ආසියානු සටනේ සිංහ බල ඇණිය

Asian Cup 2023

639

14 වැනි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ දී මීට පෙර මෙම තරගාවලිය සඳහා සහභාගී නොවූ ක්‍රීඩකයන් 11 දෙනෙක් ද කැඳවා තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම දසුන් ශානකට හිමි වී ඇති අතර ඔහු ආසියානු කුසලාන තරග මාලාවේ 8 වැනි ශ්‍රී ලාංකීය නායකයා ලෙසයි සැලකෙන්නේ.

ආසියානු කුසලාන පිටියේ ශ්‍රී ලංකා නායකත්වයන් සහ තරග තොරතුරු

Year Captain’s Mat Won Lost Tied NR Place
1 1984 දුලිප් මෙන්ඩිස් 2 1 1 0 0 අනු ශූරතාව
2 1986 දුලිප් මෙන්ඩිස් 2 1 1 0 0 ශූරතාව
3 1988 අර්ජුන රණතුංග 4 3 1 0 0 අනු ශූරතාව
4 1990/91 අර්ජුන රණතුංග 3 2 1 0 0 අනු ශූරතාව
5 1995 අර්ජුන රණතුංග 4 2 2 0 0 අනු ශූරතාව
6 1997 අර්ජුන රණතුංග 4 4 0 0 0 ශූරතාව
7 2000 සනත් ජයසූරිය 4 2 2 0 0 අනු ශූරතාව
8 2004 මාවන් අතපත්තු 6 5 1 0 0 ශූරතාව
9 2008 මහේල ජයවර්ධන 6 5 1 0 0 ශූරතාව
10 2010 කුමාර් සංගක්කාර 4 3 1 0 0 අනු ශූරතාව
11 2012 මහේල ජයවර්ධන 3 0 3 0 0 පළමු වටය
12 2014 ඇන්ජලෝ මැතිව්ස් 5 5 0 0 0 ශූරතාව
13 2018 ඇන්ජලෝ මැතිව්ස් 2 0 2 0 0 පළමු වටය

මෙවර තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක)

ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ වෙද්දී ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියට පමණයි. එම වසරේ ද ඔහු ක්‍රීඩා කරන්නේ තරග 2කට පමණක් වන අතර එහි දී ඔහුට ලබා ගත හැකි වෙන්නේ ලකුණු 7ක් පමණයි. එම තරග දෙකක දී පන්දුවාර 3ක් පමණක් යවන ඔහුට කඩුලු දවා ගැනීමට ද හැකි වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් දසුන් ශානක මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 61කට ක්‍රීඩා කරමින් ඉනිම් 53ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1150ක් ලබා සිටිනවා. ඔහුගේ එක්දින හොඳම ඉනිම බවට පත් වෙන්නේ ඉන්දියාවට එරෙහිව පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් නොදැවී ලබා ගත් ලකුණු 108යි. පන්දු යවන්නෙක් ලෙසින් දසුන් කඩුලු 23ක් ලබා තිබෙනවා.

නායකයෙක් ලෙසින් තරග 33ක දී ශ්‍රී ලංකා කබාය පැලඳ ඇති දසුන් ඉන් තරග 19ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් ව සිටින අතර තරග 13ක් පරාජය වී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා.

පැතුම් නිස්සංක

25 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආසියානු කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන පළමු අවස්ථාව මෙයයි.

මේ දක්වා එක්දින තරග පිටියේ තරග 34කට සහභාගී වී ඇති පැතුම් ශතක 3ක් සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 1264ක් ලබා සිටිනවා. ඊට අවසන් වරට සහභාගී තරග ත්‍රිත්වයේ දී ශතක 2ක් සමඟින් ලකුණු 228ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ඔහු සමත් වෙනවා.

දිමුත් කරුණාරත්න

එක්දින ජාත්‍යන්තර පිටියේ තරග 44ක දී ශතකයක් සමඟින් ලකුණු 1248ක් ලබා ඇති දිමුත් කරුණාරත්න ද ආසියානු කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන්නේ පළමු වතාවටයි.

වසර 2කට පසුව 2023 වසරේ දී එක්දින තරග පිටියට පිවිසි දිමුත් එතැන් සිට තරග 10කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 481ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 60.125ක් වැනි ඉහළ තත්ත්වයක පවත්වා ගෙන යෑමට ඔහු සමත් වූවා.

කුසල් පෙරේරා

2014 සහ 2018 වසර ද්විත්වයේ ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කළ කුසල් පෙරේරා වරින් වර ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා 2021 වසරේ සිට එක් වී නැහැ.

නිමා කළ ආසියානු කුසලාන තරගාවලියන් හී තරග 7කට ක්‍රීඩා කළ ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 181ක් ලබා ගන්නවා. ඔහුගේ එක්දින තරග ඉතිහාසය සමන්විත වන්නේ තරග 107ක ඉනිම් 102ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3071ක්.

කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය ද හිමි කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ කඩුලු රකින්නාගේ භූමිකාව ද නියෝජනය කළ හැකි යැයි අනුමාන කළ හැකි. 2018 වසරේ ද ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කළ මෙන්ඩිස් එහි දී තරග 2කට සහභාගී වෙමින් කිසිදු ලකුණක් ලබා නොගෙන තරගාවලිය අවසන් කරනවා.

එසේ වූවත් ඔහුගේ එක්දින තරග ඉතිහාසය තරග 106ක ඉනිම් 103ක ලකුණු 2945කින් සමන්විතයි. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 22ක් ද ඇතුළත් වෙනවා.

චරිත් අසලංක

ආසියානු කුසලානයට සහභාගී වෙන තවත් කෝඩුකාරයෙක් ලෙසින් 26 හැවිරිදි වියේ පසුවන වමත් ප්‍රහාරාත්මක පිතිකරු චරිත් අසලංක හැඳින්විය හැකි.

ඔහු මේ දක්වා එක්දින තරග 35කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1093ක් ලබා සිටිනවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් එක්දින ඉනිම් 5 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 187ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 46.75ක් ලෙසයි.

ධනංජය ද සිල්වා

ශ්‍රී ලංකා එක්දින තරග පිටියේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙන ධනංජය ද සිල්වා මේ දක්වා එක්දින තරග 76කට සහභාගී වෙමින් අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1653ක් ලබා ගනිමින් මෙම කණ්ඩායම සමඟින් එකතු වෙනවා.

ඔහු 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියට එක් වූ වෙමින් තරග දෙකක දී ලකුණු 23ක් ලබා ගන්නවා.

සධීර සමරවික්‍රම 

කඩුලු රකින ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් සධීර සමරවික්‍රම ද ආසියානු කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ පළමු අවස්ථාවටයි. මේ දක්වා එක්දින තරග පිටියේ තරග 17කට සහභාගී වී ඇති සධීර අර්ධ ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 400ක්.

මහීෂ් තීක්ෂණ

23 හැවිරිදි වියේ පසුවන දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංගගේ හිඩැස පුරවනු ලබන ප්‍රමුඛ ක්‍රීඩකයා ලෙසින් කාගේත් විශ්වාසයයි.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 22කට ක්‍රීඩා කර ඇති මහීෂ් තීක්ෂණ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 36ක් වන අතර ඔහු ද ආසියානු කුසලානයට එක් වෙන්නේ කෝඩුකාරයෙක් ලෙසිනුයි.

දුනිත් වෙල්ලාලගේ

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණ 20 හැවිරිදි වියේ පසුවන දුනිල් වෙල්ලාලගේ පන්දු යවන්නෙක්ට අමතරව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ආසියානු කුසලානයට එක් වෙන කෝඩුකාර ක්‍රීඩකයෙක්.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 9කට සහභාගී වී ඇති වෙල්ලාලගේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9ක් වන අතර පිතිකරුවෙක් ලෙසින් ලබා ගත් ලකුණු 109ක් ඊට එක් වෙනවා.

මතීෂ පතිරණ

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 4කට පමණක් සහභාගී වෙමින් කඩුලු 4ක් පමණක් දවාගෙන සිටින 20 හැවිරිදි වියේ පසුවන දකුණතින් වේගපන්දු යවන මතීෂ පතිරණ මෑත කාලීන ජාත්‍යන්තර පිටියේ වඩාත් කතාබහට ලක් වූ යොවුන් ක්‍රීඩකයා ලෙසින් හැඳින්විය හැකි.

ඔහු ද ආසියානු කුසලාන තරගාවලියක් වෙනුවෙන් සහභාගී වෙන්නේ පළමු වරටයි.

කසුන් රාජිත

30 හැවිරිදි වියේ පසුවන දකුණතින් මද වේගපන්දු යවන කසුන් රාජිත ද ආසියානු කුසලාන තරගාවලියක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි. මේ දක්වා ඔහු එක්දින තරග 24කට ක්‍රීඩා කරමින් කඩුලු 31ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.

දුශාන් හේමන්ත

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති පා දඟපන්දු යවන 29 හැවිරිදි දුශාන් හේමන්ත ද මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් නම් කරනු ලැබූ ආධුනිකයෙක්.

බිනුර ප්‍රනාන්දු

28 හැවිරිදි වියේ පසුවන වමතින් මද වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු ද ආසියානු කුසලාන කෝඩුකාරයන්ගේ ලැයිස්තුවේ සිටින්නෙක්. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 4කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 2ක් ලබා සිටි.

ප්‍රමෝද් මධුශාන්

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් එක්දින තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රමෝද් මධුශාන් ද ආසියානු කුසලානය හා එක් වෙන්නේ පළමු වතාවටයි.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<