ඉන්දියාව හමුවේ සායම දිය කර ගැනීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

287

ලෝක කුසලාන තරගාවලියක් පෙනෙන මානයක තිබිය දී, ලෝක කුසලානය පැවැතෙන ඉන්දියාවේ දී ම අවාසනාවන්ත තරග පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා.

දෙරට අතර පැවති තරග 3කින් සමන්විත තරගාවලිය පසුගියදා නිමා වූයේ 3-0ක ජයග්‍රහණයක් සත්කාරකයන්ට ලබා දෙමින්.

ශ්‍රී ලංකාව ලැබූ මෙම තරග පරාජය ලෝක එක්දින තරග ඉතිහාසයට එක් වූයේ අපේ ඉතිහාසයට ඉතා අමිහිරි මෙන් ම දුර්වල ලෝක වාර්තාවන් කිහිපයක් ම එක් කරමින්.

ඒ අතරින් දෙරට අතර පැවැති දෙවැනි තරගය නිමාවේ දී ශ්‍රී ලංකාව එක්දින තරග පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයකට මුහුණ දුන් කණ්ඩායම ලෙස ද ඉතිහාසයට එක් වුනා. එතෙක් එම අවාසනාවන්ත වාර්තාව ඉන්දීය කණ්ඩායම සතු වූ අතර එය ප්‍රමාණාත්මකව තරග 436ක්.

ශ්‍රී ලංකාව එම ලැයිස්තුව ආක්‍රමණය කළේ තරග 880කට මුහුණ දෙමින් වන අතර ඉන්දියාව එතෙක් එම වාර්තාවේ රැඳී සිටියේ තරග 1022කට මුහුණ දෙමින්. එහි තෙවැනි ස්ථානය තරග 947කට මුහුණ දෙමින් තරග 419ක් පරාජය වී සිටින පාකිස්තානය සතු වෙනවා.

කණ්ඩායමක් ලෙස ඉන්දියාව මේ ලැබූ ජයග්‍රහණය, එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලැබූ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයේ වාර්තාව ද වෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව තරග 96ක් ජයග්‍රහණය කරමින් මේ වාර්තාවට එක් වෙන්නේ තරග 165කට මුහුණ දෙමිනුයි.

ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ ඕස්ට්‍රේලියාව විසින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළ තරග 95යි. ඕස්ට්‍රේලියාව මෙම වාර්තාව තමන් සන්තක කර ගෙන සිටීමේ දී සහභාගී වී තිබුණේ තරග 141කටයි.

මේ වාර්තා සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය 3-0ක් ලෙසින් අවසන් කරන්නේ තෙවැනි තරගයේ දී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අන්ත පරාජයකට මුහුණ දුන් රට ලෙස වාර්තා පොත් අතරට ද එක් වෙමින්. ඉන්දියාව මෙම තරගයේ දී ලකුණු 317කින් ජයග්‍රහණය කරන ලද අතර එය එතෙක් ඒ සම්බන්ධයෙන් තිබූ වාර්තාව වසර 15කට පසුව බිඳ හෙළන්නක්.

එක්දින තරග ඉතිහාසයේ ඉහළ පරතරයකින් දිනූ කණ්ඩායම

Team 1 Team 2 විසඳුම වසර
1 ඉන්දියාව ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු 317ක ජයක්. 2023
2 අයර්ලන්තය නවසීලන්තය නවසීලන්තයට ලකුණු 290ක ජයක්. 2008
3 ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රේලියාවට ලකුණු 275ක ජයක්. 2015
4 දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ දකුණු අප්‍රිකාවට ලකුණු 272ක ජයක්. 2010
5 දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට ලකුණු 258ක ජයක්. 2012

එමෙන් ම වසර 48ක එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ ලකුණු 73 දැවී යෑම මෙරට ඉතිහාසයේ සිවුවැනි අසුනට වැටුණ දුර්වල ම ඉනිමයි. එතෙක් ඒ තත්ත්වයට අප ඇද වැටී සිටියේ 2012 වසරේ දී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43කට බිඳ වැටුණ ඉනිමයි. එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම ටී. එම්. ඩිල්ෂාන් සතු වුනා.

