වන්නේ කුඩා ඉලක්ක කිහිපයක් සමඟින් බව ඉන්දීය පුහුණුකරු Hrishikesh Kanitkar පවසා සිටිනවා.

ඉන්දීය කණ්ඩයම මීට පෙර තරගාවලිවල දී ඉතා හොඳින් දස්කම් දක්වා තිබෙනවා. අපි සිව්වතාවක් තරගාවලිය ජයග්‍රහණය කරලා තිබුණා කියන එක වැදගත් වෙන්නේ නැහැ. මේක නව කණ්ඩායමක්. ඒ නිසා අපි නැවුම් විදියට තරගාවලිය ආරම්භ කරන්න ඕනේ”, Kanitkar මාධ්‍ය වෙත පවසා තිබුණා.

අපි හිතන්න ඕනේ නැහැ IPL තරගාවලිය ගැනවත් Ranji කුසලාන තරගාවලිය ගැනවත්. අපි අපේ අවධානය තියා ගන්න ඕනේ මේ තරගාවලිය තුළ අපිට කරන්න පුළුවන් දේවල් ගැන. පුහුණුකාර්ය මණ්ඩලයක් ලෙස අපි කෙටිකාලීන ඉලක්ක ගැන ක්‍රීඩකයින්ගේ අවධානය තබා ගන්නවා.”

ජෛව ආරක්‍ෂිත බුබුළුවල ක්‍රීඩා කිරීම ගැන විමසා සිටි විට ඉන්දීය පුහුණුකරුවා මෙලෙස අදහස් දක්වා සිටියා. “ඔව් ඒක අභියෝගයක්. අපි තේරුම් ගන්න ඕනේ ඒක තමයි දැන් සාමාන්‍ය දේ. ඒ නිසා එකට හුරුවෙන්න ඕනේ. ක්‍රීඩකයින්ට පුළුවන් වෙයි මේකෙන් ඉගෙන ගන්න ලෝක කුසලානයෙන් පස්සෙත් අවශ්‍ය වුනොත් ජෛව ආරක්‍ෂිත බුබුළක ඉන්න විදිය.”

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ජයග්‍රහණය කළා. Kanitkar පවසා සිටින්නේ එම තරගාවලිය කණ්ඩායම සංයුතිය සකසා ගැනීමට හා අත්දැකීම් ලබා ගැනීමට ඉතා වැදගත් වූ බවයි.

ඉන්දීය ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායක Virat Kohliගේ අඩිපාරේ යන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ නායක Yash Dhull පවසා සිටින්නේ තරගයෙන් තරගය සැලසුම් කිරීම වැදගත් බවයි.

කණ්ඩායමේ මානසික තත්වය ඉතා හොඳයි. තරගයෙන් තරගය සැලසුම් කරලා තරගයෙන් තරගය දියුණු වෙන්නේ කොහොමද බලන්න ඕනේ”, ඉන්දීය සුපිරි පිතිකරුවන් වන VVS Laxman හා Rohit Sharmaගෙන් ලැබුණු උපදෙස් ගැන අදහස් දක්වමින් ඉන්දීය නායකයා පවසා සිටියේ ඔවුන්ගේ අත්දැකීම් තරගාවලියේ ඉදිරියට යන විට කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති බවයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<