කුසල් පෙරේරාට ඉදිරි එක්දින තරගාවලිය මඟ හැරෙන ලකුණු

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2807

ශ්‍රී ලංකා කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය මඟ හැරී යන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

කුසල් පෙරේරා හට පසුගිය අගෝස්තු 15 වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුනු අතර ඉන්පසුව වහාම ඔහුව අදාළ ප්‍රතිකාර කටයුතු සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා.

කෙසේ නමුත් දැනට පවතින කෝවිඩ් මර්දන වැඩපිළිවෙලට අනුව ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පුද්ගලයෙක් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු අතර එම හේතුව නිසාවෙන් ඔහු තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වී නැහැ.

නිමා වුන එංගලන්ත තරග සංචාරය අතරතුර ඔහුගේ උරහිසේ ඇතිවුණු ආබාධයක් නිසාවෙන් ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වුණු එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සහ  Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද මඟ හැරුණා. 

තවත් ක්‍රිකට් පුවත්: 

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන සඳහා පෙරේරාගේ සහභාගීත්වය අවිනිශ්චිත වුවත්, එළඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වන විට ඔහු කායිකව සහ මානසිකව ඉතාමත් හොඳ සූදානමකින් සිටිනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය විශ්වාසයෙන් පසුවනවා.

පෙරේරාගෙන් හිස්වන ස්ථානය සඳහා, කඩුලු රකින පිතිකරුවන් ලෙස මිනෝද් භානුක සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මේ වන විට 29 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය තුල සිටින අතර ඔවුන් සියලු දෙනාම ජෛව ආරක්ෂිත බුබුලක් (Bio bubble)  තුල පසුවනවා. කෙසේ නමුත් මේ මූලික සංචිතය තරගාවලියේ ආරම්භයට පෙර ක්‍රීඩකයින් 22 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.

තරග කාලසටහන:

පළමු එක්දින තරග – සැප්තැම්බර් 2

දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 4

තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 7

පළමු විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 10

දෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 12

තෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 14

(සැ:යු – තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.)

තරගාවලියේ සියලු තොරතුරු මෙන්ම ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ThePapare.com තුලින් ඔබ වෙත. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<