ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

359

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දිනයේ පළමු තරගය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා කැලණිය විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර තියුණු තරගයකට පසු ලකුණු 12-13ක් ලෙස එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කැළණිය විශ්ව විද්‍යාලය සමත් වුනා.

දෙවන තරගයේ දී කොළඹ විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දැඩි ප්‍රහාරය හමුවේ ලකුණු 55-03ක් ලෙස පරාජය වන්නට සබරගමුව කණ්ඩායම සිදු වුනා.

මොරටුව හා පේරාදෙණිය ක්‍රීඩකයින් ජයග්‍රාහීව සතිය නිමා කරයි

ජ’පුරේ බලාපොරොත්තු ගෝල කණුව අවහිර කරයි

ඉතා ප්‍රබල කණ්ඩායම් දෙකක් තරග වැදුණු මේ තරග ඉතා උණුසුම් වුනා. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම පන්දුව හැසිරවීමේ දී අතපසුවීම් රාශියක් සිදු කළේ ලකුණු රැස්කර ගැනීමට තිබුණු අවස්ථා රාශියක් අපතේ යවමිනි.

තරගය ආරම්භයත් සමඟ හතර වැනි මිනිත්තුවේ දී කැළණි කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එස්. කේ මාතොටආරච්චි එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ කැළණි කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (ජ’පුර 00-03 කැළණි)

ඊට මිනිත්තු හතරකට පසුව සිය පළමු ලකුණු රැස් කිරීමේ අවස්ථාව ජ’පුර කණ්ඩායමට අවස්ථාව හිමි වූ නමුත් හිමිවුන දඬුවම් පහර සාර්ථක කර ගැනීමට පහලගම සමත් වූයේ නැත.

අනතුරුව ජයවර්ධනපුර ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර කිහිප වතාවක්ම ඔවුන් සිය උත්සාහක දිනුම් රේඛාවට ළඟා වීමට සමත් වුවත් උත්සහවන්ත කැළණි ක්‍රීඩකයින් ධවල රේඛාව ඉක්මවා යාමට ජ’පුර ක්‍රීඩකයින්ට ඉඩකඩ ලබා දුන්නේ නැත.

අනතුරුව 23 වන මිනිත්තුවේ දී කැළණි ක්‍රීඩකයින්ට ද දඬුවම් පහරක් මගහැරී ගිය අතර ඊට මිනිත්තු කිහිපයකට පසු ඉතා ආසන්න අවස්ථාවක් ඔවුන්ට මගහැරුණේ සී. එස් නදීශාන්ගේ අතින් උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ පන්දුව ගිලිහී යෑම නිසයි.

30 වන මිනිත්තුවට ආසන්නයේ ජ’පුර අර්ධයේ හිමි වූ ‘Scrum’ අවස්ථාවකින් මනා ප්‍රයෝජන ගත් කැළණි ක්‍රීඩකයෝ මනා ලෙස පන්දුව හුවමාරු කර ගනිමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේ 10ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමමිනි. එනමුත් ඔවුන්ට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ජ’පුර 00-10 කැළණි)

34 වන මිනිත්තුවේ දී කැළණි ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමි වූ අතර එහි වාසිය මැනවින් ලබාගත් ජයවර්ධනපුර ක්‍රීඩකයෝ පන්දුවත් සමඟ දැඩි ආක්‍රමණයක් දියත් කළේ පළමු අර්ධයේ නිමාවට පෙර ලකුණු රැස්කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ක්‍රීඩකයෙකු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඔහු පන්දුව රැගෙන යමින් සිටිය දී කැළණි ක්‍රීඩකයෙකු භයානක බාධා කිරීමක් කිරීම හේතුවෙන් විනිසුරු ජ’පුර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට තීරණය කළේය.

පළමු අර්ධය: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 07-10 කැලණිය විශ්ව විද්‍යාලය

සිය ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් ලැබීම නිසා ක්‍රීඩකයින් දෙදෙනෙකු රහිතව කැළණි කණ්ඩායම දෙවන අර්ධය ආරම්භ කළ අතර එහි වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් ජයවර්ධනපුර ක්‍රීඩකයෝ මිනිත්තු කිහිපයක් ගතවත්ම සිය දෙවන උත්සාහක දිනුම රැස්කර ගත්තේ එච්. එන් ගුණතිලකගේ සුරතිනි. එහි ප්‍රවර්තනය අවාසනාවන්ත ලෙස ගෝල කණුවේ වැදී ඉවත ගිය අතර එම අවාසනාව තරගයේ අවසාන තීරණයට බලපාවී යැයි ජ’පුර ක්‍රීඩකයින් කිසිම මොහොතක නොසිතන්නට ඇත. (ජ’පුර 12-10 කැළණි)

අනතුරුව කැළණි කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර මාතොටආරච්චි මෙවරත් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

ගියවර අනුශූර මොරටු ක්‍රීඩකයෝ මෙවර ශූරතාවය වෙනුවෙන් කැපවෙති

පාසල් රග්බි පිටිය හා ක්‍රීඩා සමාජ පිටිය සේම අද වන විට විශ්ව විද්‍යාල පිටිය ද ජාත්‍යන්තරය ජය ගන්නට ක්‍රීඩකයන් නිපදවීම අරඹා ඇති අතර ThePapare.com…..

