ඉන්දීය කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ ජය හිමිවීමෙන් අනතුරුව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

එහි දී සුපිරි ආරම්භයක් ලබාගත් ඉන්දියානු කණ්ඩායම අති විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද මාලින්ද පුෂ්පකුමාර ඇතුළු දඟපන්දු යවන්නන්ගෙන් සැලකිය යුතු තරමේ දක්ෂතා ප්‍රකට වීම නිසා යම්කිසි පාලනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය.

චමීර, ගමගේ 3 වන ටෙස්ට් තරගයට

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ 3 වන හා අවසාන ටෙස්ට් තරගය හෙට (12) පල්ලෙකැලේ

සෑම තරගයක දී ම පාහේ ශ්‍රී ලංකා පිළට වින කටින ආබාධ තත්ත්වයන් නිසා අද තරගය රංගන හේරත්ට සහ නුවන් ප්‍රදීප්ට අහිමි වී ගොස් තිබුණි. ඒ වෙනුවට කණ්ඩායමට එක්කොට තිබුණේ චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් සහ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරයි. ඉන්දීය කණ්ඩායම ද ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව තම යොවුන් චයිනමන් පන්දු යවන්නා වන කුල්දීප් යාදෙව්ට අවස්ථාවක් ලබා දීමට තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව ප්‍රතිවාදී කණ්ඩායම් දෙකටම මෙවර චයිනමන් පන්දු යවන්නෙකු බැගින් ඇතුළත් වී තිබේ.

අද දිනයේ ශ්‍රී ලංකා පිළට අත්දැකීම් සහිත වේගපන්දු යවන්නෙකු අන්තර්ගත නොවීම නිසා නායක දිනේෂ් චන්දිමාල්ට නව පන්දුව භාර කිරීමට සිදු වූයේ නවක ක්‍රීඩකයින් දෙපළක් වන විශ්ව ප්‍රනාන්දුට සහ ලහිරු කුමාරටයි. ඔවුන් දෙදෙනා අතුරින් විශ්ව ප්‍රනාන්දු තරමක් හොඳින් පන්දුව හසුරුවා ගනිමින් වමත් පිතිකරු ශිකර් ධවාන්ව වරදකට පොළඹවාගත් නමුත් ස්ලිප් කලාපයේ පන්දු රකින්නන් එය දවා ගැනීමක් බවට පරිවර්තනය කර ගැනීමට අපොහොසත් විය. මීට අමතරව ලෝකේෂ් රාහුල් මිඩ්-ඕන් කලාපයට ඉහළින් එල්ල කළ පහරක් ලහිරු කුමාර විසින් පසුපසට දුවගොස් රැක ගැනීමට දැරූ උත්සාහය ද ව්‍යර්ථ වී යාමෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් පසුබැසීමට සිදු විය.

මේ සියල්ල මැද ආධුනික පන්දු යවන්නන්ට ප්‍රහාරයක් දියත් කළ ශිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. මෙවර ටෙස්ට් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට වැඩිම හානියක් සිදු කළ ශිකර් ධවාන් අදත් සුපුරුදු පරිදි ශතකයකින් තම කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දමන්නට ආධාර විය. එක්දින ඉනිමක් අයුරින් පන්දු 123ක් තුල දී ලකුණු 119ක් රැස්කළ ඔහු ඒ අතරතුර දී හතරේ පහර 17ක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වීය. ඔහුට අනගි සහයක් ලබා දුන් ලෝකේෂ් රාහුල් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 88යි.