කණ්ඩායමක් ලෙසින් අපේ ක්‍රීඩකයෝ ඒ අයුරින් අසරණ වෙද්දී, ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වීමටත් මෙන් ම ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ක්‍රීඩකයන් අතරින් පෙරමුණ ගැනීමටත් Virat Kohli සමත් වුනා.

2022 වසර පුරා තම දක්ෂතා සොයමින් සිටි Virat Kohli මේ වසරේ තමන් සහභාගී වූ පළමු තරග තුනේ දී ම නැවත සුපුරුදු රිද්මයට පැමිණිමට සමත් වුනා. ඔහු පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර තරග 11කට සහභාගී වූ අතර එහි දී ලබා ගත්තේ ලකුණු 302ක් පමණයි. නමුත් මේ වසරේ මෙතෙක් නිමා වූ තරග 3 දී පමණක් ඔහු ශතක 2ක් සමඟින් ලකුණු 283ක් රැස් කර ගැනීමට සමත් තිබෙනවා.

එමෙන් ම Virat Kohli මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 50කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ඉනිම් 49ක දී පිටියට පිවිසෙමින් ලකුණු 2503ක් රැස් කරගෙන සිටිනවා. එය ඔහුගේ තරග ලැයිස්තුවේ එක් රටකට එරෙහිව ලබා සිටින ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

Virat Kohli අවසන් තරගයේ දී නොදැවී වාර්තා කරන ලද ලකුණු 166ත් සමඟින් එතෙක් එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා සිටි පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ රැඳී සිටි මහේල ජයවර්ධන පසුපසට ඇද දමමින් එම ස්ථාන දිනා ගැනීමට ද සමත් වුනා. මේ වන විට ඔහු ලබා සිටින ලකුණු ප්‍රමාණය 12754ක්.

එමෙන් ම එම නිමා වූ ඉනිමත් සමඟින් එක් රටක් තුළ ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව ද Virat Kohli සතු කර ගත්තා. එතෙක් එම වාර්තාවේ හිමිකාරිත්වය Sachin Tendulkar සතු වූ අතර Virat Kohli ශතක 21ක් ලබා ගනිමින් එම වාර්තාව අලුත් කළා.

එමෙන් ම මෙම ශතකයත් සමඟින් එක් රටකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව නැවත වතාවක් අලුත් කර ගනිමින් තමා සන්තකයේ ම තබා ගැනීමට Virat Kohli සමත් වුනා.

Virat Kohli ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද ශතක සංඛ්‍යාව 10ක්. ඊට පෙර ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශතක 9ක් වාර්තා කර තිබූ අතර මෙම දක්ෂතා 5 අතර Virat Kohli කෝලි අවස්ථා 3ක දී ම රැදී සිටිමට සමත් ව සිටිනවා.

මෙම තරගාවලියේ දී යොවුන් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දුට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වීම පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් සටහන් තැබිය හැකි වර්ණවත් ම මතක සටහන් සේ දැක්විය හැකියි. ඔහු තමන්ගේ මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

ඊට අමතර ව දසුන් ශානක ද ලකුණු අතරට පිවිසිම ද පැසසිය හැකි. එහෙත් පන්දු යවන්නෝ විසින් මේ තරගාවලිය ඉන්දියාවට බදු දීම නම් අදහා ගත නොහැකියි. ඉන්දිය පිතිකරුවෝ නිමා වූ මෙම තරග ත්‍රිත්වයේ දී ලකුණු 982ක් රැස් කර ගන්නා ලද අතර එය මේ වසර අග දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ දක්ෂතා සමඟ කෙසේ ගලපා ගත හැකි ද?

 ක්‍රිකට් පිටියෙ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<