කොළඹ හා ජ’පුර විශ්ව විද්‍යාල රග්බි පිටිය දෙවනත් කරයි

617

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ තවත් තරග දෙකක් අද (18) කොළඹ විශ්ව විද්‍යාල පිටියේ පැවැත්විය. ඒ තරගවලින් ජයවර්ධනපුර හා කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මේ තරගවල දී ජ’පුර විශ්ව විද්‍යාලය හමුවේ ලකුණු 34-10ක් ලෙස රජරට විශ්ව විද්‍යාලය පරාජයට පත්වූ අතර අනෙක් තරගයෙන් කොළඹ විශ්ව විද්‍යාලය ලකුණු 91-00ක් ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම දැවැන්ත පරාජයකට පත්කරන ලදි.

කොළඹින් උත්සාහක දිනුම් වැස්සක්; ජ’පුරට දෙවැනි ජය

අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ ලීග් කාණ්ඩයේ තවත් තරග හතරක් ඊයේ

ජ’පුර විශ්ව විද්‍යාලය හා රජරට විශ්ව විද්‍යාලය

සවස 2.45ට ආරම්භ වූ මේ තරගයේ පළමු මිනිත්තු කිහිපය තුල කණ්ඩායම් දෙක අතින් යම් යම් අඩුපාඩුකම් සිදු වූ අතර තරගයේ 7 වැනි මිනිත්තුවේ දී තරගයේ වාර්තා වූ පළමු ලකුණ රජරට විද්‍යාලයේ ලකුණු පුවරුව ඉදිරියෙන් සටහන් කර ගැනීමට ජේ. විජේවර්ධන සමත් වූයේ ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි. (ජ’පුර 00-03 රජරට)

තරගය ආරම්භයේම ජ’පුර විශ්ව විද්‍යාල කණ්ඩායම අතින් වූ අඩුපාඩුව හොඳින් සිහියේ තබාගෙන ඔවුන් නව ජවයක් සහිතව නැවතත් තරගයට අවතීර්ණ වීමේ ප්‍රතිඵලයක් ලෙස තරගයේ 10 වන මිනිත්තුවේ දී එච්. කේ. ටී. උදේශන වර්ණවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඩබ්. එස්. ඩී. සිල්වා අසමත් විය. (ජ’පුර 05 – 03 රජරට)

රජරට ක්‍රීඩකයින්ගේ ප්‍රධාන දුර්වලතාවයක් වූයේ ඔවුන්ගේ ක්‍රීඩකයින් මනා ලෙස පිටිය පුරා විහිදී නොයාමයි. ඒ දුර්වලතාව කල්තියා හඳුනා ගත් ජ’පුර කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක ගයාන් කුමාර සිය කණ්ඩායමේ ධවල රේඛාව තරණය කරමින් තවත් ලකුණු පහක් කණ්ඩායමට එකතු කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක නොවීය. (ජ’පුර 15-03 රජරට)

පළමු අර්ධය අවසානයේ: ජ’පුර විශ්ව විද්‍යාලය 15 – 03 රජරට විශ්ව විද්‍යාලය

මිනිත්තු පහක පමණ කෙටි විවේක කාලයකට අනතුරුව තරගයේ දෙවන අර්ධය ආරම්භ විය. තරගයේ ක්‍රීඩා කරන මිනිත්තුවක් පාසා රජරට ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල වූයේ ජ’පුර කණ්ඩායම ඔවුන්ට සාපේක්ෂව සැලකිය යුතු ලකුණු ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටි නිසාවෙනි. ඒ ලකුණු පරතරය තවදුරටත් වැඩිකරමින් ක්‍රියාත්මක වූ එම්. ඒ. ඩී. දර්ශන රජරට ක්‍රීඩකයින්ගේ හිදැස් අතරින් සිය කණ්ඩායමේ උත්සාහක දිනුම් කණුව වෙත ඇදීයාමේ ප්‍රතිඵලයක් ලෙස තවත් ලකුණු 5ක් ජ’පුර කණ්ඩායමට එකතු විය. ඩබ්. ආර්. එල්. ෆොන්සේකා එහි ප්‍රවර්තනය සාර්ථකව යොමු කරන ලදි. (ජ’පුර 22-03 රජරට)

