සාරංගි ලෝක ශූරතා වරම ප්‍රතික්ෂේප කරයි!

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2022

493

ජූලි 15 වැනිදා සිට ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා කාන්තා දුර පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගැනීමට සාරංගි ද සිල්වා සමත්ව තියෙනවා.

මීට පෙර ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව සාරංගිට ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීම කෙටි ලකුණු සංඛ්‍යාවකින් අහිමි වූවත්, පසුව සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩිකාවන් 32 අතරට පැමිණීමට ඇයට හැකිව තිබුණා.

ඒ අනුව තිරස් පැනීම් ඉසව්වකින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට සාරංගිට හැකි වූවත් එම තරගාවලියට සහභාගී නොවීමට ඇය තීරණය කර තියෙනවා.

ඒ ජූලි අග දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමට ඇය තීරණය ඇති නිසාවෙනුයි.

සාරංගි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් ජයග්‍රහණය කළ හැකි සීමාවේ සිටින ක්‍රීඩිකාවක් වන අතර ඇය ඒ නිසාවෙන් තරගාවලියට විශේෂ පුහුණුවක් ලබා ගැනීමට මෙම සති අන්තයේ දී තුර්කිය බලා පිටත්ව යෑමට සූදානමින් සිටිනවා.

පෞද්ගලික පුහුණුකරුවෙකු යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් විශේෂ පුහුණුවකට සහභාගී වීමට ඇය සූදානමින් පසු වෙන බව වාර්තා වනවා.

මලල ක්‍රීඩකයෙකුගේ ප්‍රධාන සිහිනයක් වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු එම අවස්ථාව ප්‍රතික්ෂේප කරමින්, මෙරටට පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ගෙන ඒම අරමුණු කරමින් ගත් මෙම තීරණය ඉතා බැරෑරුම් මෙන්ම විශිෂ්ට තීරණයක් ලෙස හැඳින්විය හැක.

ලක් මාතාවට කලකට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනා දීමට සාරංගිට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ Facebook ගිණුමේ පල වූ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<