විනෝද්, රුමේෂිකා හොඳම කාලය වාර්තා කරයි!

136
Vinod and Rumeshika achieved their best at trials report

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය මේ මස 1 වැනිදා සහ 2 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවති අතර, එහි දී ධාවන ශූර විනෝද් සංජය සහ රුමේෂිකා රත්නායක සිය පෞද්ගලික හොඳම කාලයන් වාර්තා කිරීමට සමත් විය.

විනෝද් සංජය සහ රුමේෂිකා සිය හොඳම කාලයන් වාර්තා කළේ මීටර් 200 ඉසව්වෙනි.

ආසියානු ශූරතාවලිය නියෝජනයට ලංකාවෙන් 20ක්

දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් විනෝද් සංජය පසුගිය සිකුරාදා (02) දියගම ක්‍රීඩාංගණයේ දී මීටර් 200 ඉසව්ව තත්පර 20.86කින් නිමා කරමින් සිය හොඳම කාලය වාර්තා කරන්නට සමත් විය. එම දක්ෂතාවය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තත්පර 21.14ක් වන පරිසාධන මට්ටම ඉක්මවා යෑමකි.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලියේ දී විනෝද් සංජය පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති සමන් කුමාර මහතා පවසා සිටියේය.

“මෙම ‍තරගාවලියට හිමාෂ ඒෂාන් තරග කළේ නැහැ. ඒ කෙසේ වෙතත් ඒ සඳහා සහභාගී වූ විනෝද් සංජය මීටර් 100 තත්පර 10.30කින් සහ මීටර් 200 තත්පර 20.86කින් නිමා කරමින් විශේෂ දස්කම් දැක්වුවා. ඉතිං අපි ආසියානු ශූරතාවයේ දී මෙම ක්‍රීඩකයාගෙන් දස්කම් බලාපොරොත්තු වෙනවා.

විනෝද් සංජය දියගම පැවති තේරීම් තරගාවලියේ පළමු දිනයේ දී ද මීටර් 100 ඉසව්ව තත්පර 10.30කින් නිමා කිරීමට ද සමත් විය.

මීට අමතරව දකුණු ආසියාවේ වේගවත්ම කෙටිදුර ධාවන ශූරීය වන රුමේෂිකා රත්නායක මෙම තේරීම් තරගාවලියේ දී සිය ක්‍රීඩා ජීවිතයේ පළමු වරට මීටර් 200 ඉසව්ව තත්පර 23.85කින් නිමා කිරීමට සමත් වූ අතර මෙම තේරීම් තරගාවලියේ දී මීටර් 100 ධාවන ඉසව්වෙන් ද ඇය සතුව තිබූ පෞද්ගලික හොඳම කාලය සම කිරීමට ද ඇයට හැකි විය. එය තත්පර 11.60 කාලයකි.

එසේ නිමා වූ තේරීම් තරගාවලියේ දී සහය දිවීමේ කණ්ඩායම් 2ක් සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලියට සහභාගී කරවන බව සමන් කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට

Asian Athletics Championship 2017 trials highlights