“වයිපර්” ගුණරත්න යුධ හමුදාව බාර ගනියි

ශ්‍රී ලංකාවේ පරිණත රග්බි පුහුණුකරුවෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සාමාජිකයෙකු

රජරට කණ්ඩායම සිටි ප්‍රපාතය යම්තාක් මට්ටමකට අවම කර ගැනීමේ අරමුණින් තරගයේ 56 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඩී. පී. ඒ. එදිරිසිංහ වර්ණවත් හා දැකුම්කළු උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්ත අතර එහි සම්පූර්ණ වාසිය ලබා ගැනීමට ඔවුන් සමත් වූයේ ජේ. විජේවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් නිසාවෙනි. (ජ’පුර 22-10 රජරට)

තරගයේ 61 වන මිනිත්තුවේ දී පහසු උත්සාහක දිනුමක් ලබාගත් ඩබ්. පී වික්‍රමසිංහ ජ’පුර කණ්ඩායමේ පස්වැනි උත්සාහක දිනුම සිය නමට ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට සමත් විය. අනතුරුව තරගයේ 70 වැනි මිනිත්තුවේ දී ගයාන් කුමාර ලබාගත් දෙවන උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත්  ඩබ්. ආර්. එල්. ෆොන්සේකා ඔහු ලබාගත් දෙවන ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ජ’පුර 34-10 රජරට)

සම්පූර්ණ කාලය අවසානයේ: ජ’පුර විශ්ව විද්‍යාලය 34 (6T, 2C) – 10 (1T,1P,1C) රජරට විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • ජ’පුර විශ්ව විද්‍යාලය (34) – එච්. කේ. ටී. උදේශන 2T, ගයාන් කුමාර 2T, එම. ඒ. ඩී. දර්ශන 1T, ඩබ්. ආර්. එල්. ෆොන්සේකා 2C, ඩබ්. පී. වික්‍රමසිංහ 1T
  • රජරට විශ්ව විද්‍යාලය (10) – ජේ. විජේවර්ධන 1P, 1C, ඩී. පී. ඒ. එදිරිසිංහ 1T

කොළඹ විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යාලය

මෙම අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලිය සංවිධානය කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලය මේ තරගය සඳහා ඉතාමත් ජවසම්පන්න ලෙස අවතීර්ණ වූ අතර සවස 4.30ට ආරම්භ වූ මේ තරගය දිනයේ දෙවන තරගය විය.

නැගෙනහිර කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විසින් එල්ල කළ පා පහරත් සමඟ තරගය ආරම්භ වූ අතර තරගයේ 3වන මිනිත්තුවේ දී සත්කාරක කොළඹ කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජී. ඩී. නිදර්ශන උත්සාහක දිනුමක් ලබාගත් අතර පසුව තරගයේ 7 වන මිනිත්තුවේ දී යූ. කේ. ආර්. පෙරේරා පහසු උත්සාහක දිනුමක් වාර්තා කරගෙන ඔහු විසින්ම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (කොළඹ 12-00 නැගෙනහිර)

ගියවර අනුශූර මොරටු ක්‍රීඩකයෝ මෙවර ශූරතාවය වෙනුවෙන් කැපවෙති

පාසල් රග්බි පිටිය හා ක්‍රීඩා සමාජ පිටිය සේම අද වන විට විශ්ව විද්‍යාල

නැගෙනහිර කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පිටිය තුල සන්නිවේදනය දුර්වලතාවයක් ලෙස දුටු කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායමේ එම්. යූ. කන්නංගර කොළඹ කණ්ඩායම වෙනුවෙන් පිළිවෙළින් 16 වන හා 19 වන මිනිත්තුවල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගෙන නැගෙනහිර කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේ ලකුණු අතර වැඩි පරතරයක් තබා ගනිමිනි. ඒ උත්සාහක දිනුම් දෙක අතුරෙන් එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට යූ. කේ. ආර්. පෙරේරා සමත් විය. (කොළඹ 24-00 නැගෙනහිර)

