Home Sinhala ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

387

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (27) Dharamshala හිදී නිමා වුනේ ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව ඉන්දියාව 3-0ක් ලෙස පහසුවෙන්ම තරගාවලිය ජය ගැනීමට සමත් වුනු අතර ඉන්දියාව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නොකඩවා ජය ගත් 12 වැනි තරගය මෙය වීම ද විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දෙවැනි තරගයට ක්‍රීඩා කළ කමිල් මිශාර සහ ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට ජනිත් ලියනගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ අද කණ්ඩායමට කැඳවා තිබුණා.

පළමු තරගය ලකුණු 62කින් සහ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගත් ඉන්දියාව ජයග්‍රාහී මානසිකත්වයක් ද සමඟින් අද තරගයට අවතීර්ණ වුනේ වෙනස්කම් 4ක් සිදු කරමින්. දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර පන්දුවක් හිසේ වැදුණු Ishan Kishan අද තරගයට සහභාගී වුනේ නැහැ.

ඊට අමතරව Bhuvneshwar Kumar, Jasprit Bumrah, Yuzvendra Chahal යන ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙක් මේ තරගයේ දී විවේක ගන්වා, ඒ වෙනුවට Ravi Bishnoi, Mohammed Siraj, Kuldeep Yadav සහ Avesh Khan කණ්ඩායමට එක් කර තිබුණා.

තෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – Rohit Sharma, Sanju Samson (wk), Shreyas Iyer, Deepak Hooda, Venkatesh Iyer, Ravindra Jadeja, Harshal Patel, Ravi Bishnoi, Mohammed Siraj, Kuldeep Yadav, Avesh Khan

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Danushka Gunathilaka, Janith Liyanage, Charith Asalanka, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Chamika Karunaratne, Dushmantha Chameera, Jeffrey Vandersay, Lahiru Kumara, Binura Fernando

ශ්‍රී ලංකාව වෙනුවෙන් ගුණතිලක සහ නිස්සංක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නමුත් ඔවුන් දෙදෙනාට ඊයේ (26) පැවති දෙවැනි තරගයේ දී මෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට අද හැකියාවක් ලැබුණේ නැහැ.

Siraj සහ Avesh ඔවුන්ගේ පළමු පන්දුවාර දෙක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැංවුණු පීඩනය නිසා නිස්සංක (ලකුණු 1) සහ ගුණතිලක (ලකුණු 0) දෙදෙනාම පළමු පන්දුවාර දෙක තුල දැවී ගියා.

අනතුරුව පසුගිය තරග කිහිපයේ දී මෙන් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය නැවත වරක් ඉස්මතු වුනු අතර එහි දී අසලංක සහ ලියනගේ දෙදෙනාගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු සටහන 29/4ක් ලෙස සටහන් වුනා.

මේ තරගයේ දී ශ්‍රී ලංකාව සිය Powerplay (පළමු පන්දුවාර 6) අවස්ථාව තුල කඩුලු 3ක් දැවී ලබා ගත්තේ ලකුණු 18ක් පමණයි. ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී ඉන්දියාවට එරෙහිව Powerplay අවස්ථාව තුල කණ්ඩායමක් ලබා ගත් ලකුණු ප්‍රමාණය එයයි.

කෙසේ නමුත් චන්දිමාල් සහ ශානක එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා මැදපෙළට යම් ස්ථාවරත්වයක් ලබා දුන්නා. චන්දිමාල් ලකුණු 22කට දැවී ගිය පසුව පිටියට පැමිණි චාමික සමඟ එක්වූ නායක ශානක 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක් තුල වේගවත් ලකුණු 86*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

ඉන් වැඩි බරක් සිය කර මත තබාගෙන පිතිකරණයේ නිරත වුනු ශානක සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු 38ක දී නොදැවී ලකුණු 74*ක් වාර්තා කළා.

ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනු අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාර 4 තුල ලකුණු 56ක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. චාමික නොදැවී ලකුණු 12*යි. අවසානයේ දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ලකුණු සටහන දෙස බැලූ විට ශානක හැරෙන්නට අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් පන්දු ප්‍රමාණයට වඩා ලකුණු ලබාගෙන ප්‍රහාරාත්මක වේගය 100 ඉක්මවා ක්‍රීඩා කළේ නැහැ.

පන්දු යැවීමේ දී Avesh එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟ ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් මේ තරගයේ දී නිලකුණු පන්දු 53ක් ක්‍රීඩා කර තිබුණා.

Kishan විවේක ගන්වා තිබුණු නිසා Sharma සහ Samson අද තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නමුත් නැවත වතාවක් ක්‍රියාත්මක වූ චමීර 6 වැනි වතාවටත් Sharmaගේ කඩුල්ල තමන් සතු කරගැනීමට සමත් වුනා.

පළමු කඩුල්ලේ සබඳතාවය සහ සිව්වැනි කඩුල්ලේ සබඳතාවය හැරෙන්නට අනෙක් සබඳතා සියල්ලම ලකුණු 38කට වඩා වැඩි සබඳතාවයන් බවට පත් වුනු අතර Shreyas එම සබඳතාවයන් සියල්ලේම කතානායකයා බවට පත්වුනා.

ඔහු අද තරගයේ දී පන්දු 45ක් තුල නොදැවී ලකුණු 73*ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියේ 4 පහර 9ක් සහ එක් 6 පහරක් සමඟිනුයි. තරගාවලිය පුරාවටම නොදැවී ක්‍රීඩා කළ Jadeja මේ තරගයේ දී ද නොදැවී ලකුණු 22*ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහු නිමා වූ තරගයේ දී ද නොදැවී ලකුණු 45*ක් ලබා ගත්තා.

අවසානයේ දී පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබාගෙන ඔවුන් පහසුවෙන්ම මේ තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු Shreyas (තරගාවලිය පුරාවට ලකුණු 204) මේ තරගයේ දී ද අර්ධ ශතකයක් ලබාගෙන තරගාවලිය පුරාවට නොදැවී ක්‍රීඩා කරමින් නොකඩවා අර්ධ ශතක තුනක් ලබා ගැනීම කැපී පෙනුණා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා – Shreyas Iyer

Result


Sri Lanka
146/5 (20)

India
148/4 (16.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b 1 10 0 0 10.00
Dhanushka Gunathilake b 0 1 0 0 0.00
Charith Asalanka c & b 4 6 0 0 66.67
Janith Liyanage  b 9 19 0 0 47.37
Dinesh Chandimal c & b 25 27 0 0 92.59
Dasun Shanaka not out 74 38 0 0 194.74
Chamika Karunaratne not out 12 19 0 0 63.16


Extras 21 (b 4 , lb 11 , nb 0, w 6, pen 0)
Total 146/5 (20 Overs, RR: 7.3)
Bowling O M R W Econ
Mohammed Siraj 4 0 22 1 5.50
Avesh Khan 4 1 23 2 5.75
Harshal Patel 4 0 29 2 7.25
Kuldeep Yadav 4 0 25 0 6.25
Ravi Bishnoi 4 0 32 1 8.00


Batsmen R B 4s 6s SR
Sanju Samson c & b 18 12 0 0 150.00
Rohit Sharma c & b 5 9 0 0 55.56
Shreyas Iyer not out 73 45 0 0 162.22
Deepak Hooda  b 21 16 0 0 131.25
Venkatesh Iyer  c & b 5 4 0 0 125.00
Ravindra Jadedja not out 22 15 0 0 146.67


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 148/4 (16.5 Overs, RR: 8.79)
Bowling O M R W Econ
Binura Fernando 4 0 35 0 8.75
Dushmantha Chameera 3 0 19 1 6.33
Lahiru Kumara 3.5 0 35 2 10.00
Chamika Karunaratne 3.4 0 31 1 9.12
Jeffery Vandersay 2.2 0 24 0 10.91



දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා Mohali හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<