ඉන්දියාවේ ඕස්ට්‍රේලියා සංචාරයට දින නියම කෙරේ

94

විස්සයි විස්ස ලෝක කුසලානය හා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම තවමත් අවිනිශ්චිත පසුබිමක, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර බෝඩර් – ගවස්කාර් තරගාවලියට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (28) දින නියම කළා. 

එළඹෙන දෙසැම්බර් 3 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත තරගාවලියට ඉන්දියාව විදේශයක දී ක්‍රීඩා කරන පළමු දිවා-රාත්‍රී ටෙස්ට් තරගයත් අයත්. තරගාවලි කාලසටහන එළිදක්වමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ද පවත්වන බවයි. 

T20 කුසලානය කල් යන කතාවට ICCයෙන් උත්තර

තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී දෙසැම්බර් 11 සිට 15 දක්වා පැවැත්වෙනු ඇත.

දෙසැම්බර් 26 මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත අතර සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය 2021 ජනවාරි 3 සිට ජනවාරි 7 දක්වා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ඉන්දියාව එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරග සංචාරයක ද නිරත වීමට සැලසුම් කර තිබෙනවා. එම තරගාවලිය ඔක්තෝබර් මස 11 ආරම්භ වන අතර ඔක්තෝබර් 14 හා 17 දෙවැනි හා තෙවැනි තරග පැවැත්වෙනු ඇත.

කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පණිවිඩයක්

“අපි දන්නවා පවතින තත්වය අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා ඇතැම් විට මේ තරග සැලැස්ම වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් මේ වසන්ත කාලයේ අපිට හැකිතාක් ක්‍රිකට් තරගාවලි ඕස්ට්‍රේලියාවට ගෙන්න අපි උත්සහ කරනවා” ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි කෙවින් රොබර්ට්ස් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<