කොල්කටාව තෙවැනි වරටත් IPL ශූරතාව දිනා ගනී!

IPL 2024

62

2024 IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට Kolkata Knight Riders කණ්ඩායම ඊයේ (26) සමත් වුනා. 

මෙවර IPL තරගාවලියේ ආරම්භයේ පටන් ම විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරමින් ලකුණු සටහනේ ඉහළින් ම රැඳී සිටි Kolkata කණ්ඩායම සහ තරගාවලියේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් දැවැන්ත ලකුණු පුවරු කරා නිරන්තරයෙන් ම ඉලක්ක කරමින් සිටි Sunrisers Hyderabad කණ්ඩායම් ඊයේ දිනයේ පැවැත්වුණු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, මෙම තරගයේ කාසියේ වාසිය Sunrisers නායක Pat Cummins හට හිමි වුනා. මෙහි දී පළමුව පන්දුවට පහර දෙමින් නැවතත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අදිටනින් යුතුව Sunrisers Hyderabad කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත්, මෙවර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකසා ගැනීමට Mitchell Starc ප්‍රමුඛ කොල්කටා පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුණේ නැහැ. 

නිතරම Sunrisers වෙත වේගවත් ආරම්භයක් ලබා දුන් Travis Head සහ Abhishek Sharma දෙදෙනා ම ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොල්කටාව සමත් වූ අතර, මෙහි දී Sharmaගේ කඩුල්ල බිඳ හෙළීම වෙනුවෙන් Starc විසින් යොමු කළ පන්දුව තරගාවලියේ විශිෂ්ටතම පන්දුවක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දීමට යොමු වුනා. 

Sunrisers ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස නායක Cummins ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් පන්දුවාර 18 පන්දු 3ක් තුළ සියල්ලන් ම දැවී ලකුණු 113ක් පමණයි ලබා ගැනීමට සමත් වුනේ. 

මෙහි දී කොල්කටාව වෙනුවෙන් Andre Russell කඩුලු 3ක් බිඳ හෙළද්දී, Starc සහ Harshit Rana කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

Sunrisers විසින් IPL ඉතිහාසයේ අවසන් මහා තරගයක පළමු ඉනිමේ ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙහි දී වාර්තා කළ අතර, Kolkataව විසින් එම අභියෝගය ඉතා පහසුවෙන් හඹා යාමට සමත් වුනා. මෙහි දී කොල්කටා ඉනිමේ අංක තුන පිතිකරු වූ Venkatesh Iyer විසින් වේගවත් ලකුණු 52කින් ඉනිමට දායක වුනා. කොල්කටාව විසින් පන්දුවාර 10 පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී යමින් අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනේ තෙවැනි වරටත් IPL කුසලානයක් තමන් සන්තකයට ගනිමිනුයි. 

Sunrisers Hyderabad – 113/10 (18.3) Pat Cummins 24, Adien Markram 20, Andre Russell 3/19, Mitchell Starc 2/14 

Kolkata Knight Riders – 114/2 (10.3) Venkatesh Iyer 52*, Rahmanullah Gurbaz 39, Pat Cummins 1/18 

 

තරගයේ වීරයා – Mitchell Starc  

මෙවර තරගාවලියේ දී ලකුණු 741ක් ලබා ගත් Royal Challengers Bangalore ක්‍රීඩක Virat Kohli විසින් Orange Cap අයිතිය තහවුරු කර ගනිද්දී, Punjab Kings ක්‍රීඩක Harshal Patel කඩුලු 24ක් සමඟින් Purple Cap අයිතිය දිනා ගැනීමට සමත් වුනා. 

  • තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා – Sunil Narine (Kolkata Knight Riders) 
  • තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – Nitish Reddy (Nitish Reddy) 
  • වැඩිම හතරේ පහර – Travis Head (Sunrisers Hyderabad) 
  • වැඩිම හයේ පහර – Abhishek Sharma (Sunrisers Hyderabad) 
  • Electric Striker of the Season – Jake Fraser-McGurk (Delhi Capitals) 
  • Fair Play Award – Sunrisers Hyderabad  

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<