තරගයේ 24 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ එම්. එම්. චම්පති සිය කණ්ඩායමේ අනික් ක්‍රීඩකයින්ගේ ද සහය ලබාගෙන සිය කණ්ඩායම ලබාගත් පස්වැනි උත්සාහක දිනුම සිය නමට ඉදිරියෙන් සටහන් කර ගන්නා ලදි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. ඩී. ඒ පෙරේරා තරගයේ 30වන මිනිත්තුවේ දී සිය නමට ඉදිරියෙන් උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නා ලදි. තරගයේ පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර එම්. යූ. කන්නංගර සිය තෙවන උත්සාහක දිනුම මේ රග්බි පිටිය මත සනිටුහන් කළේය. (කොළඹ 39 –  00 නැගෙනහිර)

පළමු අර්ධය අවසානයේ: කොළඹ විශ්ව විද්‍යාලය 39 – 00 නැගෙනහිර විශ්ව විද්‍යාලය

පළමු අර්ධයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයට කිසිදු ලකුණක් සිය ලකුණු සටහනේ තබා ගැනීමට නොහැකි විය. ඒ නිසාවෙන් ඔවුන් දෙවන අර්ධය සඳහා අවතීර්ණ වූයේ කෙසේ හෝ ලකුණක් රැස්කර ගැනීමේ අරමුණින් වුවත් තරගය නිමා වන තුරු එම ඉලක්කය වෙත යාමට ඔවුන්ට හැකි නොවීය.

දෙවන අර්ධයේ ආරම්භක මෙහොතේ පටන් කොළඹ ක්‍රීඩකයින් ඉතාමත් ජවසම්පන්න ලෙස ක්‍රීඩා කළ අතර තරගය පුරාවට රැගෙන ආ කණ්ඩායම් හැඟීම තරගයේ අවසානය දක්වා පවත්වා ගෙන ක්‍රීඩා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

තරගයේ දෙවන අර්ධයේ දී එම්. යූ. කන්නංගර, එම්. චම්පති, ඩී. ඒ. පෙරේරා, සී. පී. හෙයියන්තුඩුව, ඒ. ඒ. යූ. මදුශාන්, එන්. ඩී. එස්. හෙන්දිගේ, එම්. එම්.සංකල්ප යන ක්‍රීඩකයින් නැගෙනහිර කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම් වාර්තා කළහ. ඒ අතරින් ප්‍රවර්තන කිහිපයක් සාර්ථක කරගෙන සිය කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දීමට ඩබ්. ඩී. එස්. දිලීප හා කන්නංගරට හැකි විය.

නැගෙනහිර විශ්ව විද්‍යාලයට එරෙහිව පැවති මේ තරගයේ දී සත්කාරක කොළඹ කණ්ඩායම මේ තරගය පුරාවට උත්සාහක දිනුම් 15ක් හා ප්‍රවර්තන අවස්ථාවන් 8ක් සාර්ථක කරගෙන ලකුණු 91-00ක් ලෙස  දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූයේ ප්‍රේක්ෂකයින්ගේ දැවැන්ත ඔල්වරසන් හඬ මැදිනි.

සම්පූර්ණ කාලය අවසානයේ: කොළඹ විශ්ව විද්‍යාලය 91 (15T, 8C) – 00 නැගෙනහිර විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • කොළඹ විශ්ව විද්‍යාලය (91) – ජී. ඩී. නිදර්ශන 1T, යූ. කේ. ආර්. පෙරේරා 1T, 2C, එම්. යූ. කන්නංගර 4T, 3C, එම්. එම්. චම්පති 2T, ඩී. ඒ. පෙරේරා 1T, සී. පී. හෙයියන්තුඩුව 1T , ඒ. ඒ. යූ. මදුශාන් 2T ,  එන්. ඩී. එස්. හෙන්දිගේ 1T, එම්. එම්.සංකල්ප 2T, ඩබ්. ඩී. එස්. දිලීප 3C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<