චමීර, ගමගේ 3 වන ටෙස්ට් තරගයට

487
Sri Lanka v India 3rd test preview

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ 3 වන හා අවසාන ටෙස්ට් තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ 2014 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ලහිරු ගමගේ කැඳවා ඇත.

තෙවන ටෙස්ට් තරගයේ රංගනගේ ඉරණම?

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට කොන්දේ ආබාධයක් හේතුවෙන් සංචාරක..

ධනුෂ්ක ගුණතිලක සංචිතයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව 3 වන ටෙස්ට් තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා අඩු වූ අතර රංගන හේරත්ට ද කොන්දේ ආබාධයක් නිසා 3 වන ටෙස්ට් තරගය අහිමි වේ.

140kph අධික වේගයකින් පන්දු යැවීමට හැකියාව ඇති දුෂ්මන්ත චමීර පසුගිය කාලය තුළ නිරන්තර ආබාධවලට ලක්වූ අතර 2016 වසරේ දී පැවති එංගලන්ත සංචාරය අතරතුර කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු විය. එහි දී ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ හෙඩින්ග්ලි හිදී පැවති පළමු ටෙස්ට් තරගයට පමණි.

අනතුරුව පැවති දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඇතුළත් කෙරුණු ඔහු එහි දී ද ක්‍රීඩා කරනු ලැබුවේ පෝට් එලිසබෙත් හිදී පැවති පළමු ටෙස්ට් තරගය පමණි. එම තරගයේ දී ඔහු ඔහුගේ සුපුරුදු වේගයට වඩා 15kph පමණ අඩු වේගයකින් පන්දු යැවීමේ නිරත වූ අතර ඔහු සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම නිසා ඔහුව තරගාවලියේ ඉතිරි ටෙස්ට් තරග දෙකට ඇතුළත් කරනු ලැබුවේ නැත. එහි දී පැවති ටෙස්ට් තරග 3ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ඉන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති ටෙස්ට් තරග දෙකට ඔහුව ඇතුළත් කරනු නොලැබූ අතර පසුව පැවති සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ටෙස්ට් තරගය සඳහා නම් කළ සංචිතයට ඔහුව ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහුව ඇතුළත් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් ඔහුව සංචිතයට ඇතුළත් නොකරන්නට තේරීම් කමිටුව තීරණය කරන ලදි. කෙසේ නමුත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අතරතුර නුවන් ප්‍රදීප් පාදයේ ආබාධයකට ලක්වීම නිසා 3 වන ටෙස්ට් තරගය සඳහා නම් කළ සංචිතයට දුෂ්මන්ත චමීර ඇතුළත් කොට ඇත.

අනෙක් පසින් ලහිරු ගමගේ මේ වන විට ටෙස්ට් වරම් ලබා නොමැති අතර ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 5කට පමණි. නමුත් 2014 වසරේ දී පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර ශමින්ද එරංග ආබාධයකට ලක්වීම නිසා තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කළ සංචිතයට ඔහුව ඇතුළත් කරනු ලැබීය.

රංගන හේරත් 3 වන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකරන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය කෙසේ සකස් වෙයි දැයි තවමත් නිසැකවම ප්‍රකාශ කළ නොහැක. ශ්‍රී ලංකාව සතුව චයිනමන් පන්දු යවන්නෙක් වන ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා සහ මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් අතරින් දඟපන්දු යවන්නන් තෝරා ගැනීමේ හැකියාව පවතී.

මේ වන විටත් තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර 2003-04 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ‘වයිට්වොෂ්’ වීමෙන් අනතුරුව ප්‍රථම වරට තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී ‘වයිට්වොෂ්’ වීමේ තත්වයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තෙවන ටෙස්ට් තරගයට පිවිසෙනු ඇත.   

ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ් චන්දිමාල් (C), ඇන්ජෙලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල (wk), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට