තොග වශයෙන් කණ්ඩායම වෙනස් වුනේ කොහොමද? අසන්ත පහදයි

2101

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද තෙවන ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පසුගිය (5) දිනයේ දී මාධ්‍ය වෙත නිකුත් කළ අතර එම සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වූවක් විය.

නවක මුහුණු රැසක් සමඟ එළියට ආ ශ්‍රී ලංකා අලුත් සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන….

එසේම නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හා අත්දැකීම් ඇති තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අලුතින් එක් කිරීමට හේතු සාධක වූ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන අසන්ත ද මෙල් මහතා ThePapare.com වෙත මෙසේ සිය මතය පවසන ලදි.

මෙවර තෝරාගත් කණ්ඩායම බැලූ විට මෙහි ඇති සුවිශේෂීතම සිදුවීම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායමෙන් ඉවත් කර තිබීමයි.

චන්දිමාල්ගේ අවසන් ටෙස්ට් ඉනිම 4 තුල ඔහු රැස්කර ගෙන තිබෙන්නේ ලකුණු 24ක් පමණි. විශේෂයෙන් අංක 3 වැනි ස්ථානයක ක්‍රීඩා කරනු ලබන පිතිකරුවෙක් මීට වඩා වැඩි වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතුයි. තවද නායක චන්දිමාල් ඔහුගේ අවසන් ටෙස්ට් තරග 5 තුලම වාර්තා කරගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. චන්දිමාල් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කොට නොමැති  නිසා එහි වගකීම තාවකාලිකව ලැබී ඇත්තේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න හටයි.

“අපිට හිතෙන දැනෙන විදිහට චන්දිමාල්ගේ මානසිකත්වය ගොඩක් පහළට වැටිලා තියෙන්නේ, අපි ඔහුට දුන්නේ යම් විවේකයක් පමණයි. අපේ ඉදිරි තරගවල හා ඉදිරි සැලසුම්වල චන්දිමාල් ඉන්නවා.” අසන්ත ද මෙල් මහතා පැවසීය.

අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ….

මේ දිනවල ක්‍රියාත්මක වන දේශීය පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග මේ සතියේ දී අවසන් වන නමුත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරග ආරම්භ වන නිසා එළඹෙන  ක්‍රිකට් තරගාවලියට පෙර චන්දිමාල් හට දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට හැකිය.

එසේම නිමා වූ නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු තරග සංචාරයන් තුල දී ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සංචිතයේ සිටි තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන නමුත් නිමා වූ ටෙස්ට් තරග 4 තුල ඔහුට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 6ක් පමණි.

අනෙක් අන්තයෙන් බැලූ විට පිතිකරුවන්ව පීඩනයක හසුවන ආකාරයට ද ඔහු පන්දු යැවූ බව ඔහුගේ දත්ත පිරික්සා බැලූ කළ නොපෙනේ. එසේම නිමාවූ ටෙස්ට් තරග සංචාරයන් තුල පිතිකරුවෙක් ලෙස ද කණ්ඩායමට වැඩි යමක් කිරීමට ඔහු අසමත් විය.

“පසුගිය සති 4ක කාලයක ඉඳන් දිල්රුවන්ගේ (පෙරේරා) පාදයේ වළලුකර ආශ්‍රිතව පොඩි ආබාධයක් තිබෙනවා. ඒ වගේම දිල්රුවන් ආසියාවෙන් පිට තණතීරු මත යොදාගෙන වැඩි යමක් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නත් අපට බෑ. ඒක නිසා තමා අපි ඔහුව දකුණු අප්‍රිකානු තරග සංචාරයට යන සංචිතයට ඇතුළත් කළේ නැත්තේ.” ද මෙල් මහතා අදහස් දක්වමින් පවසන ලදි.

අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ….

වයස අවුරුදු 22ක් වන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා A – අයර්ලන්ත A නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 14ක් දවාගෙන දස්කම් දැක්වීම නිසාවෙනි. පළමු පෙළ ක්‍රිකට් තරග 21ක් ක්‍රීඩා කර ඇති ඇඹුල්දෙණිය කඩුලු 125ක් දවාගෙන දස්කම් දක්වා ඇත්තේ 20.13ක පමණ ඉතාමත් කඩුලු  දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙනයි.

ඔහුගේ විශේෂත්වය පිළිබඳව අසන්ත ද මෙල් මහතාගෙන් විමසූ විට පැවසුවේ මෙවැන්නක්.

“දකුණු අප්‍රිකාව වගේ වේගපන්දු යවන්නන්ට වැඩි වාසිගෙන දෙන තණතීරු තිබෙන රටකට තරමක් පන්දුව වේගයෙන් යවන්න පුළුවන්, උස තිබෙන වගේම පන්දුව දඟ කවන්න පුළුවන් ක්‍රීඩකයෙකුට වැඩි වාසියක් ගන්න පුළුවන්. ඒ නිසාවෙන් තමයි අපි මේ තරග සංචාරය සඳහා ඇඹුල්දෙනිය තෝරාගත්තේ.”

දක්ෂ දකුණත් මුල් පෙළ පිතිකරුවෙක් වන සධීර සමරවික්‍රම (ටෙස්ට් තරගාවලි දෙක තුලම අවස්ථාවක් නොලැබුණු) හා මැදපෙළ පිතිකරුවෙක් වන රොෂේන් සිල්වා මෙවර සංචිතය තුල සිය ස්ථානයන් අහිමි වූ අනෙකුත් පිතිකරුවන් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ මෙවැන්නක්.

“සධීර කියන්නේ ඉතාමත් හොඳ පිතිකරුවෙක් අපි ඔහුට ලබා දුන්නේ පුහුණු තරගය විතරයි. මොකද දැන් ඉන්න අපේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ලහිරු තිරිමාන්න මේ සංචාරයේ දීත් ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනවා. මොකද ඔහුට ගොඩක් අත්දැකීම් තිබෙනවා  ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල. ඒක නිසා තමයි අපි සධීරව කණ්ඩායමෙන් ඉවත් කරන්න තීරණය කළේ. රොෂේන් පිළිබඳව කතා කළොත් ඔහු නිමා වූ ටෙස්ට් ඉනිම 4 තුලම ලබාගත්තේ ලකුණු 51ක් පමණයි.”

වයස අවුරුදු 32ක් වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන කෞෂාල් සිල්වා නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පසුව පළමු වතාවට කෞෂාල්ව ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ ඔහු සතුව තිබෙන අත්දැකීම් නිසාවෙනි. මේ වන විට ක්‍රියාත්මක වන දේශීය අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල තරග 8කට සහභාගී වෙමින් ලකුණු 950ක් ලබාගෙන ඇත්තේ 80කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. ඒ අතර සටහන්ව තිබෙන වැඩිම ලකුණ වන්නේ යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කර ගත් ලකුණු 273යි.

“අපි සිල්වාව කණ්ඩායමට ගෙනාවේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනා අතරට අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක්ව ඕන නිසයි. ඔහුට පිතිකරණ ලැයිස්තුවේ ඕනෙම තැනක පිතිකරණයේ නිරත වෙන්න පුළුවන්. ඒ වගේම කඩුල්ලේ ඉඳලා ලකුණු රැස්කරන්නත් පුළුවන්. අපි දැක්කා තිරිමාන්න කොහොමද ඔහුගේ තිබෙන අත්දැකීම් යොදාගෙන පන්දුවට පහර දුන්නේ කියලා.” යැයි අසන්ත ද මෙල් මහතා සිය අදහස් පැවසීය.

ශදාබ් කාන්ගෙන් පාකිස්තානයට ජයග්‍රාහී අවසානයක්!

පාකිස්තානු කණ්ඩායම ඊයේ (07) සහභාගි වූයේ තම දකුණු අප්‍රිකානු…

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පැවති තරගයක දී SSC කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේ දී ම ද්විත්ව ශතක දෙකක් ලබා ගත් NCC කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා හා අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලියේ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙක් වන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ඕෂද ප්‍රනාන්දු (තරග 9, ලකුණු 1181, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 73.81) එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පිතිකරුවන් අතර සිටී.

