දැන් Kohli වාර්තා හඹා යන්නේ නැහැ, වාර්තා Kohli හඹා එනවා!

India vs Sri Lanka 2023

2772

තවදුරටත් ක්‍රිකට් දිවියේ සංධිස්ථාන පසු කිරීමේ බලාපොරොත්තු තමන්ට නොමැති බව ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (16) තරගයේ දී ශතකයක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට සමත් වූ Virat kohli පවසා සිටියා.

Thiruvananthapuram හිදී ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවැත්වුණු තුන්වැනි එක්දින තරගයේ දී ලකුණු 317ක වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය ද 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන් ඒ සමඟින් සමත් වුනා.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් පාර කැපූ Virat Kohli විසින් පන්දු 110ක දී ලකුණු 166ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට අමතරව ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු 390 වෙනුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු Shubman Gillගේ ලකුණු 116 ද මනා පිටිවහලක් වුනා.

ඊට පිළිතුරු ලෙස දියත් කළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට සීමා වූ අතර එහි දී Mohommed Siraj විසින් කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර Kohli ඊයේ දිනයේ දී වැඩිම එක්දින ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය තමන්ගේ කර ගැනීමට ද සමත් වූ අතර, එහි දී ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන (ලකුණු 12,650) එම ලැයිස්තුවේ හයවැනි තැනට ඇද දමමින් Kohli විසින් මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

සිය ජාත්‍යන්තර තරග දිවියේ 74 වැනි ශතකය මෙන්ම, එක්දින තරග දිවියේ 46 වැනි ශතකය ද වාර්තා කළ Kohli ඊයේ තරගයේ මෙන්ම තරගාවලියේ ද වීරයා වීමට සමත් වුනා.

“මට තිබූ අවශ්‍යතාවයන් වල අතුරු ප්‍රතිඵලයක් තමයි මේ (සම්මානය).  මට හැකි සෑම විටම කණ්ඩායමට උදව් කිරීමයි මගේ අවශ්‍යතාවය. හැකි තරම් වෙලා පිතිකරණයේ යෙදෙමින් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක තබන්නයි මට අවශ්‍ය. මම හැම වෙලාවෙ ම ක්‍රීඩා කරන්නේ නිවැරදි දේ වෙනුවෙන්, හැකි සෑම විටම කණ්ඩායමට උදව් කිරීමේ චේතනාවෙන්.”

ඊයේ තරගයෙන් පසු සම්මාන ලබා ගනිමින් Kohli මෙසේ සිය අදහස් ප්‍රකාශ කළ අතර, පසුගිය කාලය පුරාවටම ලකුණු හිඟයකින් පෙළෙමින් සිටි Kohli තමන් පසු කළ අසීරු කාලය පිළිබඳව ද සිය අදහස් මෙසේ ප්‍රකාශ කළා.

“ලද විවේකයෙන් පසුව නැවත පැමිණීමෙන් පසු මට ගොඩක් හොඳ හැඟීමක් දැනුණා, ඒ වගේම තව දුරටත් මට ක්‍රීඩාවේ සංධිස්ථාන පසු කර යෑමේ බලාපොරොත්තු නැහැ.

මම ක්‍රීඩා කරන ආකාරය ගැන සෑහීමකට පත් වෙමින්, සැහැල්ලුවෙන් මට මේ වපසරිය ඇතුළේ ම ක්‍රීඩා කරන්නයි අවශ්‍ය. ඒ තමයි මට වඩාත් වැදගත් දෙය. අද මගේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කරමින් මෙහි ක්‍රීඩා කරන්න ලැබීම ගැන සතුටුයි.”

Kohli විසින් මේ වන විට එක්දින තරග 268ක දී ලකුණු 12,754ක් රැස් කර ඇති අතර, වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු ලාභි ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ Sachin Tendulkar (18,426), කුමාර් සංගක්කාර (14,234), Ricky Ponting (13,704) සහ සනත් ජයසූරිය (13,430) යන අය පමණයි.

එමෙන්ම Kohli විසින් මේ වන විට Sachinගේ වැඩිම එක්දින ශතක වාර්තාව වන ශතක 49ට තවත් ශතක තුනක් පමණක් පිටුපසින් ද පසුවනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<