ඉන් අනතුරුව කැළණි අර්ධයේ උත්සාහක දිනුම් සීමාවට ආසන්නයේ පතිත වූ පන්දුව කැළණි ක්‍රීඩකයෙකු විසින් නැවත පා පහරක් ලබා දී සීමාව ආරක්ෂා කිරීමට ගත් උත්සහයක් ජ’පුර ක්‍රීඩකයින් වැළැක්වූ අතර පන්දුව ලබාගෙන ජයවර්ධනපුර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් පන්දුව පිටියෙන් ඉවත යෑම නිසා විනිසුරු ඔවුන්ට එම උත්සාහක දිනුම ලබා දුන්නේ නැත.

අවසාන මිනිත්තු කිහිපයේ කැළණි ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ජ’පුර ක්‍රීඩකයෝ ද විශිෂ්ට ලෙස ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක් දියත් කළේ කැළණි ක්‍රීඩකයින් කෙසේ හෝ නවතාලමිනි.

දිනේන්ද්‍ර ධනපාල විශිෂ්ට බාධා කිරීමකින් නිසැක කැළණි උත්සාහක දිනුමක් වැළැක්වූ නමුත් තරග අවසානයට මිනිත්තු හතක් ඉතිරිව තිබිය දී කැළණි කණ්ඩායම තමන්ට හිමිවුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ එක් ලකුණකින් ජ’පුර බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි. (ජ’පුර 12-13 කැළණි)

අවසාන ලකුණු තත්වය: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 12 (1PT, 1T)-13 (1T, 2P ) කැළණිය විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය – එච්. එන් ගුණතිලක (1T)
  • කැලණිය විශ්ව විද්‍යාලය – මාතොටආරච්චි (2P), ලියනසූරිය (1T)

කොළඹින් සබරගමුවට උත්සාහක දිනුම් වැස්සක්

දිනයේ දෙවන තරගයට කොළඹ විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය එක්වූ අතර උත්සාහක දිනුම් වරුසාවකින් සබරගමුව ක්‍රීඩකයින් නැහැවූ කොළඹ ක්‍රීඩකයින් ලකුණු 55-03ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ 2 වන මිනිත්තුවේ දී ම සිය පසුපෙළ උපයෝගී ක රගනිමින් කොළඹ ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කළේ මයුර රත්නසූරියගේ සුරතිනි. ආර්. පෙරේරා එහි ප්‍රවර්තනය දක්ෂ ලෙස ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (කොළඹ 07-00 සබරගමුව)

අනතුරුව 7 වැනි මිනිත්තුවේ දී හා 14 වැනි මිනිත්තුවේ දී කොළඹ ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේ හුළුගල්ල හා පෙරේරාගේ උත්සාහයෙනි. එහි ප්‍රවර්තන නම් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (කොළඹ 17-00 සබරගමුව)

20 වන මිනිත්තුව ආසන්නයේ සබරගමුව ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමි වූ අතර එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් මෙන්ඩිස් කොළඹ කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් රැස් කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (කොළඹ 22-00 සබරගමුව)

අනතුරුව 37 වන මිනිත්තුවේ දී ඒ. යූ මදුශාන් කොළඹ වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එස්. දිලීප විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (කොළඹ 29-00 සබරගමුව)

පළමු අර්ධය: කොළඹ විශ්ව විද්‍යාලය 29 – 00 සබරගමුව

දෙවන අර්ධයේ ද පළමු අර්ධයේ මෙන්ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ කොළඹ ක්‍රීඩකයෝ 44 වන මිනිත්තුවේ දී දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ මදුශාන්ගේ සුරතින්. එහි අමතර ලකුණු එකතු කරන්නට දිලීප සමත් විය. (කොළඹ 36-00 සබරගමුව)

කොළඹ හා ජ’පුර විශ්ව විද්‍යාල රග්බි පිටිය දෙවනත් කරයි

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි…..

ඊට සුළු මොහොතකට පසු සබරගමුව කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර පතිරණ එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ සබරගමුව ලකුණු පුවරුව සෑහෙන වෙලාවකට පසු ක්‍රියාත්මක කරමිනි. (කොළඹ 36-03 සබරගමුව)

54 හා 62 වැනි මිනිත්තුවල දී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගන්න කොළඹ ක්‍රීඩකයින් සමත් වූ අතර දිලීප හා ප්‍රනාන්දු එම උත්සාහක දිනුම්වලට හිමිකම් කීය. පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය කළත් දෙවන උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත. (කොළඹ 48-00 සබරගමුව)

අනතුරුව තරගය අවසානයට මොහොතක් තිබිය දී කොළඹ කණ්ඩායම සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් තරගයේ අවසාන උත්සාහක දිනුම රැස් කළේ ලකුණු 50 සීමාවත් ඉක්මවා යමිනි. දිලීප එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: කොළඹ විශ්ව විද්‍යාලය 55 (9T, 5C)-03 (1P) සබරගමුව විශ්ව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • කොළඹ විශ්ව විද්‍යාලය – දිලීප (1T, 4C), මයුර රත්නසූරිය (1T), ආර්. පෙරේරා (1C),  ප්‍රනාන්දු (1T), මදුශාන් (2T), හුළුගල්ල (1T), පෙරේරා (1T), මෙන්ඩිස් (1T)
  • සබරගමුව විශ්ව විද්‍යාලය – පතිරණ (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<