කෙසේ හෝ අවසානයේ මෙම ප්‍රහාරකයින් දෙදෙනාගේම ඉරණම තීන්දු කිරීමට වමතින් පිටදඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරට අවස්ථාව උදා විය. එහි දී ශතකලාභී ධවාන්ව දවා ගැනීම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් ගුවනේ පියඹා ගොස් රැකගත් අතිවිශිෂ්ට උඩපන්දුව නායකයාගේ කාර්‍යභාරය නොපිරිහෙළා ඉටු කෙරුණු අවස්ථාවක් බවට පත්විය. අද දිනය ඉන්දීය අංක 3 පිතිකරු චෙටෙස්වර් පුජාරාට වාසනාවන්ත දිනයක් නොවූ අතර ලකුණු 8ක් ලබා සිටිය දී ම දැවී යන්නට ඔහුට සිදු විය. ඒ ස්ලිප් කලාපයේ සිට ඇන්ජෙලෝ මැතිව්ස් රැකගත් පහසු උඩපන්දුවක් සමඟයි.

ඉන් අනතුරුව මලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් ලකුණු 17ක් ලබා සිටි අජින්ක්‍යා රහානේගේ කඩුල්ල බිඳ දැමුවේ ඉන්දියානු මැදපෙළට සිතන්නට යමක් ඉතිරි කර දෙමිනි. එහි දී පුෂ්පකුමාර යැවූ පන්දුව දඟ කැවීමකින් තොරවම පහතින් කඩුල්ල කරා ඇදී ගියේ ඔහුව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමිනි. තම මංගල තරගයේ දී එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වුවද මේ වන විට ඔහුගේ පන්දුකරණය දෙස බැලීමේ දී ඔහු ඉතාමත් වේගයෙන් ජාත්‍යන්තර තරග රටාවට හැඩ ගැසෙමින් සිටින බව පැහැදිලි වන කරුණකි. අද දිනයේ සාර්ථක වූ අනෙක් පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන් සන්ධ්‍යා කාලයේ නව පන්දුව ලැබීමට මොහොතකට පෙර නායක විරාත් කෝලිව දවා ගැනීමට සමත් විය. ඒ ඔහු ලකුණු 42ක් ලබා සිටියදීයි.

ඒ අනුව අති විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ සිහිනය අනපේක්ෂිත අයුරින් බිඳ වැටීමෙන් පසු ඉන්දියානු කණ්ඩායම මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ තම දීර්ඝ පිතිකරණ බල ඇණිය යොදා ගනිමින් ශ්‍රී ලංකා පිළට ලඟාවීමට අසීරු මට්ටමේ ඉලක්කයක් කරා යෑමටයි. අද දිනයේ ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවන් දෙදෙනා බවට පත්වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 40කට කඩුලු 3ක් බිඳ හෙලද්දී ලක්ෂාන් සඳකැන් ලකුණු 84කට කඩුලු 2ක් දවා ගත්හ. ඒ අනුව ප්‍රථම දිනය අවසානයේ ඉන්දියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 329ක් ලබා සිටියි.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන හාර්දික් පාණ්ඩ්‍යා (1*) සහ ව්‍රිදිමන් සහා (13*) යන දෙදෙනාම දක්ෂ පිතිකරුවන් වන බැවින් ඔවුන් අතරින් කෙනෙකු ඉක්මනින්ම දවාගෙන ඉන්දියානු පසුපෙළ විවර කර ගැනීම ශ්‍රී ලංකාවට හෙට උදෑසන ඇති ප්‍රධානතම අභියෝගයයි. එහි දී වේගපන්දු යවන්නන් වැඩි තර්ජනයක් එල්ල කිරීමට අපොහොසත් වුවහොත් මෙම සබඳතාවය වර්ධනය වීමට පෙරම දඟපන්දු යවන්නන්ගේ සහය ලබා ගැනීමට නායක චන්දිමාල්ට සිදු වනු ඇත. ඒ සියල්ලටම වඩා වැදගත්ම කරුණ වන්නේ හෙට දිනයේ ශ්‍රී ලංකාවට පිතිකරණ අවස්ථාව ලැබීමෙන් පසු නිකරුණේ කඩුලු පූජා කිරීමකින් තොරව ගෞරවාන්විත පිතිකරණයක නියැලීමයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට