‘පින්න’ Ashwinට ගැටලුවක් වෙයි, ලෝක කුසලාන තරග කලින් ආරම්භ කරන්නත් ඉල්ලීමක් කරයි!

ICC World Cup 2023

634

මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිවා-රාත්‍රි තරග නියමිත වෙලාවට (ප.ව. 1.30) පෙර පෙ.ව. 11.30ට ආරම්භ කළ යුතු බව Ravichandran Ashwin විසින් යෝජනා කරනවා.

ඉන්දීය වෙලාවෙන් දිවා-රාත්‍රි තරග ආරම්භ වීමට නියමිත වෙලාව ප.ව. 1.30 වුනත්, පසුගිය දා පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයට පින්නෙන් බලපෑමක් සිදු වූ බව පවසා එය උදාහරණයට ගනිමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මන්දගාමී තණතීරුවක ඉන්දියාව ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදෙමින් බලාපොරොත්තු වුනාටත් වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. නමුත් තරගය ඉතාම තියුණු මුහුණුවරකිනුයි අවසන් වුනේ.

ඔබ කාසියේ වාසිය පරාජය වුනොත් පින්න විසින් කණ්ඩායම් දෙක අතර පරතරය අවම කරවනවා. ඒ නිසා කණ්ඩායම් දෙක අතර තියෙන ගුණාත්මක වෙනස නොපෙනී යනවා. මගේ යෝජනාව නැත්නම් මගේ මතය නම් ලෝක කුසලානය වෙනුවෙන් තරග ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ සහ වෙලාවන් සලකා බලමින් ඇයි අපිට බැරි 11.30ට තරග ආරම්භ කරන්න.”

සිය YouTube නාලිකාව හරහා අදහස් දක්වමින් Ashwin මේ බව පවසා තිබුණා.

මේ යෝජනාව ක්‍රිකට් තරග රූපවාහිනිය හරහා බෙදා හරින්නන්ට ඒ තරම් ම සුබදායී එකක් නොවන බව පෙනී ගියත්, ප්‍රේක්ෂකයින් නම් තරග වේලාව කුමක් වුවත් තරග නරඹනු ඇති බවට Ashwin විශ්වාස කරනවා.

තරග බෙදා හරින්නන් කියා වී ප්‍රේක්ෂකයින් ඒ වෙලාවට තරග බලන එකක් නැහැ කියලා, නමුත් ඔවුන් ලෝක කුසලාන තරග නොබලා ඉඳීවි ද?

නිමා වුන විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුනෙත් ශ්‍රිත සෘතුවේ දී (ඕස්ට්‍රේලියාවට අදාලව). ඒක විස්සයි විස්ස වගේ වේගවත් ක්‍රීඩාවකට ගැළපෙන වටපිටාවක් වුනේ නැහැ. ඔබ කොහොමද ශ්‍රිත සෘතුවේ ක්‍රීඩා කරන්නේ. මිනිස්සු කියාවි ඕස්ට්‍රේලියාවේ දී ඒක ගැටලුවක් නෙවෙයි කියලා. නමුත් අපි ලෝක කුසලාන වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි.

ICCය හොඳින්ම දන්නවා එහි දී (ඉන්දීය ක්‍රීඩාංගණවල) පින්න ඇති වෙන බව. ඒ නිසා අපි ක්‍රීඩාව මදක් දියුණු කරවමු. අපි 11.30ට තරග ආරම්භ කළොත් පින්නෙන් තරගයට බාධාවක් නොවේ වී. සියලුම ක්‍රීඩාලෝලීන් ලෝක කුසලානයකට ප්‍රමුඛත්වය නොදී උදේ 11.30 ඉඳන් තරග නො බලා ඉඳීවි ද?

එමෙන්ම මේ පිළිබඳ තවදුරටත් සිය මතය අවධාරණය කරමින් Ashwin පවසන්නේ, වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී පැවැත්වෙන දිවා-රාත්‍රි තරගවලට බලපාන ප්‍රධානතම සාධකය ලෙස “පින්න” සලකන බවයි.

ඒ වගේම ECB (England Cricket Board) විසින් ළඟ දී අලුතින් විශ්ලේෂකයින් සඳහා ඉල්ලුම් පත් කැඳවා තිබුණා. මේ බව මම දැන ගත්තේ මම දන්න විශ්ලේෂකයින් මාර්ගයෙන්. ඉන්දියානු සම්භවයක් තියෙන බොහෝ විශ්ලේෂකයින් එක්සත් රාජධානියේ සේවය කරන නිසයි මම මේ දේ කියන්නේ.

ඔවුන් (ECB) අහන වඩාත් ම වැදගත් ප්‍රශ්නයක් තමයි සුදු පන්දුවෙන් ඉන්දියාවේ ක්‍රීඩා කරන විට පින්න මොන තරම් විශාල සාධකයක් ද?’ කියන එක.

ඔවුන් 2023 ලෝක කුසලානය වෙනුවෙන් හොඳම විශ්ලේෂණ උපකරණ රැගෙන එන්නයි බලාගෙන ඉන්නේ. ඒ වගේම ඔවුන් ඒ වෙනුවෙන් අදාළ හැමදෙයක් ම ප්‍රශ්න කරනවා. ඉතින් ඔබට දකින්න පුළුවන් ඉන්දියානු පරිසර තත්ව තුල පින්න මොන තරම් වැදගත් කාරණයක් විදිහට මුළු ක්‍රිකට් ලෝකයක් ම සලකනවා ද කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ අනූව අපේ ක්‍රීඩාව අපි වෙනස් කළ යුතුයි කියලා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<