පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය කළඑළි කළ ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය

444
Hardik Pandya

2015 පෙබරවාරි 16. සුපිරි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය උඩුයටිකුරු කළ එම දිනය අදටත් ඔහු සිහිපත් කරන්නේ අදහා ගත නොහැකි සිහිනයක් ලෙසිනි. ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්ත චරිත රැසක් එකම වේදිකාවක දී මුණ ගැසෙන වසරේ සුවිශේෂීතම විස්සයි විස්ස ලීගයෙහි කොටස්කරුවෙකු වීමේ භාග්‍ය පාන්ඩ්‍යා හිමිකර ගන්නේ එවැනි දිනයකයි. 

>> ලෝක කුසලානයේ ඉරණම ගැන සංගක්කාර කතා කරයි

තවත් ක්‍රීඩකයින් 66 දෙනෙකු සමඟ ප්‍රථම වතාවට ඉන්දීය ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කිරීමේ වාසනාව උදාකරගත් පාන්ඩ්‍යා ඒ සමඟම ඔහු එතෙක් කලක් නිහඬව දැක්වූ දක්ෂතාවන්ට නිසි වටිනාකමක් එක් කිරීමට සමත් විය. යුවරාජ් සිං, දිනේෂ් කාර්තික් වැනි ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හට ඉහළ මිලක් නියම වන විට නවක ක්‍රීඩක පාන්ඩ්‍යාගේ ගිවිසුමෙහි වටිනාකම සටහන් වූයේ ඊට සාපේක්ෂව ඉතාමත් පහළ අගයකිනි.

පළමු පෙළ දේශීය තරගාවලියන්හී එතරම් හුරු පුරුදු මුහුණක් නොවුනත් පාන්ඩ්‍යා සතු හැකියා දක්ෂතා පිළිබඳ පැහැදීමෙන් පසු වූ මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරිත්වය අවසානයේ දී ඔහුට අවස්ථාවක් ලබා දීමට තීරණය කරනු ලැබුවේ දේශීය විස්සයි විස්ස තරගාවලියක දී ඔහු දියත් කළ ප්‍රවේගකාරී ඉනිම් කිහිපයක් පිළිබඳ පුවත සැලවීමත් සමඟිනි.

හර්දික් ක්‍රීඩා කරන අයුරු හොඳින් අධ්‍යයනය කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නියෝජිත ජෝන් රයිට් මහතා එවර තරග වාරය සඳහා නව ක්‍රීඩකයින් මිල දී ගැනීමේ දී ඔහුගේ පාන්ඩ්‍යාගේ යෝජනා කළේ ඔහු සතු දක්ෂතාවන් පිළිබඳ පූර්ණ විශ්වාසය තබමිනි. 

කණ්ඩායමට ඇතුළත් වීමෙන් අනතුරුව පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය වෙනස්ම මඟකට යොමු කිරීමට හිටපු ඕස්ට්‍රේලියානු නායක රීකි පොන්ටින් හට හැකි වූ අතර පාන්ඩ්‍ය සමීපව ඇසුරු කරමින් තමන් සතු දැනුම් සම්භාරය නොමසුරුව ඔහු සමඟ බෙදා හදා ගැනීමට පොන්ටින් කටයුතු කළේය. 

පාන්ඩ්‍යාගේ අනාගතය ඉතාමත් දීප්තිමත් එකක් වනු ඇතැයි හැඟුණු නිසාවෙන් තමන් උගත් බොහෝ දේ ඔහු සමඟ හුවමාරු කරගැනීමට කල්පනා කළ බව වරක් පොන්ටින් සඳහන් කර සිටියේය.

>> රූට් නැති නිසා නායකත්වයට වෙනත් අයෙක්

ක්‍රිකට් ක්‍රීඩාවේ හිනි පෙත්තටම ගමන් කළ විශිෂ්ටතමයෙකුගේ ගුරු හරුකම් ලැබීමට තරම් තමන් වාසනාවන්තයෙකු වූයේ කෙසේ ද යන්න අදහා ගත නොහැකි බව Cricbuzz පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී පාන්ඩ්‍යා සඳහන් කර සිටියේ මේ අයුරිනි.

