එංගලන්තයට යන 19න් පහළ කණ්ඩායම නම් කරයි

Sri Lanka U19 tour of England 2024

248

එළැඹෙන සතියේ දී එංගලන්ත සංචාරයක යෙදෙන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට ගාල්ල මහින්ද විද්‍යාලයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දිනුර කළුපහන නම් කර තිබේ.

මෙම සංචාරය සඳහා 18 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති අතර ඊට දකුණු අප්‍රිකාවේ දී පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ඇතුලත් කර තිබේ.

දිනුර කළුපහන ද නිමා වූ ලෝක කුසලානයේ දී සක්‍රීය වූ ක්‍රීඩකයෙකි. ඔහු එහි තරග 5කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 196ක් ලබා ගන්නා ලද අතර එය මෙරට ක්‍රීඩකයන් අතුරින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවේ ය.

ඊට අමතර ව කඩුලු රැකිමේ නිරත වූ ශාරුජන් ශන්මුගනාදන්, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විහස් තෙව්මික සහ ආරම්භක වමත් පිතිකරු පුලිඳු පෙරේරා ද මෙම කණ්ඩායමට ඇතුලත් කර තිබේ.

එමෙන් ම මීට පෙර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වූ දිනිරු අබේවික්‍රමසිංහ සහ ගීතික ද සිල්වා ද මෙවර මෙම කණ්ඩායමේ ස්ථාන වෙන් කර ගැනීමට සමත්ව සිටී.

ඊට අමතර ව 2024 වසරේ පාසල් තරගවාරයේ දී පළමු ලකුණු 1000 වාර්තා කළ නාලන්දා විද්‍යාලයේ සදෙව් සමරසිංහ සහ මෙවර තරගාවලියේ දී කඩුලු 100ක කඩඉම පසු කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මනුජ චන්තුක ද මෙම කණ්ඩායමට ඇතුලත් අතර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එක් වීමට වරම් ලබා සිටින යූරි කොත්තිගොඩ ද මෙම සංචාරය සඳහා නම් කර ඇති කණ්ඩායමට ඇතුලත් වේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

දිනුර කළුපහන (නායක – මහින්ද විද්‍යාලය, ගාල්ල), පුලිඳු පෙරේරා (ධර්මරාජ විද්‍යාලය, මහනුවර), හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ) දිනිරු අබේවික්‍රමසිංහ (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), මහිත් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය, කුරුණෑගල), ශාරුජන් ශන්මුගනාදන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ), සදෙව් සමරසිංහ (නාලන්දා විද්‍යාලය, කොළඹ), තිසර ඒකනායක (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), යූරි කොත්තිගොඩ (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), මනුජ චන්තුක (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය, කොළඹ), ශෙෂාන් මාරසිංහ (ධර්මරාජ විද්‍යාලය, මහනුවර), දුමින්දු සෙවිමිණ (ලුම්බිණි විද්‍යාලය, කොළඹ), ප්‍රවීන් මනීශ (ලුම්බිණි විද්‍යාලය, කොළඹ), නාදන් කල්දේරා (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), හිවින් කෙනුල (සිරි කුරුස විද්‍යාලය, කළුතර), ගීතක ද සිල්වා (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල).

අතිරේක ක්‍රීඩකයන්: ගවිරු සෙනහස් (ඩී. එස්. සේනානායක විද්‍යාල, කොළඹ), විමත් දිනසර (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), යොහාන් ප්‍රනාන්දු (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව), දෙනෙත් පීරිස් (සාන්ත ජෝන්ස් විද්‍යාලය, පානදුර), යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), රශ්මික පෙරේරා (මහානාම විද්‍යාලය, කොළඹ), නිව්ටන් රංජිත්කුමාර් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), තුලක්ශන පැතුම්.

සංචාරය සඳහා එක් වෙන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රුවන් කල්පගේ කටයුතු කරන අතර ධම්මික සුදර්ශන පිතිකරු පුහුණුකරු ලෙසින් ද, ඔමේෂ් විජේසිරිවර්ධන වේග පන්දු පුහුණුකරු ලෙසින් ද සහ අජන්ත වත්තේගම ශාරීරික චිකිත්සක ලෙසින් ද සහභාගී වෙන අතර තේරීම් කමිටුව නියෝජනය කරමින් ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් සුසන්ත මෙන්ඩිස් ද එක් වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා යොවුන් එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ සිවු දින යොවුන් නිල නොලත් ටෙස්ට් තරග 2කින් ද සමන්විතය.

තරගය කාලසටහන

  • පුහුණු එක්දින තරගය – ජුනි 25 දා Loughborough University හි දී.
  • 1 වැනි එක්දින තරගය –  ජුනි 28 දා  Cloud County Grounds – Chelmsford හි දී.
  • 2 වැනි එක්දින තරගය –  ජුලි 1 දා 1 st Century County Ground, Hove හි දී.
  • 3 වැනි එක්දින තරගය – ජුලි 3 දා 1 st Century County Ground, Hove හි දී.
  • 1 වැනි යොවුන් ටෙස්ට් තරගය – ජුලි 8 සිට 11 දක්වා Wormsley හි දී.
  • 2 වැනි යොවුන් ටෙස්ට් තරගය – ජුලි 16 සිට 19 දක්වා Cheltenham හි දි.