“අපේ කණ්ඩායම අවාසනාවන්ත ලෙස තරග පරාජයට පත්වෙද්දී දේශීය ක්‍රිකට් තරග රටාව තුල දස්කම් දක්වන නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනානොගත් ක්‍රීඩකයින්ව සංචිතයට ගෙන්වන්න වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව හා අපේ දේශීය ක්‍රිකට් තරග රටාව සලකා බැලුවම දෙක අතර තියෙන පරතරය ගොඩාක් වැඩියි. නමුත් ඒ අපට තියෙන තරග රටාව තුල දස්කම් දක්වන ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ අවස්ථාව දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට ජාතික කණ්ඩායම  දක්වන්න වෙන තැන් තියෙනවා ද? අපි අපේ තේරීම් කරද්දී දේශීය ක්‍රිකට් තරග රටාව තුල දස්කම් දක්වන ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න බලනවා.” යැයි ද මෙල් මහතා පැවැසුවේය.

දකුණතින් පිතිකරණයේ නිරත වන මැදපෙළ පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා මේ දින වල පිතිකරණයෙන් ලකුණු අතර නොසිටියත් ඔහුව තෝරාගැනීමට තිබෙන පදනම ගැන විමසූ විට ඔහු (අසන්ත ද මෙල් මහතා) පැවසුවේ මෙවැන්නකි.

“ධනංජය වුනත් ආසියාවෙන් පිට තණතීරුවල දී සාර්ථක වන අවස්ථාවන් අඩුයි. නමුත් ඔහුට තරමක් පීඩනයක් ගෙන දෙන ආකාරයට පන්දු යවන්නට පුළුවන් නිසා අපි ඔහුට තවත් අවස්ථාවක් දෙන්න තීරණය කළා.  ඒ වගේම අතිරේක දඟපන්දු යවන්නෙක් වන මිලින්ද සිරිවර්ධන වගේ ක්‍රීඩකයෙකුත් කණ්ඩායමේ ඉන්න එක කණ්ඩායමටත් විශාල සවියක්.”

නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර ආබාධවලට ලක්වූ සුරංග ලක්මාල් මේ වන විට ඉන් සම්පූර්ණ සුවය ලබා සිටින අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින යොවුන් වේගපන්දු යවන්නන් (රාජිත, විශ්ව හා චාමික) අතරට කොළඹ BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන වයස අවුරුදු 23ක් වන මොහොමඩ් ශිරාස්ව තෝරා පත් කරගෙන තිබේ. ඔහු ද තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එකඳු ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැත.

ඔහු (ශිරාස්) ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර පැවති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක තුල කඩුලු 7ක් දවා ගත් අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 7කට සහභාගී වී කඩුලු 23ක් දවා ගැනීමට ශිරාස් සමත් වී තිබේ.

“අපේ නිත්‍ය වේගපන්දු යවන්නන් කිහිප දෙනෙක්ම ආබාධවලට ලක්වෙලා ඉන්න නිසා තමයි අපි තීරණය කළේ ශිරාස්ව දකුණු අප්‍රිකාවට යවන්න. ඔහුට හොඳින් පන්දුව දෝලනය කරන්න පුළුවන් වගේම පැයට කිලෝමීටර 130ත් 135ත් අතර වේගයකින් ඔහුට පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. ඒ වගේම අසිත ප්‍රනාන්දු කියන ක්‍රීඩකයාටත් මේ වගේම ඉතාමත් හොඳින් පන්දු යවන්න පුළුවන් වුනත් මේ දිනවල ඔහුගේ ශාරීරික මට්ටම ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට උචිත මට්ටමක නොපවතින නිසා අපි ඔහුව මේ සංචාරයට තෝරා ගත්තේ නැහැ. දැනටත් අපේ අංක 1 වේගපන්දු යවන්නා සුරංග ලක්මාල්, එ්ක නිසා ඔහු මේ නවක වේගපන්දු යවන්නන් සමඟින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරයි කියලා හිතනවා.  ශිරාස් ගොඩාක් වෙලාවට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් එකක් හෝ ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.” යැයි ද මෙල් මහතා අවසන් වශයෙන් පැවසීය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 13 වැනිදා පෝර්ට් එලිසබත් හිදී පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම උණුසුම් පුවත්, තරග තොරතුරු, සේයා රූ, විශේෂ වීඩියෝ හා ලකුණු සටහන් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<