රිකි පොන්ටින් තමයි ක්‍රිකට් පිටියේ දී අද වෙනකන් මාව ඉතාමත් හොඳින්ම රැක බලා ගත් පුද්ගලයා. ඔහු කොච්චර මාව සමීපව ඇසුරු කරාද කියනවා නම් මට නම් තේරුණේ ඔහුගේම දරුවෙකුට වගේ මට සලකනවා කියලා. දරුවෙක් තමන්ගේ තාත්තට ගෞරව කරන කොහොමද ඒ ආකාරයටම ඔහුට මම අදත් ගරු කරනවා. ඔහු මට ක්‍රිකට් ක්‍රීඩාවේ දී අවස්ථානුකූලව සැලසුම් සකස් කරන්න ඕන ආකාරය, මනස පාලනය කරන විදිය වගේ ගොඩක් වටින දේවල් මාත් එක්ක බෙදා හදා ගත්තා. ඒ දේවල් නිසා මට ඉතාමත් ඉක්මනින් ජාත්‍යන්තර තලයේ ස්ථාවර වෙන්න පුළුවන් වුනා කියලා හිතනවා.”

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු සමඟ ඇති කරගන්නා සබඳතාවට එහා ගිය සහෝදර බැඳීමක් කිරන් පොලාඩ් හා තමන් අතර ඇති බව සඳහන් කර සිටි පාන්ඩ්‍යා, නොබියව තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීම සඳහා අවශ්‍ය පන්නරය තමන් හට ලැබුණේ පොලාඩ් ක්‍රීඩා කරනු අයුරු බලා සිටීමෙන් බව ද ප්‍රකාශ කොට සිටියේය.

>> එංගලන්තයට යන කොදෙව් ටෙස්ට් සංචිතයට නවකයින් කිහිපයක්

ඔහු තමයි මගේ කොදෙව් සහෝදරයා. අපි අතර වගේම අපේ පවුල් අතරත් ඉතාමත් සමීප බැඳීමක් තියෙනවා. මාසයකට වතාවක් අපි දුරකථන සංවාදයක් ගෙනි යන්න අමතක කරන්නේ නැහැ. ඒ වෙලාවට ගොඩක් අපි කථා කරන්නේ ඉන්දියාවෙයි කැරිබියන් දූපත්වලයි තියෙන වෙනස්කම් ගැන. ඔහු දිහා බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම මගේ ගමනට ඔහුගෙන් හම්බුණ සහයෝගය මේ ගමන එන්න මට ලොකු පන්නරයක් වුනා.”

ක්‍රිකට් ජීවිතය හැඩගස්වා ගන්න උදව් වුන එක සුවිශේෂී පුද්ගලයෙක් කියලා කෙනෙක් මට නැහැ. මම හැමවෙලාවෙම උත්සහ කරේ හොඳම ක්‍රීඩකයින්ගේ හොඳම දේවල් ඉගෙන ගන්න. ඒ හැමදෙයක්ම එකට එකතු කරලා මගේ දක්ෂතා මුවහත් කරගන්න. උදාහරණයක් විදියට විරාත් වගේ ආක්‍රමණශීලීව ප්‍රතිවාදීන් මෙල්ල කරන්න, මහී අයියා වගේ ඕනෑම පීඩනයක් යටතේ උනත් කලබල නොවී ඔළුව කෙළින් තියාගෙන තරග කරන්න වගේ ගුණාංග ගොඩක් මම ඉගෙන ගත්තා. ඔය අතරේ තමයි මට තේරුම් ගියේ මගේ ක්‍රීඩා ශෛලියට වඩාත් සමීපතම වගේම උචිතම පුද්ගලයා පොලාඩ් කියලා.”

තම සමකාලීන මිතුරා වන ජස්ප්‍රිට් බුම්‍රා කෙටිකලක් තුල අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පිළිබඳව ද හඬ අවදි කළ පාන්ඩ්‍යා පෙන්වා දුන්නේ කැපවීම සහ උනන්දුව ඇත්නම් ඕනෑම නැඟී එන ක්‍රීඩකයෙකුට විශාල පෙරළියක් සිදු කළ හැකි බවයි.

ජස්සි කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. ඔහු සන්සුන් වගේම ටිකක් හුදකලා වෙලා ඉන්න කැමති කෙනෙක්. ඔහුට කාත් එක්ක හරි කථා කරන්න අවශ්‍යයි නම් ඔහු ඒ සංවාදය ආරම්භ කරනවා. මම කොච්චර උත්සාහ කරත් මට නම් බැහැ ඔහු වගේ වෙන්න. ඔහුට හැමදෙයක් ගැනම හොඳ දැනුමක් තියෙනවා වගේම දෙයක් කතා කරන්න කලින් සෑහෙන හිතනවා. මම ජස්සි එක්ක ක්‍රීඩා කරන හැම මොහොතක්ම ඉතාම සතුටින් තමා තරග කරන්නේ. අපි දෙන්නම එකම කාලසීමාවක තමයි කරළියට ආවේ. එදා ඉඳන් අද වෙනකන් අත් කරගත්ත හැම ජයග්‍රහණයක් ගැනම අපි දෙන්නා නිහතමානීව ආඩම්බර වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<