සාන්ත ජෝසප් සහ මහානාම විද්‍යාල අවසන් පූර්ව වටයට

19න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය 2021

247

වයස අවුරුදු 19න් පළමු පෙළ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකක් ඊයේ (20) ක්‍රියාත්මක වුනු අතර එහි දී කොළඹ මහානාම විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

සාන්ත ජෝසප්  විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය

හොඳම තුන්වැනි ස්ථානයෙන් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය, Tier A කොටසේ Z කාණ්ඩයේ පළමුවැන්නා ලෙස මූලික වටය අවසන් කළ රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. ඒ රිච්මන්ඩ් විද්‍යාලයේ ආරාධනය අනුව පළමුව පන්දුවට පහර දෙමින්.

ඩී. එස්. සේනානායක විදුහල් පිටියේ පැවති මේ තරගයේ දී දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. වෙල්ලාලගේ එහි දී පිතිකරණයෙන් ලකුණ 61ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවා ගත්තා. සාන්ත ජෝසප් ආරම්භක පිතිකරු ශෙරන් ෆොන්සේකා ලකුණු 54ක් ලබා ගන්නා විට සදීෂ් ජයවර්ධන ලකුණු 29ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කවිඳු නිර්මාණ සහ අම්ෂි ද සිල්වා අතරේ පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 2ක් බෙදී ගියා.

ලකුණු 229ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාලයට සැලසුමක් සහිතව පන්දු යැවූ සාන්ත ජෝසප් විද්‍යාලය ඔවුන්ගේ ඉනිම පන්දුවාර 29කුත් පන්දු තුනක් අවසානයේ දී අවසන් කළේ ඔවුන්ගේ සියලුම කඩුලු දවා ගෙනයි. හංසමාන ද සිල්වා ලකුණු 33ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන රිච්මන්ඩ් නායක අම්ෂි ලකුණු 25ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. පන්දු යැවීමේ දී ශෙවෝන් ඩැනියල්, දුනිත් සහ දේශාන් සෙනවිරත්න අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

සාන්ත ජෝසප් විද්‍යාලය – 228/9 (50): දුනිත් වෙල්ලාලගේ 61, ශෙරන් ෆොන්සේකා 54, සදීෂ් ජයවර්ධන 29, හිරුණ මතීෂ 21*, කවිඳු නිර්මාණ 4/39, අම්ෂි ද සිල්වා 2/46

රිච්මන්ඩ් විද්‍යාලය – 100 (29.3): හංසමාන ද සිල්වා 33, අම්ෂි ද සිල්වා 25, ශේනුක ද සිල්වා 3/27, ශෙවෝන් ඩැනියල් 2/00, දුනිත් වෙල්ලාලගේ 2/22, දේශාන් සෙනෙවිරත්න 2/22.

සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 128ක ජයක්

තවත් ක්‍රිකට් පුවත්:

මහානාම විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීම සඳහා මහානාම විද්‍යාලයට ආරාධනා කර සිටියා. 

පවන් රත්නායක ඇතුළු මහානාම විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් එක පෙළට දැවී යද්දී සාන්ත අන්තෝනි විද්‍යාලය ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියා. ලකුණු 94කට කඩුලු 7ක් දැවී ගොස් තිබූ මහානාම ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් පිටියේ එක්වූ සචිර වැලිවත්ත සහ ධනජ සඳලිඳු ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් මහානාම විද්‍යාල ලකුණු සටහන ලකුණු 154ක් දක්වා රැගෙන යාම සඳහා අවශ්‍ය පසුපෙළ අඩිතාලම සවිමත් කළා. 

අචින්ත සුපුන් ලකුණු 24යි. පන්දු යැවීමේ දී දිව්යේෂ් රාමයියා කඩුලු 3ක් දවා ගන්නා විට, චමිඳු වික්‍රමසිංහ සහ තරිඳු ළමාහේවගේ අතරේ කඩුලු 3ක බැගින් බෙදී ගියා.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ අංජල බණ්ඩාර හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙක් හට සාර්ථක වීමට වේගපන්දු යවන ක්‍රීඩක සම්පත් නිශ්ශංක ඇතුළු මහානාම විද්‍යාල පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. 

අවසානයේ දී සාන්ත අන්තෝනි ලකුණු සටහන ලකුණු 116කට සීමා වුනු අතර සදිශාන් චමෝද්‍ය සහ සෙතුම් කෙනුල ද කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

මහානාම විද්‍යාලය – 154 (46.4): සචිර වැලිවත්ත 50, ධනජ සඳලිඳු 27, අචින්ත සුපුන් 24, දිව්යේෂ් රාමයියා 3/19, චමිඳු වික්‍රමසිංහ 2/21, තරිඳු ළමාහෙවගේ 2/37

සාන්ත අන්තෝනි විද්‍යාලය – 116 (44.4): අංජල බණ්ඩාර 44, සම්පත් නිශ්ශංක 4/36, සදිශාන් චමෝද්‍ය 2/22, සේතුම් කෙනුල 2/22.

මහානාම විද්‍යාලයට ලකුණු 38ක ජයක්

Tier A අවසන් පූර්ව තරග පහත පරිදි පැවැත්වෙනවා.

  • අප්‍රේල් 28 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී – රාජකීය විද්‍යාලය සහ මහානාම විද්‍යාලය
  • අප්‍රේල් 28 – මග්ගොන සරේ පිටියේ දී – ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<